lan englan tam

පුවත්

නොගියොත් යළිත් ආ නොහැකිය....

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
" නොගියොත් යළිත් ආ නොහැකිය. යාම හොඳයි. ගොස් ඊමද හොඳයි. ලොවැ ඇත්තේ යාම් ඊම් ය. නෑවිත් යන්නට බැරිය. නොගොස් එන්නට බැරිය. "
- නොරිකො සං - #මළගිය_ඇත්තෝ
ආදරණීය නොරිකෝ වෙත ලියමි ✍️
නොරිකෝ..
මළවුන්ගේ අවුරුදු දා එනකම් උඹ තාමත් බලන් ඇති. නකජිමා සොහොනේ තියෙන සකුරා ගහේ මල් පිපෙන කාලෙට අනිවාරෙන්ම මොන වැඩ තිබුණත් උඹ දුවගෙන යනවා ඇති. ඊටත් වඩා අර කාලෙකට කලින් කමකුරාවෙ සකුරා බලන්න යන්න දෙවෙන්දොරා සං අඬගහපු වෙලේ යන්න බෑයි කිව්ව එක ගැන තාමත් පසු තැවෙනවා ඇති.
ඔය ඔක්කොටොම වඩා දෙවොන්දොරා සං සැරින් සැරේ උඹට රිද්දපු හැටි, ඕකතා සං එක්ක මහ රෑ තනියෙන් සංගෙන්ජයා යැව්ව හැටි, අසකුසාවේ කබුකි නිළියගේ පින්තූරෙ හින්දා හිත රිදුණු හැටි, ඔක්කොටමත් වඩා ⁣හිත හදාගෙන ඈත් වෙන්න හදපු හැම වෙලේම එවන ලිවුම් කෑලි වල තිබ්බ වචන නිසා පපුව හෑරිලා යන වේදනාවෙන් ආයෙමත් උඹ මත්තෙම වරද පටවන් ඒ හිතටම ආදරේ කරන්න පේවෙලා මග හැරුණු ජීවිතේ සුන්දර අවස්ථාවල්, සැරින් සැරේ බලාපොරොත්තු දිදී වැනි වැනී ජීවිතේ ගෙනියන ගමන් උඹේ අහිංසක ජීවිතේ තිබ්බ අහිංසක හීන කොයි වෙලේකවත් එක තුට්ටුවකටවත් මායිම් නොකර පාකරපු සෝපහාසී හිනා උඹව වියරු වට්ටපු හැටි ඒ හැමදෙයක්ම දැන් උඹට අමතකයි නේද නොරිකෝ ?
ඒ ⁣ඔක්කොම අතෑරලා දාලා උඹ මහා රෑට තතමි පොළොවෙ ඉඳගෙන තනියම සකේ බොන ගමන් තාමත් දුක්වෙන්නෙ එදා අතට අහුවෙන හැම දේකින්ම දමලා ගහද්දිත් ඔහේ බලන් ඉඳපු දෙවෙන්දොරා සං නිදි බෙහෙත් බීලා අකාලෙ මැරුණේ උ⁣ඹේ වරදින් කියලා නේද ?
උඹ කියනවා වගේම උඹ මෝඩ ජපන් ගෑනියෙක් නොරිකෝ.. ඔව් , ඇත්තටම මෝඩ ජපන් ගෑනියෙක්..
උඹ දන්නෙ හරි පොඩ්ඩයි බන් මිනිස්සු ගැන. ඊටත් වඩා ලංකාවෙ මිනිස්සු ගැන . එක අතකට උඹට බැනලා වැඩක් නෑ බන්. උඹ කළේ ආදරයක් වෙනුවෙන් හැම දුකක්ම ඉවසන් බලන් හිටපු එක. ඒත් උඹටත් අන්තිමට වුණේ කලකිරීමකුයි මතක ගොඩකුයි එක්ක තනිවෙන්න.
උඹ ඒ මතක ගොන්න එක්ක විඳවන එක හේතුවක් තමයි බන්, උඹ වගේම දෙවෙන්දොරාත් උඹවම විතරක් පැතුවා කියලා උඹ අදහපු එක . ඔව් ඒක තමයි. උඹ හිතුවා කොච්චර තරම් රිද්දුවත් උඹෙන් තොර ලෝකයක් දෙවෙන්දොරා පතන්න නැතුවැති කියලා. ඒත් උඹ දන්නැති දෙයක් තිබුණා නොරිකෝ...
මං මළවුන්ගෙ වැරදි කියනවා නෙවෙයි නොරිකෝ,
ඒත් උඹ නොදන්න ඇත්ත තමයි ඒ. දෙවෙන්දොරත් ගියා කියොතොවෙදි ගේෂාවක් ළඟට, දන්නෑ නේද උඹ , ඒ යන ගමන් තමයි උඹට ලිවුම් කෑලි එව්වෙ උඹ ලියුමක්වත් නොඑවන නිසා වැඩක් හරියට කර ගන්නවත් හිත දෙන්නෑ කියලා. නොරිකො උඹ කියනවා වගේම පිරිමි වැඩි හරියක් ගෑනුන්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ කායික සන්තර්පණය විතරයි තමයි බන්. ඊටත් වඩා අද කාලෙ වචන වලින් කියනවනම් වටේ යන්න අර්ථකථන හදාගන්න එක උන් හරි දක්ෂ විදියට කරනවා. උඹ මේවා දැනන් හිටියනම් උඹ අද එක්කො යසුදා සං බැඳලා ඒකාකාරී වුණත් උඹ ආස වුණු විදියෙ ජීවිතයක් ගත කරනවා.
උඹ හැමදාම පැතුවෙ බන් ආරක්ෂාවක්. හයියක්, ආදරයක් .. ඒ්ත් උඹට නොලැබුණෙත් ඒ කමයි නේද ? දෙවෙන්දොරා සංගෙ එක තැන නැති ස්ථිර නැති හිත හින්දා උඹ හැමදාම විඳෙව්වා ආදරේ නාමෙන් විඳෙව්වා.
ඒත්,,,,,,
තාමත් උඹ "යේ ලයි ෂ්යැං " කෝපි හලේ ඉඳන් එකතු කරන් ගෙනාපු ගිනිපෙට්ටි දිහා බල බල අඬනවා ඇති. ෆූජිමා ගිනි කන්ද තරමට උඹේ පපුව ඇවිලෙනවා ඇති. ඒකම තමයි බන් ගෑනුන්ගෙයි පිරිමින්ගෙයි ආදරේ වෙනස.
උඹ දැන් හිත හදාගනින් නොරිකෝ.. ආයෙත් එන මළගිය ඇත්තන්ගෙ අවුරුදු දවසෙදි දෙවෙන්දොරා සංට " සයොනාරා " කියපන් සදහටම ......
මතකෙත් නකජිමා සීමාවෙ දාලා ඇවිදින් අලුත් ජීවිතයක් පටන් ගනින් කිව්වට උඹට එච්චර හයියක් නැති විත්තිය මං දන්නවා.
ඒත් උඹට ආද⁣රේ කරන කෙනෙක් හම්බවෙන්න බැරි නෑ නොරිකෝ.. පෙර වගේ නොවුණු, උඹට දැනෙන මනුස්සයෙක්. උඹව ඕනි මනුස්සයෙක් . අන්න එදාට තවත් හිත හිතා නොයිඳ උඹ කැමතියි කියපන් නොරිකෝ ... ආයෙ පරක්කු වෙන්න එපා....
මිදොරියෙන් පටන්ගත්තු ඒ බැඳීමට " ආදරේ" කියන අරථකතනය උඹ ⁣දුන්නට මං තාමත් ඒ බැඳීමට දෙන්න ඕනි අර්ථකත⁣නෙ මොකක්ද කියලා හිතනවා....
ඉතින් නොරිකෝ....
තවදුරටත් වැරැද්ද තමන්ගෙ පිට පටවන් අඬන්න එපා. ගොඩක් පිරිමි වගේ දෙවෙන්දොරා සං කළෙත් ප්රශ්නෙන් පැනලා යන එක. එයා හරි ලස්සනට ඒක කළා..
දෙවෙන්දොරා සං අයිති අතීතෙට නොරිකො, අපි දැන් ඉන්නෙ අනාගතේ... දෙවෙන්දොරාගෙ මතක ගෑවිලා නැති එකම තැනක් හරි ⁣ඔය තෝකියෝවෙ ඇති. අන්න එතනින් උඹ අනාගතේ පටන් ගනින් නොරිකෝ.....
ප.ලි.
කවුරු කොහොම කිව්වත් උඹ පැල්බැඳගෙන කරපු ආදරේ දැන් පුරාවෘත්තයක් වෙලා ඉවරයි නොරිකෝ.
°
°
°
🥀🥀🥀🥀🥀🥀
සඳූ
 
නවෝද්‍යා කෝරළගේ විසින් 'පුස්තකාලය' සමූහයේ පළ කරනු ලැබ තිබිණි.
Back to top
Go to bottom

Popular News