lan englan tam

පුවත්

'රටක් හදන එක ඉතාම සරලයි' - අජිත්ගේ සින්දුව

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මැතිවරණයක් ආසන්න වනවිට සමාජයේ සාතිශය බහුතරයක් ජීවත් වෙන්නේ තමන් පිළිගන්නා දේශපාලන මතය අනුව සියල්ල සිදු වේ යැයි මානසිකත්වයකිනි. ඒ හා සමගම තම පැතුම් ඉටු නොවෙතැයි ආතති සහගත විපිළිසරභාවයක්ද නැතුවා නොවේ. මේ නිසා සමහරු කියන්නේ මැතිවරණ කාලෙට රටේ ජනතාව දේශපාලනිකව අවදි වන බවයි. සමහරු කියන්නේ අවුරුදු පහක් නිදාගෙන හිටපු පිරිසක් මැතිවරණයට අවදි වී වටපිට බලා තොරන්, සැරසිලිවලින් උද්දාමයට පත්ව කතිරය ගැසීමත් ඉන්පසුව නැවත නිද්‍රාවට වැටීමත් මේ රටේ තත්වයක් බවය.

මෙවැනි වටපිටාවක අජිත් කුමාරසිරි අලුත් සංදුවක් නිර්මාණයකර ජනගත කර ඇත. එය පසුගිය දවස්වල මැතිවරණ රැලිවල ගායනා කර, නැවත නැවත පුනරුච්චාරණය කරනු ලබන ප්‍රශත්සි පන්නයේ පුද්ගලාලම්භන ගායනාවක් නම් නොවේ. ඒ වෙනුවට මැතිවරණ මනෝභාවයෙන් අවදිව සිටින සමාජයට වෙනත් ආකාරයේ ආමන්ත්‍රණයක් අජිත් කුමාරසිරි විසින් ලබා දී ඇත. ඔහු එය පටන් ගන්නමේ මෙවැනි උපහාසයකිනි.
"ලංකාව හරිම විනෝදයි
සතුටු වෙන්න පුළුවන්
ජනගහනේ ප්‍රජාතන්ත්‍රිකයි
රවට්ටන්න පුළුවන්
චැනල් කරන අය විවෘතයි වගේ
ළඟා වෙන්න පුළුවන්
පත්තර ටීවී රේඩියෝ ඔක්කොම
ළඟට ගන්න පුළුවන්"
ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය එහි ඇති තේරුමෙන් ගලවා ඇස්බැන්දුමක පවත්වා ගෙන යාමට ජනමාධ්‍ය යොදාගනු ලබන බවත් විනෝද සමයක් මැතිවරණ කාලෙට පැමිණෙන බවත් අජිත් කියා තිබේ. ඇත්තම කාරණය සාමාන්‍යයෙන් ජීවිතය ගැන සමාජය ගැන දේශපාලනය ගැන ගැඹුරු කියවීමක් ඇතැයි සිතිය හැකි මහා දැවැන්තයන් මැතිවරණ කාලයට ඇද වැටෙන පාර්ශ්වික සිතීම් රටාවක් ගැන හොඳම නිදසුන් දැන් දකින්නට ලැබේ. පොදුවේ සමාජයක් මැතිවරණය තුළ අන්දන්න පුළුවන් බව අජිත් කලාකරුවෙක් හැටියට දකින විදියයි මේ සින්දුවෙ තියෙන්නෙ.
අනෙක් අතට මැතිවරණ කාලෙට කිසිදු තාර්කි බවක් නැතිව එහෙයියන් බවට පත්වන සුලුතර කණ්ඩායමක් සෑම දේශපාලන නායකයකු වටාම පෙළ ගැසෙන බව අමුතුවෙන් කිව යුතු නෑ. මෙන්න මේ තත්වය නිසා විචාරයකින් තොරව ගැලවුම්කාරයන් ලෙස පෙනී සිටිමින් ජනතාව අන්දන්න දේශපාලන නායකයන්ට හැකියාව ලැබෙනවා. අපි මොන තරම් අගාදයක වැටී සිටියත් ඒ අගාදයේ බිත්ති මත විසිතුරු රටා මවමින් සුන්දර සිහින ජන මනසට ආරෝපණය කරනවා විනා, ඒ මහා නායකයන් විසින් වැටී සිටින වලේ ඇත්ත ගැඹුර හෝ ඉන් ගොඩ යන සාමුහික ප්‍රයත්නයක අවශ්‍යතාව කියන්නේ නෑ. ඔවුන් මහා විපර්යාසයක් ගැන ජනතාවට නිතරම දේශනා කරමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රයේ දසක 7ක අත්දැකීම් බහුල, දේශපාලන පාඩම් හොඳින්ම ඉගෙන ඇති වැඩිහිටියන් පමණක් නොව, සටන්කාමී වෙනස්කම් අපේක්ෂා කරන, විචාර බුද්ධිය ඇති තරුණයන් පවා අන්දන්නට සමත්. මේ ගැන අජිත් කියන්නෙ හොඳ ලුණු ඇඹුල් ඇති පදවලින්. රට ගොඩගන්න හිතාගෙන අනුකාරක රැලිවල පාවෙන සමහරුන්ට නම් මේක ඇහුවම ඔලුවට පොල්ලකින් ගැහුවා වගේ හිතෙන්න පුළුවන්.
"මැතිවරණේ ළඟ එන හින්දා
මගේ දාසලට මං කිව්වා
විප්ලවයක් මට හදලා දෙන්න කියලා
අලුත් අයිඩියා කරකවලා
රටේ බබාලට කිරි පොවලා
රට ගොඩගමු අපි
උඹෙ අම්මට කියලා"
අපේ රටේ ඉන්නෙ අවුරුදු 77ක් (1947 සිට) මැතිවරණ දේශපාලනය ගැන අත්දැකීම් සහිත පිරිසක් කියලා කියනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ලෝකයේ පැරණිම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් කියලා අපි ම වරණනා කරනවා. නමුත් ඡන්ද කාලෙට ඡන්දදායකයන් වීම හැර අන් යමක් දැන් මේ මැතිවරණ කාලෙ අපි දකිනවද කියලා අජිත් අහනවා.
"ඡන්දදායකයො විතරයි ඉන්නේ
පුරවැසියෝ අප ළඟ
දේශපාලනය ජරා මූලිකයි
රට ම කන්න පුළුවන්
දාර්ශනිකයෝ තාවකාලිකයි
කඩේ යන්න පුළුවන්
රටක් හදන එක ඉතා ම සරලයි
ඔයාලටත් පුළුවන්
මැතිවරණේ ළඟ එන හින්දා....."
මේ වනවිට දේශපාලන චින්තනය හදාරපු, දාර්ශනික විග්‍රහ සම්බන්ධ නම් දරාපු සියල්ලෝ බාල දේශපාලන මතවාදී නරාවළකට ඇද වැටී තියෙද්දි රටක් හදන්න කාටත් පුලුවන් වගේ න්‍යාය අපට කියා දෙනු ලබනවා. සරල ගණිතමය උදාහරණ අප හමුවේ දිග හරිනු ලබනවා. මැතිවරණ කාලෙට ඒක එහෙම තමයි. නමුත් සරල රේඛීය චින්තනයකට වඩා දේවල් තුළ ගැඹුර දකින්න මැතිවරණ කාලෙට සමාජයට අවස්ථාව ලැබෙන්නෙ නෑ. කලාව, ඒ දේශපාලන ප්‍රවාහය තුළ ප්‍රචාරක ව්‍යාපෘතියක් බවට පත්කරනු ලබනවා. කලාකරුවන් ප්‍රචාරකයන් බවට පිරිහළෙනු ලබනවා. රංචු ගැසී දේශපාලන රැස්වීම්වල වේදිකා ගානේ යන කලාකරුවන් මැතිවරණයකදි පත්කරන නියෝජිතයන් රටට සිදු කරන අපරාධ සම්බන්ධ වග කියන්නෙ නෑ. මොකද, ඒ කලාකුවන් බොහෝ අවස්ථාවල දේශපාලන කඩේයාම විසින් පඬුරු පාක්කුඩම්වලට හිමිකම් කියනවා. දැන් තියෙන අලුත්ම කතාව අපි මේව කරන්නේ රට ගැන හිතලා කියන සින්දුවයි. රට ගැන හිතන ඔනම කලාකරුවෙක් කළයුතු තමන්ගෙ කලාවට, කාල්තම නිර්මාණයට වගකීමෙන් මැදිහත්වන එක කියලයි අජිත්ගෙ මේ නිර්මාණය විසින් ප්‍රායෝගික වශයෙන් අපට කියා පාන දේ. අජිත්, අප දන්නා කාලයක සිට අප ජීවත්වන සමාජයේ දේශපාලන අවබෝධය පුළුල් කරන්න සිය කලා භාවිතයෙ නියැලෙන කෙනෙක්. මේ ගීතයෙන් මැතිවරණ කාලෙ සිදුවන කෙලි සෙල්ලම් ගැන නිර්දය උපහාසය ගෙන එමින් කියන කාරණා ගැන වටහා ගන්න මහා දැනුමක්වත් මහා දේශපාලන දැනුමක්වත් කලාත්මක විශ්ලේෂනයක්වත් ඕන නෑ. විවෘතව දකින්න, මේ සින්දුව නිදහසේ අහන්න පුළුවන් නම්, අපි අවට සිදුවන දෙයින් ඇත්ත වටහා ගන්න මේ ගීතයම ප්‍රමාණවත්.
"අලුත් රටක් ගැන පරණ නායකයො
කෙළ හලන්න පුළුවන්
යටින් පඩික්කම් උඩින් කුඩිච්චන්
ලෙවත් කන්න පුළුවන්
පාන් හදන අය ජාත්‍යන්තරේට
බත් උයන්න පුළුවන්
රටක් හදන එක ඉතාම සරලයි
ඔයාලටත් පුළුවන්
මැතිවරණේ ළඟ එන හින්දා..."
මේ ගීතයේ පදරචනය, සංගීතය සහ ගායනය අජිත් කුමාරසිරිගෙ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත

Back to top
Go to bottom

Popular News