අරව්න්ද කෙරෙහි ඇති මානව සම්බන්ධතාවල ස්වභාවය, ලෝකය අර්ථකථනය කළ ආකාරය, ඔහු ජීවත් වූ දකුණු පළාතේ මුහුදුබඩ ජන ජීවිතය, අරවින්දගේ රදළ පවුල සේම බාහිර සමාජයේ තුළ ඔහු ගනුදෙනු කළ ස්වරූපය තුළින් තමන්ගේම සිත ලෝකය කරගෙන ඒ තුළ ජීවත් වන අරවින්ද නමි චරිතය අර්ථ ගන්වාගන්නේ ලාංකික සංස්කෘතික පිරිමියාගේ එක් පැතිකඩක් ලෙසිනි. අරවින්ද වැනි චරිතයක් සිනමාවට නැඟීම ඉතා දුෂ්කර ක්රියාවක් බවයි මගේ පෞද්ගලික අදහස නමි. ඒ අභියෝගය තිස්ස අබේසේකරයන් ජයගත් අන්දම මාද ඇතුළුව ලංකාවෙි ප්රේක්ෂකයන් මෙතරම් විරාගය නම් වූ සිනමා නිර්මාණය කෙරෙහි බැඳෙන්න ද හේතු වෙනවා. ඔහුගේ චිත්රපටය තුළ ඇති දැවැන්ත රහස වනුයේ සුසාදිත ආඛ්යානයකින් (well made narrative) සමන්විත ප්රශස්ත තිර පිටපත් රචනයයි.
පුවත්
ලාංකේය සිනමාවේ ප්ලේටෝනියානු ප්‍රේම කාව්‍යය - 'විරාගය'
1987 වසරේදී ආචාර්ය තිස්ස අබේසේකරයන් විසින් තිර රචනය කර අධ්යක්ෂණය කළ "විරාගය" චිත්රපටය ලාංකේය සිනමාව තුළ බිහි වූ ප්රේමය ශානරය කරගත් අග්රගණය සිනමාපටයකි. ශ්රේෂ්ඨ ගත් කතුවර මාර්ටින් වික්රමසිංහ රචනා කරන ලද "විරාගය" නවකතාව ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසේකරයන් නිර්මාණය කළ "විරාගය' බොහොම ප්රවේශමෙන් කළ සිනමාකෘතියකි. මන්ද කෘතියකින් චිත්රපටයක් නිර්මාණය කිරීම දැවැන්ත අභියෝගයකට ලක්වන ක්රියාදාමයක් වන නිසා ය. ලංකාවෙි පාඨකයන්ගේ ප්රියතම නවකතාවක් වන 'විරාගය' ද, එයාකාරයෙන්ම සිනමා ප්රේක්ෂකයන් ද 'විරාගය' චිත්රපටයට වඩාත් ප්රිය කරන්නේ කම්පනය කරන එහි අන්තර්ගත කතා වස්තුව හා ජීවන දෘෂ්ටියක් සහිත වන බැවිනි. එහි අරවින්දගේ චරිතය සිංහල නවකතාවේ වගේම සිංහල සිනමාවේත් අපට හමුවන දුර්ලභ ගණයේ සංකීර්ණ චරිතයකි.
"අරවින්ද ජයසේන" පිළිබඳව විමසීමට ලක්කිරීමේ දී ඔහුගේ සංකීර්ණ ජීවිතය පිළිබඳ එදවස ඇතැමි විචාරකයන් කියවා ගත්තේ හරියාකාරව නමි නොවෙි. විල් ජලයේ සුපිපි නිකසල පියුමක් සේ අරවින්ද චරිතය දුටු අය ඔහුගේ සැඟවුණු ලිංගිකත්වය හා කුහක බව ගැන නොදැනම කරුණු මතු කළහ. 'විරාගය' යන්න සියලු කෙලෙස් නැසූ යන අභිධර්ම අර්ථයෙන් ගත් ඔවුන් අරවින්ද රහස් ජීවිතයක් ගතකළ අයකු සේ වරදවා ගනු ලැබිණ. එහෙත් විරාගය යන්න නොඇලීම, අපිස් ජීවිතය සේ නොගෙන අරවින්ද අභිධර්මයට අනුවම විරාගී යන අරුතෙහි පිහිටුවා විවේචනය කිරීම විරාගයේ සන්දර්භය වටහා නොගෙන එහි කතා වස්‌තුව තමාගේ සිතැඟි අනුව හඳුනාගෙන අනන් මනන් දෙඩීමක් බවයි මගේ අදහස නමි.
අරවින්ද යනු ලාංකේය බෞද්ධ ගැමි සංස්‌කෘතික සන්දර්භය හා පරිසරය අනුව හික්‌මවූ චරිත නිර්මිතයකි. ඔහු බටහිර වෙදකම ඉගෙනීමට රුචි නොකරන්නේ තුනී වූ ආශා ඇති කෙනකු ලෙස ය. එයින් ලබන උසස් ය යන සම්මතය හෝ ලැබීම් උදෙසා හෝ ඔහුගේ සිත අවනත නොවන්නේ චරිත ප්රකෘතිය නිසාය. ගමෙන් ඈත් ව පසුව විවාහ වී දිවි ගෙවීමට සරෝජිනී කළ යෝජනාව ඔහු ඉටු නොකරන්නේ අභිධර්ම විරාගියකු වූ නිසා නොව දැඩි මනසකින් විවාහ ජීවිතය ගැන සිතීමට අපිස් වත හා තුනී වූ ආශා ඔහුට අනුබල නොදෙන බැවිනි.
අරවින්දටත්, ඔහුගේ මවටත් ගෙයි විප්රවාසය අහිමි කරන්නේ ඔහුගේ අක්කා වු මේනකා බව අපි දනිමු. මෙිනාකා චරිතය බලයෙන්, කුලයෙන් හිස උදුමවාගත් මාන්නක්කාර චරිතයකි. සිරිදාස විසින් පියාගේ වතුපිටි සොයා බලමින් සරෝජිනී ද ලැබ ඔවුන්ගේ සිතැඟි පරිදි ජීවත් වෙයි. මේනකා උග්ර ලෙසත්, සිරිදාසත් දොස් නගන්නේ අරවින්දටම ය. මේ සියල්ල අරවින්දගේ කෝපයට හේතු විය යුතු මුත් ඔහු කෝපය මැඩගනිමින් සැහැල්ලුවෙන් ජීවත් වෙයි. මේ නිසා ඇතිවන කලකිරීම ඔහුගේ තනිකමට හේතු වෙයි. බතීගෙන් සාත්තු ලැබීමටත් ඇයට දුරින් සිට ප්රේම කිරීමටත් ඔහු පුරුදු වන්නේ මේ නිසා ය. බතී ඔහු හැර යැමට සූදානම් වන විට අරවින්ද තුළ සාංකාවක් උපදී. ඒ ඔහු ජීවතාශ්රමය තුළ ම සිටිනා කෙනකු බැවිනි. එහෙත් අවසානයේදී බතීගේ සිතැඟි ඉටුකර දී ඔහු සොම්නස් වෙයි. බතී වෙහෙස මහන්සි නොබලා අරවින්දට සාත්තු සප්පායම් කරන්නේ ඔහු සැබෑ සත්පුරුෂයකු වූ නිසාය. අරවින්ද සරෝජිනී නිසා ද දුක ශෝකය නොව නිමාවෙහිදී සතුට ම ලබයි. සරෝජිනි සහ බතී විසින් කාලයාගේ ඇවැමෙන් ගිලන් වූ අරවින්දට සමීප වන්නේ ඔහු ශ්රේෂ්ඨ මිනිසකු වූ නිසා ය. සරෝජිනීත්, බතීත් නිසා අරවින්ද තුළ හටගන්නේ සැබෑ ප්රේමයකි. එය කායික ප්රේමයක් නොවන විරාග රාගයකි. එය සැබෑම විරාගයකි. අරවින්දට මොවුන් දෙපළ පිළිබඳ ඇත්තේ ප්ලේටොනික ප්රේමයකි.
'Platonic Love’ හෙවත් ‘ප්ලේටෝනියානු ආදරය’ යනු කුමක්දැයි වෙබ්ස්ටර්ගේ අර්ථකෝෂයේ මෙසේ ද දක්වා ඇත. එනම්,
“මිනිස් මනසේ අනභිභවනීය බවට ම කැප වූ, මනසේ පරිධියෙන් ඔබ්බට නොගැලූ එසේ ම කිසිසේත් ශාරීරික ප්රමෝදයට ඉඩ ප්රස්ථා නොදුන්, විරුද්ධ ලිංගිකයන් දෙපළක් අතර පවතින පිරිසිදු, ආධ්යාත්මික සෙනෙහසකි” යනුවෙනි.
පාසලෙන් අස් වී රැකියාවක් කරන්නට වූ තැන් සිට අරවින්දගේ තනිකම ක්රමයෙන් දියුණු වූ බවත්, ඉන් පසු ඔහුගේම සිත ලොවක් කරගෙන අරවින්ද ජීවත්වීමට වෑයම් කළ බවත් නිරූපණය වීමෙන් පෙනී යන්නේ ඔහුගේ ජන්ම ප්රකෘතියයි. තුනී වූ ආශාව හා අපිස් ජීවිතය නිසා ඔහු ආධ්යාත්ම සත්තාවක් දකී. එය මෛත්රියට, භක්‌තියට හා ශ්රද්ධාවට නෑකම් ඇති හැඟීමකි. දැකීමකි. මේනකාගේ දැඩි ලෝභය, තාත්තාගේ මරණය, අම්මා වෙන පළාතකට ගොස් විසීම වැනි ආපදා නිසා අරවින්දගේ තනිකමත්, හුදෙකලා වු දිවිය පිළිබඳ හැඟීම් තියුණු වූ බව හැඟේ. ඔහු ක්රම ක්රමයෙන් අල්පේච්ඡ ජීවිතයට හැරේ. එහෙත් ඒ කවර පීඩාවක් නිසා වුව ද ඔහුගේ ආධ්යාත්ම ජීවිතය නොබිඳී නොවිසිරී පැවතිණ. අරවින්දගේ චරිතය වටහා ගෙන ආධ්යාත්ම චමත්කාරයක් හා පහන් සංවේගයක් ලැබීමට තුඩු දෙන්නේ විරාගය චිත්රපටය නිමාවේ එන මේ වැකිවලිනි.
"නොතිත් ආශාව දැන් මගේ ශෝකයට නොව සොම්නසට හේතු වෙයි. කරුණාව, දයාව, ඇල්ම යන ආදී මිනිස් දහමින් නොතොර තැනක ජීවත්වීම නිසා මගේ කලකිරීම දුරු වීය......''
මෙයාකාරයේ ආධ්යාත්මික වදන්වලින් සොම්නස් වන අරවින්දගේ මළගමට ගැමියන් වැල නොකැඩි පැමිණීමෙන් හෙළිවන්නේ හොඳ මිනිසකු ඉවෙන් මෙන් ඔවුන් හඳුනාගත් බවය. මෛථුන ආශාව, කෝපය, ක්රෝධය, ඊර්ෂ්යාව වැනි භාවයන් නොව ප්රේමය, මෛත්රිය, භක්‌තිය, කරුණාව, දයාව, ඇල්ම ආදී මිනිස් දහම් උද්දීපනය කරන බැවිනි. 'විරාගය' ආධ්යාත්ම කාව්යයක් වැනි නවකතාවක් වන්නේ අරවින්ද තෙර ගාථාවෙන් තමාගේ ආධ්යාත්මය සෘජුව හෙළි කළ පැරැණි තෙර කෙනකුට ළං වන්නේ එහෙයිනි.
තමන්ගේ නිවස සොයුරිය විසින් අත්පත් කර ගනිද්දීත්, තමන් ප්රේම කළ තරුණිය අනෙකකු විසින් විවාහ කර ගනිද්දීත් අරවින්ද ඒ සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගත්හ. තම නිවසේ මෙහෙකාරියගේ දියණියට තම වියදමින් උගන්වා පසුව ඇයව විවාහ කරදුන් ඔහු ඊට එරෙහිව වූ සමාජ අපවාදයන් කෙරෙහි නෑසු කන්ව සිටියේය. අවසානයේ ඒ හේතුවෙන්ම සිතින් හා කයින් දුර්වල අයෙකු විය. නමුත් අවසානයේදී ඔහු මියයන්නේ ඒ හේතුවෙන් ඇතිවූ කළකිරීමෙන් නොවේ. ජීවිතයේ අවසාන භාගයේදී ඔහු මනුෂ්යය ජීවිතය සම්බන්ධයෙන් වූ සනාතන සත්යයක් සාක්ෂාත් කර ගනියි. ඒ "මනුෂ්ය ජීවිතය මැනෙන මිනුමක් වශයෙන් නම් කුල සිරිත් හා ගුණ දහම් වූ කලී කාලය, දේශය, අවස්ථාව අනුව වෙනස් නොවන කෝදුවක් නොවේ." යන්නයි.
"විරාගය" චිත්රපටයේ අරවින්දගේ භූමිකාව විරාගය නවකතාව පළ වු වකවානුවේත්, විරාගය චිත්රපටය ප්රදර්ශනය වූ වකවානුවේත්, බොහෝ විචාරක අවධානයන්ට ලක් වූ චරිත නිරූපණයකි. සාමාන්ය මිනිසෙකුට අවබෝධ කරගත නොහැකි වන තරමෙි සංකීර්ණ සිතුවිලි ස්වභාවයන් ඇති මිනිසෙකුගේ චරිතයක් වූ "අරවින්ද" සිනමා මාධ්යය තුළ රූපණය කිරීම අභියෝගයක් ය යන්න එකල බොහෝ විචාරකයන්ගේ මතය වී ඇත. බොහෝ පුවත්පත් කලාවෙිදීන් සහ විචාරකයන් පවසා ඇත්තේ සනත් ගුණතිලක වැනි මල් ගස් වටෙි දුවන, වාණිජ සිනමාවෙි රඟන, සීනිබෝල නළුවෙකුට "අරවින්ද " වැනි චරිතයක් කිසිසේත්ම නිරූපණය කළ නොහැකි බව ය. සනත් ගුණාතිලකගේ "අරවින්ද" චරිතය වෙනුවෙන් කොතරමි සාධාරණය ඉෂ්ඨ කළ ද කියතොත් නිරූපණය සඳහා සිය සිරුර අනුගත කර ගැනීම ඔහු දීර්ඝ කාලීන ශාරිරික අභ්යාසයන්හි නිරතව ඇත. එම අනුගත වීම කෙතරමි දුරට අරවින්දගේ චරිත නිරූපණය සඳහා උපකාරී වුවා ද යන්නට උදාහරණ ලෙසින් අරවින්ද චරිතය තරුණව්ය, මැදිවිය, සේම ඔහු රෝගී වී මිය යන අවස්ථා දක්වා චරිත යේ බාහිර ස්වභාවයේ ක්රමික වෙනස්වීම රූපණය තුළ පෙන්නුමි කරනු ලැබෙි. එය මෙතෙක් සිංහල සිනමාව තුළ දුටු විශිෂ්ට චරිත නිරූපණයකි.
අනුෂාංගික අංග ලෙස කලා අධ්යක්ෂණය සහ වස්ත්රාභණ, වෙිෂ නිරූපණය යන අංශය තුළ අරවින්දගේ චරිතයට ලැබෙන සහය අද්විතීයයි. සනත්ගේ මුහුණේ මතුවන සියුමි ඉංගිතයන් ඔස්සේ ඔහුගේ හැඟීමි ප්රකාශන මඟින් අරව්න්ද නමැති චරිතය පිළිබඳ සියුමි විස්තර පවා සන්නිවේදනය කරයි. "අරවින්ද" වූ කලී සමස්ත සමාජයටම රාගයෙන් තොරවූ ද ආධ්යාත්මිකවු ද විරාගයක පුරාවෘත්තියකි. අරවින්ද යනු ප්රේමය සහ රාගය යන්න මනාව තේරුම්ගත්තෙකි. විරාගය වැනි ප්රේමණීය සිනමා කාව්යයක් ශෝකාන්ත ආධ්යාත්මක සිනමාපටයක් ලෙස සළකුණු කිරීම උචිත වන්නේ ඒ නිසාම ය. සමකාලීන සිනමාව තුළ පවා මුද්රාවක් බවට පත්වන ලාංකේය සිනමාවෙි ප්ලෙටෝනික ප්රේමයේ අපුරුතම සිනමා කාව්යය විරාගයයි.
මලින්ත විතානගේ
-
Category
පුවත් -
Hits
212 times