lan englan tam

පුවත්

මහින්ද රාජපක්ෂ තිර රචනා කළ Take Care

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මොන වැරැද්ද තිබුනත් ඉස්සර මහින්ද රාජපක්ෂ කියන්නෙ පොදු ජන මනස හරියටම කියවපු, සිංහල ජන සමාජයත් එක්ක අරුම පුදුම මහජන සම්බන්ධතාවක් (PR) ගොඩනගාගත්ත ජනාකර්ෂණීය නායකයෙක්.
මහින්ද දෙයියෝ, මහරජාණන්, අසහාය නායකයා, ජාතියේ පියා, අප්පච්චි වගේ නම් වලින් ඔහුව අමතන්න තරමට ඔහු සිංහල ජන මනසේ මූලයටම කිඳාබැහැලා පොදු ජන මනස අල්ලගත්තා.
ටෙලිනාට්‍යයක් අපිට දැනෙන්න නම් ඒ ටෙලිනාට්‍යයේ කතාව සහ චරිත අපේ පොදු ජන මනසට සහ සමාජ සංස්කෘතික හැසිරීම්වලට ගැළපෙන්න ඕනෙ.

සමහර නිර්මාණකරුවන්ගෙ ෆැන්ටසි කාබයිට් ටෙලිනාට්‍ය සහ සැබෑ පොදු ජන මනස අතර ලොකු පරතරයක් තියනවා. උදාහරණයක් විදිහට සමහර සිංහල ටෙලිනාට්‍යවල පාතාලය සහ මැරයන් ක්‍රියාත්මන වෙන්නෙ මිෂන් ඉන් පොසිබල් එකේ ටොම් කෲස් ස්ටයිල් එකට නිසා ඒවා අභව්‍යයි. මෙන්න මේ වගේ කෘතීම සිදුවීම් සහ කාබයිට් චරිත අපිට දැනෙනවා මදි.
ක්ලබ් වසන්තව මරපු CCTV වීඩියෝස් අපි දැක්කනෙ. අපේ පාතාලය අන්න ඒ වගේ. අපේ පාතාලය පොෂ් නෑ. අපේ පාතාලය හරි අමුයි. සමාජයේ තියන අන්න ඒ අමු කෑල්ල තමයි ටෙලිනාට්‍යවලින් පෙන්නන්න ඕනෙ.
කොඩි ගහ යට, තප්පරයක් දෙන්න සහ කූඹියෝ ටෙලිනාට්‍යවල ඉන්න පාතාලය සහ අනිත් චරිත පොදු ජන මනසට සෙට් වෙන විදිහට අමුවෙන් හසුරවපු නිසා ඒ කතා අති සාර්ථක වුනා. ඒවා හරියට මහින්ද රාජපක්ෂ ලියුවා වගේ... ශක බුම්...
මේ නිසා ටෙලිනාට්‍ය ලියද්දි, අධ්‍යක්ෂණය කරද්දි සහ චරිත රඟදක්වද්දි, මහින්ද රාජපක්ෂ (ඉස්සර) වගේ හිතලා, මිනිස්සුන්ගේ පිටට තට්ටුවක් දාලා, ළමයි වඩාගෙන, පොදු ජන මනසට දැනෙන විදිහට අමු රසයෙන් වැඩේ කරන්න ඕනෙ.
අපේ ජන මනසට ගොඩක් ළඟ විශිෂ්ට තිර රචනයකින් බිහි වුන නිර්මාණයක් තමයි Take Care ටෙලිනාට්‍ය. අපි, අපි දිහාම අමුවෙන් බලනවා වගේ බොක්ක කූල් වෙන හැඟීමක් Take Care ප්‍රේක්ෂකයින්ට දැනෙනවා. මේ නිසා මෑත කාලයේ වැඩිම සමාජ බලපෑමක් (Social impact) කරපු ටෙලිනාට්‍ය තමයි Take Care ( ටේක් කෙයා ).
වාසලලා, අසේනිලා, මේනකාලා, කසුන්ලා අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. ඉතිං, මේ කතාව ඇත්ත සිද්ධි ඇසුරෙන් ලියවුන, බිම් මට්ටමේ ජනතාවගේ හදගැස්ම පසාරු කරගෙන යන අති විශිෂ්ට තිර රචනයක් අපේ හාමුදුරුවනේ. පෙර වැරදි තියන හස්බන්ලට නම් වයිෆ් එක්ක එකට වාඩි වෙලා මේ ටෙලිනාට්‍ය බලන්න අමාරුයි.
මේ වගේම තේමාවකට කරපු තවත් සාර්ථක විකල්පමය ටෙලිනාට්‍යයක් තමයි Human Errors. ඒත් Human Errors ලියුවෙ රනිල් වික්‍රමසිංහ නම්, Take Care ලියුවෙ මහින්ද රාජපක්ෂ.
අද කාලේ ගොඩක් ටෙලිනාට්‍යවල තියන ලොකුම අවුල තමයි crafting (නැවත නැවත සකසමින් නිර්මාණය තව තවත් සර්ව සම්පූර්ණ කිරීම) නැතිකම.
බජට් අවුල් නිසා සියුම් තැන් හද හද සර්වසම්පූර්ණ තෘප්තිමත් රූගත කිරීමක් කරන්න ගොඩක් අධ්‍යක්ෂවරුන්ට බැරි වෙනවා. ඒත්.... පොඩි පොඩි තාක්ෂණික අඩුපාඩු තිබුනත්, නිර්මාණාත්මකව හොඳට craft කරපු දෙබස්, සිද්ධි සහ චරිත Take Care ටෙලිනාට්‍යයේ තියනවා. එහෙම බැලුවම අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කියන විෂය දෙකෙන්ම Take Care අති විශිෂ්ටයි.
වාසල - “සිගරැට් බොන එක ඇඟට ගුණ පුරුද්දක් නෙ‌මෙයි”
මේනකා - “ඉතිං සර් මෙහෙට එන එකත් ඇඟට එච්චර ගුණ නෑනෙ”
මේනකා - “මට හරි මහන්සියි සර්. මට ආයිත් අලුතෙන් පටන්ගන්න බෑ. සර්ට පුළුවන්ද මාව එකම එක පාරක් ආදරෙන් බදාගන්න. ”
අසේනි - “ලැබීම තියන කෙනොට උවමනාව නෑ, උවමනාව තියන කෙනාට ලැබීම නෑ.”
මේනකා - “මම කොහොමත් ටිකයි කන්නෙ මැඩම්.”
අසේනි - “දැන් එහෙම බෑ. ඇඟවල් දෙකකට කන්න එපැයි. වාසල, මෙයාට කියන්නකො ටිකක්...”
වාසල - “ඔව් හොඳට කන්න..! මගේ එකත් කනවා!!!”
අසේනි - “ඒ ගෑනිව ගේ අස්සට ගෙන්නගත්තා මදිවට අපිත් එක්කත් නිදියගන්න!!?? ”
වාසව - “ඔයා ඉතිං කොහොමත් අපි දෙන්නත් එක්කම නිදියගෙන ඉවරයිනෙ.”
මේ වගේ දෙබස්වලට පොදු ජන මනස පසාරු කරගෙන යන්න පුළුවන් අපේ හාමුදුරුවනේ.
මේනකා “සර්” කියන වචනෙ උච්චාරණය කරන විදිහ, චුවින්ගම් හපන විදිහ, බෝඩිමක් ඇතුලෙ හැසිරෙන විදිහ ඇත්ත ජීවිතවල වගේ craft කරලා තියනවා. ඒක තමයි අධ්‍යක්ෂණයේ විශිෂ්ටත්වය.
වාසල මේනකා එක්ක විකල්ප සම්බන්ධයකට යන්න ඕන කරන සියුම් සිද්ධි පියවරෙන් පියවර මුල ඉඳලම කියලා තියනවා. දෙමව්පියන්ගේ කැමැත්තට අනුව වාසල විවාහ වීම, දරුවෙක් නැති වීම, අසේනි සහ වාසල අතර සුහද ගැඹුරු කතාබහක් නොවීම, පවුලේ නම්බුව, දෙමාපියන්ගෙන් ලැබෙන පීඩන සහ තවත් බොහෝ සිද්ධි ලස්සනට පියවරෙන් පියවර පෙන්නලා තියනවා.
පිරිමියෙක්ට තමන්ගේ පවුල් ජීවිතයේ තියන පීඩනය පිටකරන්න පුළුවන් ක්‍රම අතරින් එකක් තමයි විකල්ප සම්බන්ධතා. මේනකා කියන්නෙ වාසලගේ නිළ නොලත් මනෝ උපදේශිකාව. විවාහ ජීවිතය ඇතුලේ වාසලගේ මානසික පීඩනය ඔහු පිටකරන්නෙ සහ තාවකාලික සහනයක් ලබන්නෙ මේනකාගේ “ඇඟ” උඩ සහ “ඇඳ” උඩ.
මෙතන ලොකුම උභතෝකෝටිකය තමයි අසේනි වාසලට යුද්ධ ප්‍රකාශ කරන්නෙ නැති එක. අසේනි වර්ගයේ ගැහැනු පිරිමින්ගෙන් පළිගන්න විදිහ හරිම වෙනස් අපේ හාමුදුරුවනේ. දැන් මේ කතාව බලන කාත්තාවනුත් තමන්ගේ මහත්තයගෙන් මෙහෙම පළිගන්න පුරුදු වුනොත්... හ්ම්.
Take Care ටෙලිනාට්‍යයේ විශිෂ්ටතම කෑල්ල තමයි නළු නිළියන්ගේ රංගනය. ඔව්, පළමුවත් රංගනය, දෙවනුවත් රංගනය, තෙවනුවත් රංගනය අපේ හාමුදුරුවනේ.
Dinakshie Priyasadව සීනි බෝල කුලකයට දාපු විචාරකයින්ගේ කණට ගහන්න දිනක්ෂි මේක හොඳ අවස්ථාවක් කරගත්තා. චටාස්!! ඒ වගේම මේනකා කියන චරිතෙත් එක්ක ප්‍රවීන සහ විශිෂ්ට නිළියන් ගේ ලැයිස්තුවට දිනක්ෂි එකතු වුනා.
Rebecca Dilrukshi ගේ නිහඬ බැල්මකින් පවා කණ් බිහිරි කරවන තරම් දෙබස් අපිට ඇහෙනවා. එහෙම කරන්න පුළුවන් තවත් නිළියෝ ශ්‍රී ලංකාවටම ඉන්නෙ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුවෙන්.
මහින්ද රාජපක්ෂ වගේ උඩු රැවුලකුත් එක්ක සාරංග Saranga Disasekara මේ කරන්නෙ ලස්සන පරීක්ෂණයක් සහ අති සාර්ථක අත්හදා බැලීමක්. මේක සාරංගගේ රංගනයේ කූඨප්‍රාප්තියක්. දෙබස් උච්ඡාරණය සහ අධික පීඩනයක ඉන්න පිරිමියෙක්ගේ ආශ්වාස ප්‍රස්වාස රිද්මය ගැන සාරංගගේ අවධානය තව ටිකක් යොමු වුනොත් තවත් වටිනවා.
කසුන්ගේ චරිතයට පණ දෙන Kasun Tharaka Rathnapalaත් තමන්ගේ කැරැක්ට ප්‍රොෆයිල් එක පරිස්සමෙන් හදාගෙන රඟපානවා කියලා පේනවා.
නිමල් ලක්ෂපතිආරච්චිගෙන් පස්සෙ බිහිවුන රැඩිකල්ම නාලිකා ප්‍රධානියාගේ තීන්දු තීරණ නිසා සාම්ප්‍රදායික ට්‍රැක පැනපු ITN එක, Take Care වගේ කතාවක් විකාශය කිරීමම අපේ රැඩිකල් නිර්මාණවලට සුබ ආරංචියක්. ඒ වගේම Take Care කියන්නෙ සම්මාන ජූරි සභිකයින්ව පරීක්ෂාවට ලක්කරන තවත් ලිට්මස් පරීක්ෂණයක්.
ඉතිං, දේශීය ටෙලි සම්මාන ඉතිහාසයේ හොඳම නිළිය සම්මානයට ලොකුම තරගයක් තියන අවුරුද්ද තමයි 2024. ඒ ගැන සටහනකින් මම මගේ කතාව අවසන් කරන්නම්...
"2024 වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය සඳහා වන නිර්දේශිත නාම...
- ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ තත්පරයක් දෙන්න ටෙලිනාට්‍යයේ ජූජනි ඒකනායකගේ චරිතය රඟපෑ Tharindi Fernando
- ජාතික රූපවාහිනියේ විකාශය වූ අපි ටෙලිනාට්‍යයේ සහන්‍යාගේ චරිතය රඟපෑ Irudini Umali Thilakarathna
- ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ Take Care ටෙලිනාට්‍යයේ අසේනිගේ චරිතය රඟපෑ රෙබෙකා දිල්රුක්ෂි.
- ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ Take Care ටෙලිනාට්‍යයේ මේනකාගේ චරිතය රඟපෑ දිනක්ෂි ප්‍රියසාද්"

ලක්මිණ රණසිංහ

Back to top
Go to bottom

Popular News