ජීවිතය මේ වගේ.
සරුංගලේ නුඹ වාගෙයි... කමකට නැති අපේ ළමයි
සරුංගල් ගැන ලොකු උනන්දුවක් නැතත් ඒ ගැන මගේ මතකයන් බොහෝය. කුඩාම කාලයේ දිනක් තාත්තා කාටද කියා මට අපූරු සරුංගලයක් සාදා ගෙනත් දුන්නා මතකය . ලාකොළ සහ සුදු පාටින් අලවා තිබූ එය උඩ යවන්නට මා ගත් සියළු උත්සාහයන් ව්‍යර්ථ වූ අතර අවසානයේ ගේ ඉදිරිපිට රබර් කට්ටියේ වූ ලපලක පැටිලී ඇය අවසන් ගමන් ගියාය.
සරුංගල් කප්පිත්තෙක් වූ මාගේ ඥාති සොහොයුරෙක් වරක් මොරටුවේ සිට දැවැන්ත සරුංගලයක් හදාගෙන එවකට අප පදිංචිව සිටි ඉංගිරියේ රයිගම් වත්තට පැමිණියේය. වත්තේ වූ උස් මුදුනකට නැග ගත් අප සරුංගලය යවා බොහෝ සේ තුටු උනද එය බිමට බානා විට අපේ ගෙදර සිටි ටයිනී නම් බලු සුරතලා එය කැබලි කර දැම්මේය. මේවා සරුංගල් සම්බන්ධව මොන තරම් සිල්ලර අත්දැකිම්දයි මට පසක් වූයේ අද උදයේය. සැබැවින්ම සරුංගල් ගැන මා ලද අනුවේදනීය අත්දැකීම ලැබුවේ අද උදයේය.
කෙටි කලක විරාමය නිමකරමින් උදෑසන ඇවිදීම සඳහා ගිය මම ආපසු එන්නට ආවේ ඉංගිරිය පශු වෛද්‍ය කාර්යාලය අසල ඇති කුඩා පිට්ටනිය හරහාය. කලකට පෙර අවට කොලු කුරුට්ටන්ගේ ''ලෝඩ්ස්'' පිටිය වු මෙහි ක්‍රිකට් තරගයක් නොපැවති සති අන්තයක් නොමති තරම් ය. ඊට අමතව අවට ගැහැණු ළමෝ ස්කූටි පදින්නට පුරුදු වූයේත් මෙහිය. ඒත් ක්‍රීඩාංගනයට යාබද රාජ්‍ය ආයතනයක් අයිති වාසිකම් කියන්නට විම නිසාදෝ දැන් එය පාළුවට ගොසිනි. මේ දිනවල ඉන් ප්‍රයෝජනයක් ගන්නෙ සරුංගල් යවනා කොල්ලන් ය.
ඒකාලේ මෙන් දැන් කාලේ සරුංගල් හදනන්නේ සව් කොලවලින් පමණක්ම නොවේ. ශොපින් බෑග්, ඉටිරෙදි පවා සරුංගල් සෑදීමට ගනිති. වලිගා දැමීමට ගෙවල්වල තියෙනා සාරි පවා යොදාගනිති. මේ මොනවා යොදාගත්තත් තවමත් සරුංගාල් යවන්නට යොදාගන්නේ තංගුස් නූල් ය .
දැංකාලේ කොල්ලන් සරුංගල් යවා ගෙදර ගියාට පිට්ටනියේ මතක සටහන් රැසක් තබායාම පුරුද්දක් කරගෙන සිටී. සරුංගල් වලිග, රැළි පමනක් නොව නූල් කැබලි සහ ඒවා ඔතනා කෝටු ආදියද පිට්ටනිය පුරා වෙයි. විශේෂයෙන් මදුරු දැල් සදිසි පිටිය පුරා වැටී ඇති නුල් නිසා පිට්ටනිය හරහා පා ගමනින් යන්නෝ පවා අපහසුතාවයට පත්වෙති.
අදත් අපහසුවෙන් පිටිය පුරා වැටී ඇති නූල් මගහරිමින් මා පැමිණෙන විට අවට පදුරක දඟලන සතෙකු දැක මදක් විමසිළිමත් වුනිමි. සැබැවින්ම එහි වූයේ මයිනෙකි. සරුංගල් නුලක කකුලක් පටලාගත් මයිනාට ඉගිල්ලිය නොහැකිව පඳුරේ පැටලී සිටී. මා දුටු සැනින් දැඩි සේ කලබලව ඉගිලී යන්නට උත්සහ ගත්තද ඌට අඟලකට දෙකකට වඩා යා නොහැකි විය. සතා සන් සුන්වනතෙක් සිට පාදයේ පැටළුන නූල ගලවන්නට පටන් ගතිමි. එය එතරම් පහසු වැඩක් නොවූ අතර විනාඩි දහයකට වඩාකාලයක් ඊට වැය විය . මගෙන් අනතුරක් නැතිබව දැනගත් නිසාදෝ මයිනා නිසොල්මන්ව මට ඉඩදී සිටියේය.
අවසානයේ නූල් උගුලෙන් මිදුන ඌ මිහිරි හඬක් නගමින් ඉගිල ගොස් පශු වෛද්‍ය කාර්යාලයේ දැලේ වසා සිට ඉගිල ගියෙය. පැය බාගයක පමන වේලාවක් වැය කර අවට තිබූ නූල් සියල්ල ගෙදර ගෙනවිත් පුළුස්සා දැමුවෙමි. මේ ආකාරයෙන් නුලක පැටලීම නිසා කකුලක කොටසක් අහිමිව ගිය කිරලෙක්ද මෙම පිට්ටනිය සහ ඇවිදින මංතීරුව අවට ජීවත් වෙයි.
ඔබේ දරුවාත් සරුංගල් යවනවානම්. ඊට ඉඩ දෙන්න. එය දරුවන්ගේ අයිතියකි. නමුත් මර උගුල්සේ හතර අතේ නූල් දමා නොයනා මෙන් ඔවුන් දැනුවත් කරන්න. ඔබේ සරුංගලය අහිංසක සතෙකුගේ මළපුඩුවක් නොවිය යුතු බව ඔවුනට පහදා දෙන්න.
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු