lan englan tam

පුවත්

සිංහයාට පිහියෙන් ඇනීම සහ බූරූවාදිකරන ප්‍රවාදය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යුක්තිය ඉෂ්ට වන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් පසුවද? එසේත් නොමැති නම් යුක්තිය ඉටුකර ගැනීමට ප්‍රචණ්ඩ භාවිතාවක් හැර වෙනත් ක්‍රමයක් නැද්ද?

බූරූවාදිකරනය නාට්‍යයේ රචක හා නිෂ්පාදක, ප්‍රවීණ නාට්‍යවේදී අතුල පීරිස් දෙවිදියකට අසන මේ එකම ප්‍රශ්නයට නාට්‍යය තුළ දෙන පිළිතුර වන්නේ 'ඔව්' සහ 'නැත' යන්නය.

ඒ පිළිතුර අප කොපමණ දුරට පිළිගන්නවාද නැද්ද යන කාරණය පසෙක තබා බූරූවාදිකරනය නාට්‍යයෙන් ප්‍රයානය කරන තේමාත්මක සංදර්භය කවරේද යන්න විමසා බැලීම වැදගත්ය.

අතුල, බූරූවාදිකරන ප්‍රවාදය ගොඩනගන්නේ බූරුවන්ගේ සමාජය තුළ යුක්තිය, සැබැවින්ම යුක්තිය පසිඳලීමක් බවට පත්ව තිබීමත්, මානව සමාජය තුළ එය බලයේ හා වාණිජත්වයේ ප්‍රකාශනයක් ලෙස අවස්ථා බහුතරයකදී ප්‍රකාශමාන වීමත් යන ස්ථාවරයේ හිඳිමිනි.

එය සමස්තයක් ලෙස පිළිගත හැකි මතයක් බව කුදු මහත් සමාජය පිළිගන්නා අතර බූරුවන්ගෙන් සංකේත වන අරුත් වැදගත් වන්නේ මානව සමාජයේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ පර්යාය කියවා ගැනීමක් උදෙසාය.

අතුල බූරු සමාජයේ නීතිය ප්‍රකාශමාන වන අන්දම හා මිනිස් සමාජයේ නීතිය ප්‍රකාශමාන වන අන්දම නිරූපණය සඳහා සංකේත පද්ධති දෙකක් භාවිත කරයි.

පළමුවැන්න බූරු සමාජයේ සාමාජිකයෙකු සිය දරුවන්ගේ කුසගිනි නිවනු පිණිස වෙනත් කෙනෙකුට අයත් ගසකින් පළවැලක් නෙළා ගැනීම පිළිබඳ නඩුව විමසන අවස්ථාවයි. එහිදී බූරූවාදීකරනයේ විනිසුරුවරයා පසිඳලන්නේ නීතිය නොව යුක්තිය බව පෙනේ. යුක්තිය පසිඳලන්නේ නම් මනුතාපයේ ජන වර්ජන ද නිවැරදිකරුවෙකි. ඔහුත් පාන් ගෙඩිය සොරා ගන්නේ බඩගිනි ඉවසනු නොහැකිවය. යුක්තිය පසිඳ ලන්නේ නම් පොල් ගෙඩි කිහිපයක් සොරාගත් දැරිය නිදොස් කොට නිදහස් විය යුතුව ඇත. එහෙත් ඇය නීතියට අනුව වරදකාරිය බවට පත් වූවාය.

අනෙක් අතට පසිඳලන්නේ යුක්තිය නම් සිවිල් නඩු විධාන සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු නීති පොත් කුමකටද යන පැනය මතුවේ. මිනීමරුවෙක්, මිනීමරුවෙක් වූ නිසාම ඔහුට පමුණුවන දඬුවම ලෙස ඔහු මරා දැමීමට කිසිවෙකුට නීතියෙන් ඉඩක් නැත. එවැනි මරා දැමීමක් වින්දිත පාර්ශ්වයට යුක්තිය ඉටුකිරීමක් ලෙස එක එල්ලේම පෙනී යා හැකි වුවත් නීතියේ පාලනයක් නොමැතිව යුක්තියේ මුවාවෙන් ඕනෑම කැලෑ අදහසක් (නීතියක්) ක්‍රියාත්මක කළ හැකි වීම බරපතල කාරණයකි.

මේ අනුව හුදු යුක්තිය පසිඳලීම යන්න ගැන ගැඹුරින් සලකා බලන විට එය බරපතල අනතුරක් ශේෂ කරන ක්‍රියාමාර්ගයක් බවට ද ඇතැම් විටෙකදී පත්විය හැකිය.

මෙහි දෙවැනි සංකේතමය නඩු විභාගය වන්නේ මනුෂ්‍ය ලෝකයට ගොස් මනුෂ්‍ය ලක්ෂණ වැලඳගත් සිංහයා කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියයි.මෙහි උත්ප්‍රාසය වන්නේ සිංහයාගේ දූෂණයට ලක් වූ ස්ත්‍රිය හැටවියත් ඉක්මවූ තැනැත්තියක වීමය. චෝදනාව විභාග කෙරෙන්නේ බූරූවාදිකරනයේ විනිසුරු යටතේ නොවේ. මනුෂ්‍ය වේශයට පත් සිංහයාගේ බලපෑමට යටත්වය.

බලය දරන පාලකයාට බලය පවත්වාගෙන යාම සඳහාම නීතිය තමන්ට ඕනෑ පරිදි හසුරුවා ගැනීමට අත්‍යවශ්‍ය වෙයි. ඒ සඳහා ක්‍රියාමාර්ගය විදිහට තමන් අනුයන අයකු අධිකරණයේ ප්‍රධානියා වශයෙන් පත්කෙරෙන අතර ඔහු සිංහයා නිවැරදිකරු කරයි. නීතියටත් වඩා යුක්තිය පසිඳලන බූරූවාදීකරන යේ විනිසුරුගේ පසුබැසීම හා ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය අතර සාම්‍යයක් මෙහිදී අතුල සමාන්තරව කියවා ගැනීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව පාදාදෙයි.

යම් චූදිතයකු බේරා හැරීමට නිදොස් කොට නිදහස් කරනවාට වඩා හොඳම ක්‍රමය වන්නේ නඩුව පැවරීමේදීම එය ප්‍රතික්ෂේප වන ලෙස ගොනු කිරීමය. එය අතුල කියන පරිදි ඇත්තටම බූරු සමාජයේ සිදුවන යථාර්ථය වන අතර බූරූවාදිකරනය තුළ සිංහයාගේ නඩුව විමසන අවස්ථාව වන විට බූරු සමාජයම මානව සමාජයේ හරස්කඩක් බවට පත්වෙයි. අතුල කියන බූරූවාදිකරනය පිහිටා තිබෙන්නේ ඇත්තටම කොතනද යන්න පිළිබඳව සංඥා කෙරෙන්නේ එම අවස්ථාවේදීය. එතැනින් යුක්තිය දිනිය නොහැකිය.

අගතියට පත් පුද්ගලයාටත් අධිකරණ ක්‍රමයටත් යුක්තිය ලැබෙන්නේ කොහොමද? දූෂණයට පත් කාන්තාව සිංහයා සමග අලිංගන නැටුමක් අතරතුරේදී සිංහයා ඝාතනය කෙරෙයි. දැන් ඇගේ අතේ ලේ තැවරුණු පිහියකි.එය ඇය ප්‍රේක්ෂකාගාරයට ප්‍රදර්ශනය කරන්නී, එතැන් සිට අගතියට පත් ඇයට යුක්තිය ඉෂ්ට වන අතර බූරු දේශයේ යුක්තිය පසිඳලූ විනිසුරුද යළි විනිශ්චයාසනයෙහි හිඳුවයි.

ඝාතනයට ලක් වීමත් සමඟම සිංහයාටත් නීතියේ රැකවරණය ලැබිය යුතුව තිබෙන නමුත් එය එසේ වන්නේ නැත. එසේ නො වන්නේ සමාජ අපේක්ෂාව හුදෙක් යුක්තිය පමණක් ම වන තත්ත්වයක් තුළය.

ඒ සමගම යුක්තිය පදනම් වන්නේත් ප්‍රචණ්ඩ මැදිහත්කාරකත්වයක් මතමද යන බූරූවාදිකරනයේදී අප නැගූ සමාරම්භක ප්‍රශ්නය යළි විමසීමට සිදුවෙයි.

නූතන ලෝකය යනු ප්‍රචණ්ඩ ක්‍රියා බහුල, එහෙත් ප්‍රචණ්ඩ ස්ථාවරයන් පිළිනොගන්නා සහ ඒවා පිළිකෙව් කරන ලෝකයකි. එබඳු ලෝකයක සිංහයාගෙන් සකල ආකාරයෙන් පීඩාවට ලක්වන සරෝජා ප්‍රතික්‍රියාව ලෙස ලේ වැකි පිහියක් පෙන්වීම අප කවර ආකාරයකින් තේරුම් ගත යුතුද?

ප්‍රේක්ෂකයා නිවීම අත්පත් කරගන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවකින්ද? ඔව් එසේ විය හැකිය. එහෙත් නාට්‍යකරුවා ආමන්ත්‍රණය කළ යුත්තේ ප්‍රචණ්ඩත්වයෙන් නිපන්, කෘත්‍රිම සාධාරණ ලෝකයකට නොවේ යන්න අපගේ විශ්වාසයයි.

මෙහි අනෙක් පැත්ත ගෙන බලමු. සරෝජාට පිහිය වෙනුවට සාමයේ සංකේතයක් ප්‍රේක්ෂාගාරයට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නොතිබුණිද? තිබෙන්නට පුළුවන.

එහෙත් එය සිංහයාගේ ලෝකයට මේ සා අභියෝග කරන්නක් නොවිය හැකිය. අප විශ්වාස කරන පරිදි එම සාම සංකේතය සිංහයාගේ ලෝකයට ක්ෂණිකව අභියෝග කර, ඔහුට ක්ෂිතිමය අත්දැකීමක් ගෙන නොදුන්නත් සිංහ ලෝකය දිගු කාලීනව පරදවන පදනම එහි ගතික ලක්ෂණයක් ලෙස අවක්ෂේප වී තිබෙනු ඇත.

71 සහ 89 සරෝජා
අරගලය ජනතා ජයග්‍රහණයෙන් අවසන් වනු ඇත - SSA Sri Lanka
දැන් ලංකාව කැරලි මුහුදේ නැංගුරම්ලා ඇත්තේ 2022 අරගලය මත්තෙහිය.

කැරැල්ලක් ලංකාවට වුවමනා නැත. දැන් ලංකාව කැරලි මුහුදේ නැංගුරම්ලා ඇත්තේ 2022 අරගලය මත්තෙහිය. 71 සහ 89 නියෝජනය කරන සරෝජා කෙනෙකු වෙනුවට 2022 නියෝජනය කරන සරෝජා කෙනෙකු දැන් ලංකාවේ අරගල සමාජය අත්පත් කර ගනිමින් සිටිනු පෙනේ. 71 දී මෙන්ම 89 දීත් සිංහයා විසින් සරෝජා දූෂණයට ලක් කරන ලදී. සිංහයාට පෙරලා පහර දීමට ඒ සරෝජාට ශක්තිය තිබුණත් අද දක්වාම සිංහයා සහ සරෝජා අතර තරගයේදී සරෝජා පරාජිත වූවාය. සිංහයා පාරාජිකා වූයේය. 2022ක් වුවමනා වූයේ බූරූවාදිකරනයේ කියන සිංහ විජිතය සේම පිහියේ සංකේතයත් පරාජය කරනු පිණිසය.

2022 නොනිමි සරෝජා

2022 සරෝජාටත් තමන් යන ගමන පිළිබඳ නිවැරදිම විචාරයක් නොතිබුණි. ඇය නොසිතූ අන්දමේ සිංහ විජිතයක් ගොඩනැඟුණේ එ නිසාය. එහෙත් 2022 සරෝජා ට 71 සහ 89 සරෝජාට නොතිබුණු වාසියක් තිබේ. එය නම් 2022 සරෝජා 71 සහ 89 මෙන් සීමිත නොවන නිමක් නැති සරෝජා කෙනෙකු වූ නිසාම තව තවත් දහස් ගණනින් සරෝජලා එකතු වන්නට තිබෙන අවකාශය වැඩි වීමය. 2022 සරෝජා, සිංහයා පරාජය කරන තීරණාත්මක අවිය වන පිහිය අත නොදැරීමද මේ පුළුල් අනාගත එකතුවට හේතු සාධක වෙයි. මේ සරෝජාත් යුක්තියේ අවිය ලෙස පිහිය ප්‍රදර්ශනය කළා නම් 2022 න් නිපන් නව අරගල ලෝකයට එතැනින්ම බාධකයක් වැටෙනු ඇත.

පර්යේෂණ රඟහල

අතුල පීරිස්ගේ බූරූවාදිකරනය නාට්‍යයේ භාවිත රංග සිද්ධාන්ත සියල්ලම පාහේ ග්‍රොටොව්ස්කිවාදී පර්යේෂණ රඟහල ක්‍රමය උපයුක්ත කර ගනී. අතුල බ්‍රෙෂ්ට්ගේ න්‍යාය අතැඹුලක් සේ දත් නාට්‍යකරුවකු වන හෙයින් දුරස්තකරණය පිළිබඳ සිද්ධාන්තය බූරූවාදිකරනය තුළ මන බඳින ලෙස භාවිත කිරීමට හෙතෙම උත්සුක වී තිබේ.

විශේෂයෙන්ම නිරූ පණ කැල සංවිධානය කිරීම, නාට්‍ය පෙළ සමග ඔවුන් සමපාත කිරීම මෙන්ම නළු කැල රංගය උදෙසා විහිද වීම යන තෙවදෑරුම් ක්‍රියාවලියේදී අතුල නිෂ්පාදකයෙකු ලෙස දක්වන සමත්කම කැපී පෙනේ. බ්‍රෙෂ්ට්ගේ සිද්ධාන්ත සහ ග්‍රොටොව්ස්කිවාදී පර්යේෂණ රඟහල ක්‍රමය එකට මුසු කළ රංග ප්‍රයානයකට බොහෝ අවස්ථාවලදී ඉඩ හසර සලසා ගන්නා අතුල නාට්‍යයේ ප්‍රකාශන අරුත් ප්‍රේක්ෂකයාට දැනවීමට තත් න්‍යායික සංකල්ප ඉතා නිර්මාණශීලීව භාවිතා කරනු දිසේ.

දේශපාලන ප්‍රවාදය

මෙම නාට්‍යය, අවසානයේදී ප්‍රේක්ෂකයන්ගෙන් වැදගත් ප්‍රශ්නයක් විමසයි. ඒ ඔබට ඕනෑ අඥාන සිංහයෙක්ද, ඥානවන්ත බූරුවෙක්ද යන පැනයයි. ඒ ප්‍රශ්නය යළි යළිත් ඇසීම වැදගත් වන්නේ ලංකාවේ සමාජය දෙවරක් නොසිතා හැම විටකම අඥාන සිංහයෙක් තෝරා ගන්නා නිසාය. එසේ තෝරන හේතුව වන්නේ අඥාන වුවත් ඌ සිංහයෙක්ය යන මුල් බැසගත් අදහස නිසාය. සිංහයා පිළිබඳ ලංකාවේ ජනයාට ඇති මතිභ්‍රමය මේ අඥාන සිංහයා වැළඳ ගැනීමට හේතුවන අතර සිංහයා මෙරට මිනිසාගේ ආත්මීය චින්තනයෙන් බැහැර කිරීමට 2022 අරගලයටවත් නොහැකි විය.
එහිදීත් තරුණ තරුණියෝ සිංහයා විරාජමානව සිටින ධජය ආදරය හා ආරක්ෂාව පිණිස අතට ගත්හ. එබැවින් සරෝජා විසින් සිදු කරන සිංහයාගේ භෞතික මරණයෙන් සිංහ විරෝධී ආධ්‍යාත්මික අර්ථයක් සමාජයට ශේෂ නොකරන අතර සමාජ දේශපාලන ආත්මයෙන් සිංහයා ඉවත් කර දමන ස්ථාවරයකට ලංකාව ගමන් කළ යුතුව ඇත.

සංගීතය

බූරූවාදිකරනයේ තේමාව වඩාත් කුළුගැන්වීම සහ එය ප්‍රේක්ෂකයා වෙතට පහසුවෙන් සන්නිවේදනය සඳහා අවකාශය සැලසීමට සංගීත නිර්මාපක ප්‍රදීප් ජයතිලක කර තිබෙන මෙහෙය පැසසුම් කටයුතුය. ඔහු බූරූවාදිකරනයට සංගීතය ඔස්සේ වෙනම වර්ණයක් ලබා දෙන අතර පර්යේෂණ රංග ක්‍රමවේදයට අදාල සංගීත මාත්‍රාවන් තෝරා ගැනීම හා අභ්‍යාස කිරීම පිළිබඳව ප්‍රදීප් පරිසමාප්ත ලක්ෂණ ප්‍රකට කරයි.

නාට්‍යයේ ප්‍රවාදමය ගැටුම සහ එහි උච්චාවචනයන් වෙන වෙනම සංගීතමය දැළකින් ‍ප්‍ර්රෙණය කරගන්නා ප්‍රදීප් ජයතිලක නාට්‍යයේ සිදුවීම් අරභයා උපයුක්ත සංගීත තානයන් නාට්‍යෝචිත බවින් අනූනව ඉදිරිපත් කිරීම පිළිබඳව ගැඹුරින් කල්පනා කොට තිබෙන බව කිව යුතුය.

එමෙන්ම මෙම නාට්‍යයේ නිෂ්පාදක අජානි පෙරේරා මෙවැනි අර්බුද සමයක සංකීර්ණ තේමාවක් කරලියට ගෙන ඒමට දක්වා තිබෙන අනලස් දායකත්වයද අගය කළ යුතුව ඇත.

සටහන - විමලනාත් වීරරත්න

Back to top
Go to bottom

Popular News