lan englan tam

පුවත්

ඇන්ටන් අල්විස්ගේ අභාවය ගැන අගමැතිගෙන් ශෝක පණිවුඩයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කලාව, මාධ්‍ය ක්ෂේත්‍රය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අගනා මෙහෙවරක් ඉටුකළ විශිෂ්ට කලාකරුවකු, මානව හිතවාදී සොඳුරු මිනිසකු ලෙස ඇන්ටන් අල්විස් නාමය තම මතකයේ තැන්පත්ව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කලාව, මාධ්‍ය ක්ෂේත්‍රය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අගනා මෙහෙවරක් ඉටුකළ විශිෂ්ට කලාකරුවකු, මානව හිතවාදී සොඳුරු මිනිසකු ලෙස ඇන්ටන් අල්විස් නාමය මාගේ මතකයේ තැන්පත්ව ඇත. ප්‍රවීණ ගායිකා චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ  ඇන්ටන් අල්විස් මහතා ලාංකේය සමාජය වෙනුවෙන් ඉටුකළ නිහඬ මෙහෙවර මේ මොහොතේ ගෞරවණීයව සිහිපත් කිරීම ඉතා වැදගත්ය. 

වත්තල/හුණුපිටිය ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස මුලින්ම මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු, පසුව මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස ලංකාදීප කර්තෘ මණ්ඩලයට සම්බන්ධ වන්නේය. එහි පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කරන සමයේ විශේෂාංග ලේඛකයකු ලෙස සෑම ක්ෂේත්‍රයකම සුවිශේෂ දක්ෂතා ප්‍රකට කළ ප්‍රබල මාධ්‍යවේදියෙකි.

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ, ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ලෙස මෙන්ම ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ ද සේවය කරන සමයන්හි කලා ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් ඉටුකළ ඔහු චිත්‍රපටි නිෂ්පාදනය, තිර රචනය, ගීත රචනය ආදී ක්ෂේත්‍රවල ද ස්වකීය අනන්‍යතාව සනිටුහන් කළ විශිෂ්ටයෙකි. 

    දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සමඟ ඉතා සමීපව කටයුතු කළ ඇන්ටන් අල්විස් මහතා, එතුමාගේ පාලන සමයේ කලාකරුවන් සහ රාජ්‍ය අතර සුහද සම්බන්ධතා වැඩිදියුණු කිරීමට සුවිශේෂ මැදිහත්වීමක් කළ අයෙකි. කලාකරුවන්ගේ සුබසාධනය සඳහා රාජ්‍ය මට්ටමින් අවශ්‍ය පහසුකම් ලබා දීමටත්, ජාත්‍යන්තරව ලාංකේය කලාව නියෝජනය කළ යුතු අවස්ථාවන්හිදී සක්‍රීයව දායක වෙමින් කලා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කිරීමටත් නොපැකිලව ඉදිරිපත් වූයේය.  

කලාකරුවන් උදෙසා මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය උදෙසාද පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ඇන්ටන් අල්විස් මහතා, එක්සත් ජාතික පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ද ඉටුකළ සේවයට කෘතවේදීත්වය පිරිනැමීමටද මෙය අවස්ථාවක් කරගනිමි.  

සමස්ත ජීවිතය කලාව සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනවීම වෙනුවෙන් කැප කළ ඇන්ටන් අල්විස් කලාකරුවාණන් වැනි සොඳුරු මිනිසුන් භෞතිකව අප අත්හැර ගිය ද, අප මතකයන් තුළ අමරණීයව ජීවත් වනු ඇත.

සබැඳි පුවත්

Back to top
Go to bottom

Popular News