ඒකාකාරී ගීත, වීඩියෝ සාහිත්‍යය වෙනම මානයකට රැගෙන ගිය "කවුද ඇන්දේ ජීවිතයට රවුම" ගීතය අහම්බෙන් ඇස ගැටුණා. පලමු වර රසවිඳීමෙන්ම ගීතය පිලිබඳ වචන කිහිපයක් සටහන් කළයුතු බව සිතුණා.
අපි නිතරෝම කියන්නේ අපි අපේ ජීවිත වල කොටු වෙලා කියලා..නමුත් සැබැවින්ම කල්පනා කලහොත් මේක රවුමක්..රවුම කියන එකේ අදහස වුර්තය කියන තාක්ෂණික නාමයට වඩා චක්‍රය කියන අදහස විදිහට හිතන්න මම කැමතියි.මේ චක්‍රය ඇතුලේ එකම දේ නැවත නැවත සිද්ධ වෙනවා.එකම මිනිස්සු නැවත නැවත හමුවෙනවා.එකම අයට නැවත නැවත ආදරය කරනවා.එකම රැවටිම්ම් වලට නැවත නැවත අහු වෙනවා.
අධ්‍යතන සමාජක්‍රමය ඇතුලේ විවාහය නම් මානවීය සමබන්ධතාවය පවතින්නේ සෑම මොහොතකම අවිනිශ්චිත අඩියක යි.අනෙක් සහකරුවා හෝ සහකාරිය කොයි මොහොතේ තමුන් හැරයාවිද යන බියෙන් දෙදෙනාම පසුවෙනවා.විවාහය සලකන්නේ ආදරයේ කූටප්‍රාප්තිය ලෙසින් නිසා ආදරය ටත් ඒ බිය අදාල වෙනවා. අනෙකා අහිමිවීමේ අවධානම ගැන තියෙන බිය නිසා දෙදෙනාම බැකප් ප්ලෑන් එකක් තබාගැනීමට නිතරම උත්සාහා ගන්නවා..එතනදී පිරිමියාවත් ගැහනියවත් ආදරය ප්‍රකාශ කරගන්නේ නැහැ..අදරෙයි කියන්නෙත් නැහැ ආදරෙයිද අහන්නේත් නෑ. නූතනයේ "ක්‍රශ් එක" කියන සංකල්පය ඊට බොහොම සමීප අරුතක් ඇති වචනයක්. ගීතයේ පද තුල "මං කියන්නේ නෑ, ඈ අහන්නේ නෑ" ලෙස විස්තර වෙන්නේ ඔය වාතාවරණය. ඒ ප්ලෑන් එක නිසාම නියම සහකාරායට, සහකාරියට තියෙන අවධානය, ආදරය, විශ්වාසය නොදැනී ම අඩුවෙනවා.එතනදී නොදැනීම අර වෙන්වීමට පාර කැපෙනවා.
ලාංකේය සමාජය තුල කාන්තාවට ඉතාපහසුවෙන් ලිංගිකත්වය සොයාගන්න පුලුවන්..කාන්තාවකට ඕනෑම මොහොතක තමන්ට රිසි පිරිමියා සමග යහන් ගතවෙන්න පාර කපාගන්න මිනිත්තු කිහිපයකට වඩා ගතවෙන්නේ නැහැ. "පංච තන්ත්රයේ" එක තැනක සඳහන් වෙනවා සුදුසු වෙලාවකුත්, ප්‍රාර්ථනා කරන අන්දමේ පුරුෂයෙකුත් ලැබුනොත් කාන්තාවක් වරදෙහි නොබැඳී ඉන්නේ කලාතුරකින් කියලා. සාමාන්‍ය පිරිමියාට ලාංකේය සමාජය තුල ලිංගිකත්වය සොයාගැනීම අසීරු කර්තව්‍යක්. පිරිමියා ප්‍රසිද්ධ, ධනවත් හෝ රූමත් වගේ නම් ඉහත කරුණ වෙනස් වෙන්න පුලුවන්. එසේ නොවෙන සාමාන්‍ය පිරිමියාට ලිංගිකත්වය දුර්ලබයි. එහෙම පිරිමියාටත් "පංච තන්ත්රයේ" පෙර කී වැකිය අදාල වෙනවා. ඔහුත් පතනා කාන්තාවත් සුදුසු වෙලාවකුත් ලැබුන වහාම වරදෙහි බැඳෙනවා. "කවුද ඇන්දේ ජීවිතේට රවුම" ගීතයේ මුල් භාගයේ සිද්ධවෙන්නේ ඒක.
වියැකිලා ගියත් දේදුන්න
ලුහු බදින්න ආසයිනෙ වර්ණ
මෙතනදී දේදුන්න විදිහට සංකේතවත් වෙන්නේ විවාහයට පෙර ගතකරපු වර්ණවත් තරුණ ජීවිතය.ක්‍රමයෙන් තාරුණ්‍යය වියැකිලා විවාහපත් වෙලා දරුමල්ලන් ලැබුනත් පිරිමින් බොහෝ වෙලාවට ප්‍රිය කරන්නේ අර මුලින් ගත කරපු සෙල්ලක්කාර ජීවිතයමයි.
විවාහ ජීවිතෙන් හෙම්බත්වෙලා ඉන්න මොහොතක වෙනත් කාන්තාවකට ආදරය කරන්න අවස්ථාව ලැබුණ මොහොතේම පිරිමියා අප අසා තිබෙන සුරංගනා කතාවේ මෙන් ගෙම්බෙක් බවට පත්වෙනවා. බිරිඳ ඉදිරියේ තමා සතු මහා පෞරුෂය අර අනියම් කාන්තාව ඉදිරියේ කඩාවැටෙන ආකරය සංකේතවත් කිරීමට තරුණයා ගෙම්බෙකු බවට පත්වන ආකාරය වීඩියෝව තුල නිර්මාණය කර තිබීම ඉතා අපූරුයි. කුමාරියකගේ හාදුවෙන් පමණයි ඔහු නැවතත් මනුෂ්‍යයෙකු බවට හැරෙන්නේ. ඒ හාදුව ලැබෙන තෙක් ඔහු ගෙම්බෙක් හෙවත් පෞරුෂත්වය බිඳ වැටුණු බොලඳ පෙම්වතෙකු ලෙස හැසිරෙන්නට ගන්නවා. ඒ හාදුවෙන් පසු ඔහු ඒ කාන්තාව ගැන යම් අතිවාසිකම්ක් තහවුරු කරගන්නවා.එතැන්පසු ඔහු ගේ බිඳ වැටුණු පෞරුෂය ගොඩ නැගීම නැවත ඔහු මිනිසෙකු බවට හැරීමෙන් සංකේත්වත් වෙනවා.
"ආදරේපොලා පනින්න "වැනි නව්‍ය යෙදුම් ද ආදරය ගැන වෙනම කියවීමක් රසික හිතවලට ඇතුල් කරනවා.
මේ සියලු අකරතැබ්බයන් හමුවේ බිරිඳට තවත් බැකප් ප්ලෑන්ස් කිහිපයක්ම තිබිලා තියෙන බව අවසානයේ අපිට වැටහෙනවා. ඇය බාත් ටබ් එකේ තිබී තවත් ගෙම්බන් සහිත බෝතල් කිහිපයක් අතරින් එකක් විවුර්ත කරනවා.ඇයට අවශ්‍ය ගෙම්බාව අතට ගෙන ඔහුට හාදුව දී ඔහු මිනිසෙකු බවට පෙරලාගන්නවා. ව්‍යංගාර්තයෙන් ඉන් කියවෙන්නේ ඇය වටා සිටි ඇයට කෙලින්ම ආදරය ප්‍රකාශ නොකල පිරිමියෙකුට ඇය ආදරය ප්‍රකාශ කරන බවයි. එය එක්තරා ආකරයකින් එකට එක කිරීමක්ද විය හැකියි.යහපත් සම්බන්ධතාවයක් දෙදෙනා අතරේම පැවතී ඇති නිසා ඇය මෙතෙක් කල් අනෙක් ගෙම්බන්ව මදකට ඇගේ ජීවිතයෙන් ඈත්කර තිබෙනවා.පිරිමියා වෙනත් කාන්තාවක් සමග සිටිනු දකින ඇය දරුවන්ගේ යුතුකම් පවා ඉටුකර පිරිමියාට එකට එක කිරීමක් ලෙස ඇගේ පැරණි ගෙම්බන් සිටින කාමරයේ ආලෝකය දල්වනවා.
අතීශය මාධූර්යවත් සංගීතයකින් පදරචනයට උපරිම සාධාරණය ඉෂ්ඨකරලා තියෙනවා.මාධවගේ ගැඹුරු පිරිමි හඬ ගීතයට පොඩි බලබ් වැලක් දැම්මක් වැනි චමත්කාරයක් එක්කාසු කරනවා. ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකු ලෙස තිසර අමුතුම වෙනස් මානයකට අපව වීඩ්යෝව හරහා කැඳවාගෙන යනවා.ප්‍රතිභාව යනු අපූර්ව සංසිද්ධීන් නිර්මාණයකරගැනිමෙහි ලා නිර්මාණකරුවෙකු සතු ප්රඥාවයි. ඒ ප්‍රඥාව ප්‍රගුන කල නිර්මාණකරුවෙකු ලෙස තිසර ඉඹුලාන අපූර්ව සංසිධියක් විඩියෝවට යොදාගෙන තිබෙනවා.
සමස්ථ ගීතය පුරාවටත් ගීතයේ නමත් ලෙස අපට ඇසෙන "කවුද ඇන්දේ ජීවිතේට රවුම? " කියන පැණයට සරල පිලිතුර ලෙස දිය හැක්කේ "ඒ රවුම ඇඳගෙන තියෙන්නේ අපිමයි"ඒ රවුම තුලින් අපේ ජීවිත අවුල්කරගනිමින් විනාශය කරා ගෙනයන්නේත් අපිමයි.."කවුද ඇන්දේ" කියන වචනයට ඉදිරියෙන් "වෙන" කියලා වචනයක් සැඟවී ඇති බවක් මට දැනෙනවා. මෙහි හරිම තේරුම "වෙන කවුද ඇන්දේ ජීවිතයට රවුම" කියන එක වියයුතුයි නියම අර්ථය.ඔබ ම ඇඳගත් අනවශ්‍ය රවුම නිසා ඔබ විනාශ වෙනවා ද අනවශ්‍ය දේවල් නිසා ජීවිත අවුල්කරගන්නවාද යන්න ඔබටම බාර බව සමස්ත ගීතය ලෙස සිතිය හැකියි.
සටහන : මිරාන් දමින්ද්‍ර පෙරේරා