මේ පළමු ඡායාරූපයේ ඇත්තේ අප කතා නායකයා නිතර වාදනය කළ ගිතාරය, දෑස් අඳ නිසා මග නිවැරදිව සොයා ගන්නට භාවිත කළ හැරමිටිය සහ ලේඛනය පහසු කරවීම සඳහා ඔහු විසින්ම සකසා ගත් විශේෂ අයිතමයයි.
දෙවන ඡායාරූපයේ එම විශේෂ අයිතමයේ සමීප ඡායාරූපයක් ඇත.
වසර තිස් දෙකක් වැනි ඉතාම කෙටි දිවි සැරියකට උරුමකම් කියූ, එම කෙටි ජීවිත කාලය තුළ විවිධ ලෙඩ දුක් වලින් අසීමිතව පීඩා ලැබූ අප කතා නායකයා ඔහුගේ දිවියේ අවසන් වසර කිහිපය ගෙවූයේ සම්පූර්ණයෙන්ම අන්ධවය.
රජයක් මෙතරම් බිය ගන්වන තරම් නමක් හිමි අපේ කතා නායකයා ලොව පසිඳු වූයේ ඔහු තම කෙටි දිවිය තුළ ලියූ එකම එක නවකතාව නිසාය. ඔහු එම නවකතාව ලියූවේද දෑස් අන්ධව සිටියදීය.
එම සුවිසෙස් නවකතාව ලියන්නට ඔහු භාවිත කළ උපකරණය, මොස්කව් නුවර, ඔහුගේ නිවසේ සුරැකිව තබා ඇත. අද එම නිවස ඔහු නමින් වන කෞතුකාගාරයකි.
අප කතා නායකයාගේ බිරිඳ දිනපතා රැකියාවට ගොස් ඇත්තේ දෑස් අන්ධ ඔහුව ලියන මේසය ඉදිරිපිට වාඩි කරවා, ලියන කොල මිටියක් උඩට මේ අයිතමය තබා පෑන අතට දීමෙනි.
ඈ සවස ගෙදර එනතුරු ඔහු නොකඩවා ලේඛනයේ යෙදී ඇත.
ලීයෙන් කළ මෙම අයිතමය පේළි ඇද නොවන ලෙස කඩදාසිය තුළ පැහැදිලිව ලියන්නට අප කතා නායකයාට පහසුවක් වී ඇත.
මේ සරළ අයිතමය භාවිත කරමින්, සම්පූර්ණයෙන්ම දෑස් අන්ධව සිටියදී තම එකම නවකතාව ලියූ අප කතා නායකයා නමින් නිකොලායි ඔස්ත්රොව්ස්කිය.
මේ උපකරණය ආධාර කර ගනිමින් ඔහු ලියූ ඒ සුවිසෙස් නවකතාව 'වානේ පන්නරය ලැබූ හැටි' ය.
*
(මේ සුවිශේෂ කෞතුකාගාරය වෙත අප කැඳවාගෙන ගිය, ටික දිනකට රුසියාවට පැමිණ සිටින අතර පැය කිහිපයකට අප හා එක්වූ, අප කළ්යාණ මිත්ර, රංජන දේවමිත්ර සේනාසිංහ මිතුරාට බෙහෙවින්ම තුති.
එම කෞතුකාගාරයේ තවත් ඡායාරූප කිහිපයක් කොමෙන්ටු තුළ ඇත.)
සටහන සහ ඡායා: ජනක ඉණිමංකඩ ෆේස්බුක් පිටුවෙනි.