"කලබල වෙන්න එපා. වතුර ටිකක් බොන්න. ටිකක් ඉඳලා ආයේමත් පටන් ගන්න."
මගේ සුවිසල් බලාපොරොත්තුව බිඳ වැටෙන්නට ආසන්න මොහොතේ ඇය කීවාය. අවසන් හඬ පරීක්ෂණයදී පුංචිම අඩුපාඩුවක් සිදු වුවහොත් තෝරා නොගන්නා බව කීවා මතකය. කටහඬ වියළී වචන පැටලී ගිය විට ආයේමත් මොනවා නම් සිතන්නද?
එහෙත් පාලක මැදිරියේ සිටි සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ තිදෙනා ගෙන් ප්‍රතාපවත් කාන්තාවගේ ඒ දයාබර වචන ටික මට අම බිඳු සේය. නැවත ධෛර්යය ගෙන උපරිම හැකියාව ගෙන නිවේදන තුන ඉදිරිපත් කළෙමි.
"හොඳ හඬක් තියෙනවනේ. මහන්සි වෙලා වැඩ කරන්න."
නැවත ඇය කීවාය. ඇයට ප්‍රසංශා කිරීමට සිතුණු නමුත් හිස සලා මම අසා සිටියෙමි. අවසන් වරට තෝරා ගත් දස දෙනා අතර මගේ නම තිබීම ජීවිතයේ ලොකුම විජයග්‍රහණය බව ඒ මොහොතේ දැණිනි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට උපාධිධාරී තරුණ සහන නිවේදක නිවේදිකාවන් බඳවා ගන්නා විට කිසිවෙකු නොහදුනන මා තෝරා ගත්තේ එළෙසිනි.
අනතුරුව පැවති ප්‍රායෝගික සැසි වලදී ඇයත් අනිත් දෙදෙනාත් අපට හමු විය. එකළ මා කැමතිම විෂය වු නිවේදක කලාවේ අත් පොත් තබන්නට ඉඩහසර සලසා මඟ කියා දුන් ආදරණීය ඇය සුමනා නෙල්ලම්පිටිය මහත්මියයි. අනිත් දෙදෙනාද ගුවන් විදුලියේ දි හමු වූ නවකයින්ට මඟ කියා දුන් ධම්මික පී රත්නායක මහතා සහ මාලනී වෙත්තසිංහ මහත්මියයි.
අමිහිරි මතක මැද ගෙවුණු කෙටි සහන නිවේදක කාල සීමාවේදී මට පමණක් නොව අප සියල්ලටම එකසේ දැනුම අත්දැකීම් සමග ගුරු හරුකම් ලබා දුන් නෙල්ලම්පිටිය මැතිනියනි ඔබට නිවන් සුවයම අත්වේවා.
සන්නිවේදක සුධීර ජයරත්න විසිනි.