ඒ සිද්ධිය (ආරංචි) වෙනකොට මම ඔෆීස් එකේ. මට දුකකුත්, කම්පනයකුත් ඇති වුණා. දුක ඇතිවුණේ ඈ අසනීපයෙන් හිටිය බව මම දැනගන හිටිය නිසා. ඈ ලෙඩවෙන්න සුදුසු ගැහැනියක නෙවෙයි. ඈට ලෙඩවෙන්න කිසිම අයිතියක් නැහැ. ඒ ඈ, අජිත් වෙනුවෙන් ඔවුන්ගේ දියණියසහ ඇගේ දරුවන් වෙනුවෙන් බොහෝ වගකිම් දරමින් සිටි නිසා. ඒත් ඈ ලෙඩ වුණා. ඒත්, මෙහෙම දෙයක් මේ තරම් ඉක්මනට වෙයි කියලා මම නිකමටවත් හිතලා තිබුණෙ නැහැ. කම්පනය ඒකයි. අජිත්ගේ ගෙදර තිබුණෙ කඩවත. රාගම පාරට හැරෙන හංදිය පෙනි පෙනීමයි. ඒත් මට ආරංචිය ආවෙ කෑගල්ලෙන්. මගේ ගම්පළාතෙන්. ඉන්දිකා (මචාඩෝ) තමයි ටෙලිෆෝන් කරලා කිව්වේ.
මං එහෙට යනකොට කළුවර වැටිලා හොඳටම. ඔෆිස් ඇඳුම් පිටින්මයි ගියේ. මම යනකොටත් සෑහෙන පිරිසක් එකතුවෙලා. මිදුලෙ තැන තැන, අඳුරු අහුමුලුවල ගොනුවෙලා කතා කර කර ඉන්නවා.
ඒ හැමෝටම කලින් මං මෙතන ඉන්න තිබුණා. ඒත් මං දැනගත්තෙ අනෙක් බොහෝ අය දැනගත්තට පස්සෙ. අජිත්, මට ඒ බවක් කිව්වෙ නැහැ. අජිත් කාටවත් ඒ බවක් කියන්න නැතිව ඇති. ඒ අජිත්ගෙ හැටි.
මං කෙලින්ම ගියේ ගේ ඇතුළට.
ඈ සාලෙ මැද්දෙ උඩබලාගන හිටියා. මගේ චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක පූර්ව දර්ශනයට නොවැරදීම අජිත් එක්ක එන ඇය, උඩුකුරුව නිසොල්මනේ හිටියා. අත් දෙක පපුව මැද්දට බැඳගන.
‘ආ අශෝක ආවාද….?’
අජිත් මාව දැකල මා ළඟට ආවා. අපි මොහොතක් නිහඬව හිටියා.
‘කවද්ද අවසන් කටයුතු?’ මං අජිත්ගෙන් ඇහුවා.
‘හෙට හවස’.
මං අජිත් එක්කම එළියෙ ඉස්තෝප්පුවට ආවා. මං ඊළඟට මොකක්ද අහන්නෙ කියලා කල්පනා කරන කොටම;
‘අශෝක පොඩ්ඩක් ඔහොම ඉන්න.’
අජිත් ඉස්තෝප්පුවේ කෙලවරක තිබුණු කාමරයකට ඇතුළු වුණා. මං මොහොතකට තනි වුණා. මිදුලෙ කට්ටියක් එක්ක කතා කර කර හිටිය සුන්දර (නිහතමානි ද මැල්) මාත් එක්ක හිනාවුණා. තව අඳුරන මුහුණු ගොඩක් කළුවරේම මං අඳුනාගත්තා.
‘මං අශෝක හම්බවෙන්න හිතාගන හිටියෙ. ඒත් බැරිවුනාණෙ.’
අලුතින් පොතක් ලියපුවම ඒකත් අරං මාව හම්බවෙන්න අජිත් එනවා බැංකුවට. පොතත් දීලා ටිකක් වෙලා කතා කර කර ඉඳලා, ඉඩක් තිබුණොත් හවස බීර බෝතලයකුත් බීලා යන්නෙ.
‘මාරියාව’, ‘අරුණැල්ල වැටෙනකොට විතර’ මට ලැබුණෙ එහෙම.
‘අශෝකට තුටු පඬුරකි’. ඒ හැම පොතකම ඇතුළු පිටුවේ ඉහළ තැනක ලියලා තිබුණා. ඊට යටින් අත්සන. අජිත් තිලකසේන.
මේ පොතෙත් ඒක එහෙමම. අජිත්ගෙ මුහුණෙ ලොකු සතුටක්.
අජිත් අමතක කරන්නට උත්සාහ කරන යථාර්ථය දෙසට මගේ ඇස් කැරකෙවිලා ගියා නොදැනුවත්වම. ඇගේ මෘත ශරීරයට අවසන් ගෞරව දක්වන්න එන අය එය වටේ පැදකුණු කරගෙන ඇවිත් එළියට එනවා, ඥාතීන් හිතමිතුරන්.
‘මගේ හැම දෙයක්ම බලාකියාගත්තෙ මෙයා. දැන් ඉතිං කවුද ඉන්නෙ’.
එතෙක් වෙලා මගේ ඉදිරිපිට හිරකරගන හිටිය වේදනාව පුපුරලා ගියා. ඒත් අජිත් අඬනවා මං දැකල නැහැ. එදා දැක්කෙත් නැහැ.
“රාත්‍රිය මරණ මංචකයේ, රාත්‍රිය වැනසෙන්න යන එක තරම් මගේ හිත කීරි ගස්සන තවත් දෙයක් තියෙන්න පුළුවන්ද? ඉ්යේ රෑ මම නින්දට වැටුනේ සුසිලා එක්ක. මට ඕන කළේ සුසිලා එක්ක ඇහැරෙන්න. එහෙම නැතුව සද්ද, උගුල්, හුටු හුටු ගැස්සිලිවලින් නින්ද කඩාකප්පල් කරගන්න නෙවෙයි. ඉ්ට පස්සෙ සුසිලාන්තයේ රිසි සේ හැසිරෙන්න. එහි විගඩන් වීදි දිගේ ඒවායෙ සිට විහිදෙන මන්කඩවල යන්න. ඔය මන්ඩියේ අතරමන් වෙන්න. ආයේ ඉවපාරක් ඔස්සේ වගේ සුසිලා වටරවුම පසුකොට ගොහිං සුසිලා බස් නැවතුමේ ඩින්ගක් වෙලා හරි හිටගන්න. ආ-ද-ර-ය ගිනි පුපුරක් වගේ පටන් ගන්නෙ …”
(සුසුම සහ පීඩාව 1997)
අජිත් හිතවතකුට ආචාර කරන්න ඉදිරියට ආවා. මං පොතත්(පස් වසරක්) අතේ පරිස්සමට තියාගෙන එතැනම තිබුණ හුදකලා පුටුවක ඉඳගත්තා.
අජිත් ජීවමානව මට ඉස්සරලාම හම්බවුණේ, මරදානේ. සෝමෙ අයියා බලාකියා ගත්ත එයාගෙ අයියගෙ IPB මුද්‍රණාලයේ.සාහිතකාරයෝ, චිත්‍රපටකාරයෝ, නාට්‍යකාරයෝ කවුරුත් කොළඹ ආවහම ගොඩවෙලා, හිනාවෙලා, ප්ලේන්ටියක් බීලා යන තැන.
ඊට ගොඩක් ඉස්සර ඉඳන් මං අජිත්ව අඳුරනවා. ඒත් හිතවත් වුණේ ඊට පස්සෙ. එතකොටත්, කොණ්ඩෙ, ඇහිබැම සුදු, කලිසමට යට නොකර අත්කොට කමිසය අඳින මේ මනුෂ්‍යයාගෙ ඔළුවෙ ‘චන්දරේ’ මැවුනෙ කොහොමද කියලා මට අදටත් හිතාගන්න බැහැ. මං ‘චන්දරේ’ ට ආදරය කළා. ‘පාර දිගේ’ චන්දරේට ලව් කරපු අපේ පරම්පාරාවේ අය අතර චතුර (ජයතිලක), සර්පයා (සමන්) ප්‍රධානයි.
චතුර අජිත්ගෙ අකුරු ශෛලියම තමන්ගෙ රචනාවලට යොදාගත්ත කෙනෙක්. ඌ දැන් ලියන්නෙ නැහැ. මොනවා කරනවාද දන්නෙත් නැහැ. සර්පයා තාම ලියනවා. අජිත්, නවගත්තේගම, සර්පයාගෙ අකුරු වාක්‍ය අස්සෙ ඉන්නවා දැනෙනවා.
මං කඩවත පදිංචි වෙලා ඉන්න කාලෙ, අජිත් එයාගෙ පුෂ් බයිසිකලෙත් පැදගන එනවා හැන්දෑවට, සමහර දාට- අපේ ගෙදර. හැන්දෑව, දවාල කියලා වෙනසක් නැහැ. ළා පාට අත් කොට කමිසයට තද පාට දිග කලිසම, සැන්ඩ්ල්ස් පාවහන් දෙක.
ඒ කීයටවත් ‘චන්දරේ’ නෙවෙයි. චන්දරේ ඉන්නෙ සුදු කෙස්වලින් වැහුණ ඒ ඔළුව ඇතුළෙ. ඒ ඇඳුම් විලාසිතාව ඇතුළෙ චන්දරේ කෙනකුට ඉන්න බැහැ.
අලුතින් අලංකරණය කෙරුණු කොළඹ නගරයේ පාරවල්වල, ජෙල් ගා කොණ්ඩය සකසා ගත්, ටැටූවලින් ඇඟ සරසා ගත්, ඇඟලුම් ෆැක්ටරිවලින් විසිකරන branded ඇඳුම් අඳින තරුණ තරුණියන් අතරින් අජිත් සිය බයිසිකලය තල්ලුකරගෙන ගියොත්, ගොඩයා වාගේ පේන්නෙ අජිත්. ඒත් ඔළු ඇතුළට රිංගලා බලපුවාම, මොඩ් වගේ පෙනෙන ගොඩයො රොත්තක් මැද්දෙ හොයාගන්න පුළුවන් එකම නාගරික ඔළුව අජිත් බව වැටහේවි.
‘මට හිතෙන්නෙ මම එයාව ඉස්සෙල්ලම දැක්කෙ සුපර් සුපර් මාකට් එකේ … බියුටි සැලෝන් එකේ පැද්දෙන දොර ගාව.’
ලලිත් කිව්වා- තම කට හඩේ රැල් බුරුල් හඬක් ඔහුට තේරුනා-
’නැත්තං ඔයාගෙ ඔෆිස් එකේ තියෙන තට්ටු කොඩනැගිල්ලෙ බිම් මහලෙ. ඔයා ලිෆ්ට් එක ගන්න බොත්තම ඔබලා ඉ්තලේ දිහා බලාගන ඉන්නකොට.’
’නැතිව කුඹුරෙ නියරක් උඩ හරි තොටුපලකින් එගොඩ මෙගොඩ වෙනකොට හරි නෙවෙයිනෙ.’
(වතුර ටැංකිය යට හෙවන – 2010)
අජිත්ගෙ පිළිවෙළ ලාංකිකයි. චින්තනය සංස්කෘතිකයි. ඔහුගෙ පැවැත්ම අල්පේච්ඡයි. දැක්ම නාගරිකයි. සිරුර වයස්ගත යි. පරිකල්පනය තරුණ යි.
1960 ලියා පළකළ සතුරෝ සිට, (2010) පස් වසරක් තෙක්ම ඔහුගේ කෙටි කතා ඒ කාලයට සාපේක්ෂව විතරක් නෙවෙයි, අදටත් තරුණයි. ‘වතුර ටැංකිය යට හෙවන’ වගේ කෙටි කතාවක් ගොඩනඟන්න තාරුණ්‍ය නොසිදුන පරිකල්පනයක් ඕන. ඔහුගේ වයස්ගත සිරුරට තාරුණ්‍යය ගෙනාවේ ඒ පරිකල්පනය.
අජිත් සිංහල අකුරෙ තිබුණ විෂමතා හදන්න එයාගෙ පරිකල්පන ශක්තියෙන් වැඩි කොටසක් යෙදෙව්වා. ඒ කාලය තවත් (සංයුක්ත) කවියක් ලියන්න, කෙටි කතාවක් ලියන්න යෙදෙවූවා නම්, ඊට වඩා වැඩදායකයි නේද කියලා මට හිතෙනවා, සමහර වෙලාවට. එහෙත් වෙනත් කිසිවකු තමා අනුගමනය නොකළත්, ඒ වෙනුවෙන් තමන්ම පෙනී සිටියා. ඒ අජිත්. නිහඬ හුදකලා සටන්කරුවා! (ඔහු වෙනුවෙන් දිගටම හිටිය චතුර ලියන එක සම්පූර්ණයෙන්ම නවතලාද කොහේද?)
කෙටි කතාවක් ඇතුළෙ අජිත් බුදුපිළිමයක්. බිඳින කොට මං යන්තමට ‘අ’ ලියන්න පටන් ගත්තා විතරයි.
”බාබරා ඔහුව තුරුල් කරගන ඔහුගෙ කම්මුල පිරිමදින්නත් මුහුනේ කඳුලූ වැගුරුනු වැගුරුනු තැන් සිපගන්නත් උනා. තම ලය මඬල ඔහුගේ පපු පෙදෙසට තද කරගන සිටිමින් ඈ එකදිගට කෙඳිරිලි නැගුවා. ‘අනේ ප්‍රානවත් වෙන්නකො. ප්‍රානවත් වෙන්න අනේ උත්සාහ ගන්නකො.’
ඔහු හිස ඔසවන්න බිඳකුදු උත්සාහ කරන බවක් පෙනුනෙ නෑ. එහෙත් ඔහු ඈ දිහා බැලූවේ නැගිටීමට කිහිලි වාරුවක් පතන ආකාරයෙන්. හැම දෙයක්ම නිසලව තිබියදී පිලිිිමය විතරක් ඔහුගෙ නහය එල්ලේ තවමත් එකල මෙකල වෙවී තිබුනා.
තත්පර 10 ක් විතර නොසෙල් වී ඉඳලා එකවරම පෙරට පැන්න ඔහු අනිත් අතින් ඈව අල්ලා ගත්තෙ දඬු අඬුවක ග්‍රහනයෙන්. ඔහු මිට මෙලවූ අත දිග ඇර ඇගේ කම්මුල හරහා පහරක් දුන්නා. එය වලකන්න ඈ එක් සැනින් මූන ආපස්සට ඇදගත් හෙයින් එල්ලය වැරදුන පහර කෙලින්ම පිලිම හිසෙහි වැදුනෙන් අවලම්බ රෙදි කඩත් කඩාගන ඒක බිම වැටී බිඳී කැඹලිති වී ගියා.
සිරිනාගගේ හැකුලූනු බැල්ම අතුරුදහන්ව එහි සැනසුම් සුවයක් ඇති බව ඈට පෙනුනා. ඈ තවත් ඔහුට ලං වුනා. ඇඳිවත යටින් ඔහුගේ රහසඟ කෙලින් වී ඇති බව එවිට ඇයට පැහැදිලිව පෙනුනා.
‘ඉතිං බාබරා… ’ ඔහු කිව්වෙ තුනී හිනාවක් පාමින්.
‘ඉතිං… ’ ඈ එයම ප්‍රතිරාවය කළා.
‘ඉතිං. ඉතිං…’ ඔහු කිව්වා.
‘ඉතිං … ’ ඈ කිව්වා.
(සුන්නද් දූලි – 1967)
මුල් වතාවට ඒක කියවනකොට මං විශ්ව විද්‍යාලෙ. මහ දවල් හොල්මනකට බයවුණා වගේ මාව ගල් ගැහුණා.
ඊ්ට අවුරුදු 43 කට පස්සෙයි අජිත් ‘වතුර ටැංකිය යට හෙවන’ ලියන්නෙ. ඒ කියන්නෙ ඔහුගෙ වයස අවුරුදු 77 ක්.
බැඳලා අවුරුදු 3 ක් ගෙවුණ තැන (ඒ කෙටි කතාවෙ) ලලිත් තමන්ගෙ බිරිඳ නීනා එක්ක පදිංචිය මාරු කරන්න ඇනෙක්සියක් බලන්න ගිහිං. නීනා ඒ ගෙදරට කැමති නැහැ.
‘උඩ එහෙම පිටින් හිස්. කාමර හිස්. පැන්ට්‍රිය හිස්. හිස්. හිස්. හිස්…’
‘ඇයි නීනා අපට කට්ටියක් ඉන්න තැනකට පදින්චියට ගියහැක්ද?
‘හිස් සාලා, හිස් අහුමුලූ, දැක්කම මට බය හිතෙනවා. හුස්ම හිරකරනවා වගේ දැනෙනවා.’
ලලිත් නීනා වටහාගන්න උත්සාහ ගනිමින් ඇගේ මුහුන දෙස බැලූ බැල්මෙන් හිටියා.
‘එක කාමරයයි තියෙන්නෙ’ ඈ කිව්වා.
‘ඉතිං අපි දෙන්නනෙ’
‘ලලිත්, අමන්දා හදිස්සියේ ආවොත්…? රැයක් ඉන්න හැදුවොත්…? කාමරයක් දෙන්න වෙනවා නේද?
ලලිත් අප්‍රානිකව ගියා.
(වතුර ටැංකිය හෙවන යට – 2010)
අමන්දා නීනාගේ සමලිංගික පෙම්වතිය කියලා අජිත් කොයි තැනකවත් කියන්නෙ නැහැ.
හතර පෝයටම සිල් ගන්න, හොර උප්පැන්න, පදිංචි සහතික ලියාගන කොළඹ කොලීජිවලට තම ළමයින් රිංගවා ගන්න,අලියොන්, ප්‍රිමියෝ, මොන්ටෙරෝවලින් යන පිංවන්තයින්ට වඩා පුෂ් සයිකලය පදින අජිත්ගේ පරිකල්පනය කොයි තරම් සංස්කෘතිකද කියලා වටහා ගන්න, මේ කෙටි කතාවම වුණත් ඇති.
අජිත්ගේ ගෙට හැරෙන කඩවත මංසන්ධිය දැන් සංකීර්ණයි. පාර හංදියෙන් තුනකට කැඩෙනවා. එකක් පොළව යටින්. කාපට් පාර මතින් වාහන ඉගිල්ලෙනවා.
‘අජිත් අයියා මොකද මේ දවස්වල කරන්නෙ?’
අලුත් අවුරුද්දට සුබපතන්න දුරකථනයෙන් කතා කරපු වෙලේ මං ඇහුවා.
‘හේතුවාදී සංගමේ පරණ ලිපි වගයක් එකතු කරලා, අලුත් සංස්කරණයක් කරනවා.
එක නැට්ටේ දෙහි ගෙඩි එල්ලා වැටෙන වාහනවල කහ නූලින් අත, පය, ගෙල වැලලාගත් අය ගෝත්‍රික අතීතයක් වෙතට කාපට් පාර දිගේ අධිවේගයෙන් ඉගිල්ලෙන කොට, අසූ වියැති අජිත් තාමත් තම පුෂ් සයිකලය පැදගන පුරුදු විදියට කලබලයක් නැතිව යනවා ඇති අනාගතය දෙසට. මේ සංස්කෘතික කාන්තාරය මැදින්”
අශෝක හඳගම - දිනමිණ