ඓතිහාසික සිදුවීම් පෙළක් තේමා කරගනිමින් නිර්මාණය කරන ලද තවත් සුවිශේසිී සිනමා නිර්මාණයක් ලෙස ආලෝකෝ උදපාදි සිනමා නිර්මාණය EAP මණ්ඩලය ඇතුලු රට පුරා සිනමාහල් රාශියක ඉතාම සාර්ථකව ප්‍රදර්ශනය කෙරේ.
කැන්ඩි සිටි සෙන්ටර් නිර්මාතෘ තුසිත විජේසේන මහතාගේ නිෂ්පාදන දායකත්වයෙන් ද සමන් වීරමන් මහතාගේ තිර රචනය හා උපදේශක අධ්‍යක්ෂණයෙන් ද භාරත හෙට්ටිආරච්චි හා චත්‍ර වීරමන්ගේ සම අධ්‍යක්ෂණයෙන්ද නිර්මාණය වන මෙම සිනමා කාව්‍යට නවක කලා ශිල්පීන් හා ශිල්පිණියන් රාශියකගේ සහ දෙදහසකට ආසන්න පිරිසකගේ ශ්‍රම දායකත්වය ලැබී ඇත. නිෂ්පාදක තුමන්ගේ අදහස පරිදි
“සතුරන්ගේ අමානුෂික වද හිංසාවන්ට මුහුණ දෙමින්ද නියංසායෙන් හෙම්බත්ව කොළ, පොතු , මුල්, යුෂ පමණක් ආහාරයට ගනිමින් සියලු දුක්ඛ දෝමනස්සයන් උපේක්ඛාවෙන් විඳ දරා ගනිමින්ද, ධර්මය ග්රන්ථාරූඩ කරන්නට දිවිහිමියෙන් කැපවුණු අධිෂ්ඨාන පූර්වක අතීත සංඝ පරම්පරාවේ සහ වසර 14 ක් පුරා සැඟවී සිටි, වළගම්බා මහ රජු, යලිත් සිය හමුදා තර කොට ගෙන අවුත් ආක්රමණීකයින් පරදවා, තුන් සිංහලය සාමයෙහි පිහිටුවා ජයග්‍රහණය කිරීමේ කථාන්තරය ” ආලෝකෝ උදපාදි සිනමා කාව්‍යයට ප්‍රස්තූථ වී ඇත.
ඒ අනුව ආලෝකෝ උදපාදී සිනමා නිර්මාණය සඳහා තේමා වී ඇත්තේ මීට වසර දෙදහස් එකසියයකට පමණ පෙර ලක්දිව සිහසුන හෙබවූ වලගම්බා මහරජු හා බැඳුණූ සිදුවීම් පෙළකි. ලක්දිව පුරා ස්වයං පෝෂණයත් සහ ජීවනයත් රැඳුණු සමෘද්ධිමත් පාලන සමයක් වූ වලගම්බා රජ සමය හදිස්සියේ පැමිණෙන සතුරු ආක්‍රමණයන් නිසා ව්‍යාකූලත්වයට පැමිණේ.
රජවාසල පුරා දුවපැන ඇවිදින පුංචි කුමාරවරුන්ගේ සතුටත් නිදහසත් හදිස්සියේ නතරවන අතර ක්‍රිඩාවත් නිදහසේත් වෙනුවට සිහසුන හිඳුවා ගනිමින් අසිපත අතට දෙන දසුන් පෙළක් සමඟ එය වඩාත් අර්ථ ගැන්වී ඇත.
සතුරන් විසින් රජවාසල විනාශ කරමින් ආක්‍රමණය කිරීමක් සිදුවන අතර සෙන්පතියන්ගේ දැඩි පෙරැත්තය හමුවේ අකමැත්තෙන් වුවද වලගම්බා රජුට රජවාසල හැර දමා රහසේ පලායාමට සිදුවීමත් අනතුරුව මතුකර පෙන්වා ඇත. හත් දහසක් සතුරු සේනාවන් සමඟ යුදවැදීමට තමාට ශක්තියක් නොමැති බව දැන දැනත් අවසාන මෙහොත දක්වාමත් පළායාම ප්‍රතික්ෂේප කරමින් රට වැසියා වෙනුවෙන් සටන් වැදීමට උත්සාහ කරන රජතුමාව පළායාම සඳහා පොළඹවන්නේ සිංහලයේ රාජ්‍යයත්වයට උරුමකරුවකු සිටිය යුතුය යන්නත්, සම්බුද්ධ සාසනයේ මතු ආරක්ෂාව සඳහා රජතුමා ආරක්ෂා විය යුතුය යන්නත් අවධාරණය කරමිණි.
අවසානයේ සතුරු සේනා රජවාසල ආක්‍රමණය කර ඇති අසීරුම අවස්ථාවක අකමැත්තෙන් වුවද සෙන්පතියන්ගේ ඉල්ලීමට කීකරු වන වලගම්බා රජතුමා සිංහලයේ රාජ්‍යයත්වයේ සංකේතයත්, දරු දෙදෙනා සහ බිසෝවරුන් දෙදෙනකුත් සමඟ රජවාසලින් රහසේම පලායයි. රජතුමාගේ පළායාම සිදුවන්නේද අසීරු දුෂ්කර උමං මාර්ගයක් ඔස්සේ මාළිගයෙන් එළියට පැමිණ එක් අශ්වයකු පමණක් බැඳි රථයකිණි. අවස්ථාවේ ඇති දුෂ්කර බව, අපහසුව මෙන්ම තීරණාත්මක බවත්, අවිනිශ්චිත බවත් සිනමා පටය තුළ මනාව පෙන්නුම් කරන අතර පළායන අවස්ථාවේ අසීරු බව තවත් උච්ච බවට පැමිණෙන්නේ අවදානම් සහගත තීරණාත්මක මොහොතක ගිරි නම් නිඝණ්ඨයා විසින් රහසේ පළායන මහරජු හඳුනාගැනීමත් අනතුරුව මහා කලු සිංහලයා පළා යනවෝයි කෑ ගසමින් මහරජුගේ පලායාම ගැන සතුරු සේනාවන් දැනුවත් කිරීමෙනි. සතුරු සෙබලුන් නිඝණ්ඨයාගේ කෑගැසීමත් සමඟ රජතුමා ලුහුබැඳ යයි. සීඝ්රයෙන් ළඟාවන සතුරු සෙබලුන් රජු ඇතුලු පිරිස පළායන අශ්වරථයට වඩ වඩාත් සමීප වීමත්, කටුක දුෂ්කර මාර්ගයේ, වැඩි පිරිසක් රැගෙන නමුත් එක් අසෙකු විසින් පමණක් ඇදගෙන යන රථයේ වේගය අඩාල වීමත්, රියදුරු අසුවේගයෙන් දක්කන්නට දරණ වැයමත්, රියවේගය තව තව අඩපණ වීමත්, සතුරු සෙබලුන් වේගයෙන් සමීපවීමත්, සිනමා පටය තුළ අපූරු ආකාරයෙන් පෙළගස්වා ඇත.
රජතුමා ඇතුලු පිරිස සතුරන්ට මේ දැන් හසුවෙතැයි හැඟන නොසන්සුන් සහ අවිනශ්චිත මොහොතක සිදුවන්නේ, ක්ෂණිකවම සෝමා දේවිය තම දරුවා තුරුලට ගෙන සිපගැනීමත්, සොයුරියට තම පුතු රැකගන්නා ලෙස පැවසීමත්, රාජ්‍යයත්වයේ උරුමයත් සම්බුද්ධ ශාසනයේ මතු ආරක්ෂාවත් වෙනුවෙන් රජතුමා ආරක්ෂා විය යුතු බව පවසමින් වේගයෙන් ඇදෙන රථයෙන් සෝමා දේවිය බිමට පැනීමය. ඉතාම උද්වේගකර අවස්ථාවක් වූ මෙම සිදුවීම සිනමා පටය තුළ ඉතා සීමිත දර්ශන කීපයකට පමණක් සීමා වී ඇති නමුදු මෙය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිශේෂිමවූත් අපුර්වතම වූත් සිදුවීමකි.
සිංහල ජාතියේත්,සම්බුද්ධ ශාසනයේත් පැවැත්ම හා ගමන්මඟට ප්‍රබල බලපෑමක් වන්නට තිබූ තීරණාත්මක මොහොතක් වන මෙම අවස්ථාව සෝමා යනුවෙන් වලගම්බා රජුගේ කෑ ගැසීම සමඟ සිනමා නිර්මාණය තුළ නිමාවට පත්කර ඇත.
සාමාන්‍ය සුලු සිදුවීමක් නොවන මෙම සන්සිද්ධිය ඉතිහාසයේ සිදුවූයේ සතුරන් විසින් රජවාසල ආක්‍රමණය කර මහ සටන් ඇවිලෙද්දී රජතුමා කිරුළ හිමි කුමාරවරුන් සමඟ පලායන මොහොතකය. පළායන රජතුමා ලුහුබඳිමින් පසුපස හඹා එන සතුරන්ට හසුවී ජීවිතය අහිමිවන්නට තිබූ මොහොතක රජු වෙනුවෙන් සෝමා දේවිය තම ජීවිතය පූජා කිරීමය. වේගයෙන් ඇදී යන අශ්වරථයෙන් සෝමා දේවීය බිමට පනින්නේ බියේ සැඟවී යාමට නොව, ඇස්මානයේ ළඟාවන සතුරන් ඉදිරියටය. ඇගේ අවසන් ඉල්ලීම වන්නේ ද සිංහලයාගේ ත් සම්බුද්ධ ශාසනයේත් මතු ආරක්ෂාව වෙනුවෙන් රජතුමා බේරී පළා යා යතු බවය. දේවියගේ ජීවිත පූජාව නිසාම රජතුමාට කිරුළ හිමි පුත්කුමාරවරුන්ට සතුරන්ගෙන් බේරී පළායන්නට අවස්ථාව සැලසෙන ඓතිහාසික සිදුවීමය.
සතුරු සේනාවන්ගෙන් බේරී පලායන රජතුමා ඇතුලු පිරිස තිස්ස මහතෙරුන් ඇතුලු මහා සංඝයා වහන්ලො ගේ ආරක්ෂාව සහ රැකවරණය තුළ වසර 14කට ආසන්න කාලයක් සැඟව වාසය කරයි.
රජතුමා ඇතුලු පිරිස පලාගොස් සැඟව ජීවත්වන බවත් මහා සංඝයාවහන්සේලා ඔවුන් ආරක්ෂා කරන බවක් දැනගන්න සතුරු නායකයින් රජ පවුල සොයා තොරතුරු විමසමින් අහිංසක ගම් වැසියන් සමූල ඝාතනය කරයි. ගම්දනව් ගිනිබත් කරමින්, පන්සල් ආරාම විනාස කරමින් සංඝයා වහන්සේලා ඝාතනය කරමින් උන්මන්තකයින් මෙන් ඔවුන් හැසිරේ. රජු සිටින තැන සොයායන්නට,තොරතුරු ලබා ගන්නට, නොයෙක් උපක්‍රම භාවිත කරමින් රට වැසියා පීඩාවට පත්කරන ඔවුන්, අවසානයේ අස්වැන්නද ගොවිබිම් ද ගිනිතබා, වැව් අමුණු කඩා බිඳ දමා විනාශ කරයි. රජතුමා ආරක්ෂා කරනුයේ මහා සංඝයා වහන්සේලා බව හඳුනා ගන්නා සතුරු සේනාවන් වියරුවෙන් මෙන් හැසිරෙයි. එහි ඛේදජනකම සිදුවීම වන්නේ ඇසූ පිරූ තැන් ඇති මහතෙරුන් වහන්සේලා මෙන්ම බණ දහම් ඉගෙන ගනිමින් මහණ දම් පුරණ ළාබාල කුඩා සාමනේරයන් වහන්සේලා ඇතුලු මහා සංඝයා වහන්සේලා දුටු දුටු තැන සමූල ඝාතණය කිරීමය.
මේ සියලු කාරණා හමුවේ රටවැසියා භීතියටත්, ශෝකයටත් පත්වේ. රටපුරා ඇතිවන වැසි රහිත නියන් කාල ගුණයක්, වැව් අමුණු කඩා බිඳ විනාශ කිරීම නිසා ඇතිවූ ජල හිඟයත් නිසා ආහාර හිඟවීමෙන් සාගතයෙන් පීඩා විඳින මිනිසුන්ද, තම දායක දායිකාවන්ගේ දුක් වේදනාවන්ද, බඩ ගින්නද, පිපාසයද හමුවේ, කළකිරීමට අපහසුවට පත්වන සංඝයාවහන්සේලාද සිනමා නිර්මාණය තුළ සාර්ථකව මතුකර පෙන්වා ඇත.
රටේ සිදුවන සියලු හිංසාවන්ද, පීඩාවන්ද, දරා සිටි මහරජතුමා, තවදුරටත් ඉවසා සිටිය නොහැකි තැන රහසේ සේනා සුදානම් කිරීමටත්, සතුරන්ට එරෙහිව යුධ වැදීමටත්, තීරණය කරයි. රහසේ සටන් පුහුණුව ලබන සෙබලුන් අවසානයේ මහත් වූ කැපවීමත්, උපක්‍රමශීලී බවත්, රණශූරත්වයත් නිසාම සතුරන් පරාජය කරමින් ජය තහවුරු කරගනී.
මෙම ඓතිහාසික සිදුවීම් ජාලය සනිටුහන් කරන සිනමා කරුවා අප්‍රමාණ දුක්වේදනාවන් විඳිමින්,බඩගින්නෙන්, පිපාසයෙන් පෙළෙමින් වැහැරුණු ගතින් වුවද, නොසන්සිඳෙන ධෛර්යයෙන් යුතුව රට වෙනුවෙන් සටන් වදින්නට පුහුණුවන සෙබලුන්ද, ජීවිතය පරදුවට තබා මුඛ පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන ආ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරගැනීමට මරණාසන්න මොහොතේ පවා වෙහෙසවන මහ තෙරුන් වහන්සේලාත් සිනමා පටය තුළමතුකරනුයේ, ප්‍රේක්ෂකයා තුළ පහන් සංවේගයක්ද අභිමානයක් ද ඇතිකරමිනි.
විශේෂයෙන්ම වර්ණ ගැන්වීමේන් වෙස් ගැන්වීමේන් පමණක් නොව සුදුසු ආකාරයට නලු නිලියන් තෝරාගැනීමහා මෙහෙයවීම තුළින් කුළ ජීවිතයේ කටුක බව, දුෂ්කර බව මනාව මතුවී ඇත. දිරාපත් සිරුරුද, වැහැරුණු මුහුණද, පීඩිත ඇස් ද ඇති මිනිසුන්ද සංඝයා වහන්සේලාද සිනමා පටය තුළ මතුකරනුයේ කටුක දුෂ්කර ජීවිතයට මුහුණ දීම නිසා සැබැවින්ම මිනිසුන් විදි දුක්ඛ වේදනාවන්ය. විශේෂයෙන්ම සංඝයා වහන්සේලාගේ ගිලුණු ඇස් හා දිරාපත් සිරුරු වලින් සාර්ථකව මතුකර පෙන්වා තිබුනේ මේ සියලු ව්‍යයසනයන් හමුවේ උන්වහන්සේලා ද මහත් කම්පාවට පත් වී ඇති බවය. එසේම අව්වට කරවී ගිය, නියඟයෙන් පීඩා විඳි දිරාපත්වූ සිරුරු ආහාර හෝ ජලය නොමැතිව හාමතේ ඇදවැටෙද්දීත්, සද්ධර්මය සවනට කොඳුරා කියාදෙන්නටත් වාරු නැතිව බිම වැටී හෝ ශ්‍රවණය කරන්නටත්තමහසඝරුවන දැරුවා වූ වෑයම සිනමා පටය තුළමතුවනුයේ ප්‍රේක්ෂකයා තුළ පහන් සංවේගයක් ඇතිකරවමින්ය.
එසේම තවත් සුවිශේෂී සිදුවීමක් වන්නේ ගම් වැසියන්ද, රට වැසියන්ද, මහ සඝරුවණද විඳින පීඩාවන් හමුවේ යුධ වදින්නට විමසන වළගම්බා රජුගේ මුහුණින් ප්රකාශවන හැඟීම්ය. රටේ සිදුවන මහා විනාශයන් හමුවේ සතුරන්ට එරෙහිව යුධ වදින්නට තීරණය කර මහතෙරුන් ඉදිරියේ සිටින රජුගේ මුහුණෙහි අවසන් මොහොත දක්වාත් මතුවන්නේ රණකාමීත්වයට වඩා අවිනිශ්චිත බවය. උද්දික ප්‍රේමරත්නගේ රංගන පෞරුෂයට වලගම්බා රජුගේ චරිතය ආරෝපණය වී ඇත්තේ වීරත්වය, රණශූරත්වය පෙන්වමින් බලය හඹා යන පසුබිමක නොවේය. විශේෂයෙන්ම ආලෝකෝ උදපාදී සිනමා කාව්‍ය ගොඩනැඟෙන්නේ “නහී වේරේන වේරානී......”වශයෙන් වෛරයෙන් වෛරය නොසන්සිඳෙතැයි කියන, නිතරම “සබ්බ පාපස්ස අකරණං......” යනුවෙන් සියලු බුදුවරයන්ගේ ගුණ මහිමයත් සිහිකැඳවන බුදුබණ කියැවෙන පසුබිමකය.මේ නිසාම සිනමා නිර්මාණය තුළ මතුවනුයේ ලේ පිපාසයෙන් යුධ වදින රජකු නොව, සතුරන් සිදුකරන විනාශ හමුවේ, වෙනත් විකල්පයන් නොමැති විට යුධ වදින්නට සිදුවන නිසා ම යුධ වදින රජකෙනෙකි.
සතුරන් පරාජය කර යුධ බිමේ සිටින මහ රජ තෙමා දමමින් මහ වැසි ඇද වැටේ. එය සිදුවන්නේ මහා නියඟයෙන්, සාගතයෙන් පිපාසයෙන් පීඩා විඳි අයගේ දුක් වේදනාවෙනුත් යුද්ධයෙන් ගැලූ ලේ කදුලුත් සෝදා හරිමිනි. විශේෂයෙන්ම නියගයට වේලී ඉරිතැලුණු වැව් පතුලේ වැටී සාගතයෙන් මියැදෙන්නට පෙර සද්ධර්මය මුමුණන, ශ්‍රවණය කරන මහසඝරුවනගේ දෙතොලට වැහි බිඳු වැටෙන්නේ මියැදෙන්නට ගිය සද්ධර්මයට නව ජීවයක් ලැබෙන බව සනිටුහන් කරමිනි. එසේම සතුරන් සමඟ සටන් වැඳීම නිසා මහරජුගේ සිරුර පුරාත් අසිපතෙහිත් තැවරුණු ලේ පැල්ලම් සෝදාහරිමින් එම වැස්සම ඇද වැටේ. අවසානයේ සතුරන්ගේ විනාශකාරී ක්‍රියාවන්ගේ ද වැසි රහිත නියන් සාඝතයෙන්ද නිදහස් වන මහසඝරුවන සද්ධර්මය වනපොත් කරන දසුන් පෙළකින් සිනමා නිර්මාණය අවසන්වේ. කටුක, දුෂ්කර අවධි පසුකරමින් සැබෑ ධෛර්්‍යයෙන් හා කැපවීමෙන් යුතුව අප නැඟී සිටි ආකරය අපේ ඉතිහාස අභිමානයෙන් යුතුව මෙහිදී සිහි කැඳවන අතරඉතිහාසය ගොඩ නැඟුනේ ද යුධ බිය, සතුරු ආක්‍රමණ, නියං සාඝත අතරේ වුවද ජීවිත පරදුවට තබා බුදු බණ ආරක්ෂා කරමින් බව සිහිපත් කරමිණි.
ආචාර්ය නාමලී කුමාරි හඳගම, පේරාදෙණිය විශ්ව විද්‍යාලය