පහත පළවන්නේ කුමාර හෙට්ටිආරච්චි ලියූ නවතම කවියකි. ඔහු ලියූ බොහෝ කවි නවතම ඒවා ය. නව්‍යත්වයකින් තොර කවියක් තිබිය හැකිද? අපූර්වත්වය කවියේ ආත්මය නොවේද?
https://mirrorarts.lk/ar/featured/4310-kumara-s-new-poem#sigProIdb1dccc3df2
''තරුණියකගේ මුහුණ මුලින්ම සඳට උපමා කළේ කවියෙකු විය යුතුය; නමුත්, දෙවන වර එය කළ එකා මෝඩයෙකි..'' මෙසේ කීවේ සැල්වදෝර් ඩාලිය. අප පැරණි උපමා රූපික පුනරුච්චාරණය කරමින් සිටීම නීරසය යන්න එහි අදහසයි. කවියා භාෂාවට බිය නොවිය යුතුය. භාෂාව සමග හැප්පිය යුතුය. ලියනගේ අමරකීර්තිගේ වචනයෙන් කිවහොත් කවියාගේ සෙල්ලක්කාරකම එයයි (බලන්න, ''නව කවි සලකුණ''). අමරකීර්තිම පවසන ලෙස වත්මන් තරුණ කවීන්ගේ ඇතැම් කවි කියවන විට අපේ මනසට නැගෙන්නේ නළල රැළි නංවාගෙන, හිස මේසයට බර කරගෙන අසීරුවෙන් යමක් ලියන බරපතල බුද්ධිමතෙකුගේ රූපයකි. නමුත්, කුමාරගේ කවි කියවන විට මනසට නැගෙන්නේ වරෙක මුවගට නගා ගත් මද සිනහවකින් යුක්ත ජන කවියෙකුගේ රූපයකි; වරෙක ප්රචණ්ඩ චින්තන රළ පහරකට ලක්ව උමතුවෙන් මෙන් ලියන දාර්ශනිකයෙකුගේ රූපයකි; තවත් වරෙක බමන හිසින් යුතු ගජ මිතුරෙකි; ආදරවන්තයෙකි; යෞවන සටන්කාමියෙකි. කොටින්ම කුමාර හෙට්ටිආරච්චි තරම් භාෂාව සමග සෙල්ලම් පාන සමකාලීන සිංහල කවියෙකු තවත් නොමැත.
කුමාර මෑතක සිට යළිත් වේගයෙන් ලියයි. ඒ කවි සැමෙකක්ම වාගේ රසවත්ය. මෙසේ ලිවිය හැක්කේ කවිය යනු හුස්ම ගැනීම තරමට සොබාවික වූ මනුෂ්‍යයෙකුට පමණි.
ඔහුගෙන් ඇසෙන්නේ අපගේ යුගයේ ජන කවියේ රිද්මයයි. අපේ අතීත ජන කවි කිවිඳියන් කවි ගෙතුවේ මහ පාරේදීය; නාන තොටේදීය; රා වඩියක් බොන තැනදීය. ඕනෑම තැනකදීය. ජන කවියා ඓන්ද්‍රීය බුද්ධිමතෙකි. පොදු ජන සමාජයේ ජීවිතය හා බැඳුනු සහෘදයෙකි. එසේ හිඳිමින්ම ජන සමාජයේ අගතීන් විචාරණය කරන්නෙකි; අයුක්තියට දුටු තැන පහර දෙන්නෙකි; මිනිසුන්ගේ දහසක් ගොන්කම් උපහාසයට ලක් කරන්නෙකි; එයින් නොනැවතී ඔවුනට මග කියා දෙන්නෙකි. කුමාර හෙට්ටිආරච්චිද කරමින් සිටින්නේ එවැන්නකි. ඔහුගේ මෑතකාලීන තේමා අතර 138 බස් රථය, දොස්තර මහත්තයෙකු විසින් ලිංගික හිංසනයට ලක්වූ ගැහැනියක්, දික්කසාදෙන් පස්සෙ දවසක, තමන් සමග නිදි වැදුණු ගැහැණියෙකුගේ පින්තූර අන්තර්ජාලයේ පළ කරන බවට තර්ජනය කරමින් කප්පම් ඉල්ලන පිරිමියෙක්, බන්ධනාගාර බස් එක, හුදී ජනයාගේ එදා වේල කවි යනාදී සමකාලීන අත්දැකීම් රැසක් පවතී. ඒ සියල්ල අතරින් ඔහු ලියූ ''සීගිරි ගලේ මද්දුමී'' කවිය අති විශිෂ්ටය (ඒ පිළිබඳව වෙනම ලියන්නට අපේක්ෂා කරමි).
මා මේ කිසිවක් ලියූවේ ඔහුව වර්ණනා කිරීම සඳහා නොවේ. මට මේ තාක් කල් ඔහුව මුණ ගැසී නොමැත. මට වුවමනා එකම දෙය නම් සිංහල කවියේ අනාගත මග පිළිබඳව සංවාදයක් අවුළුවා ගැනීමත් එහිදී කුමාර හෙට්ටිආරච්චිගේ කවිය බරපතල ලෙස යළිත් සාකච්ජාවට ගැනීමත්ය. ඔහු මෙරට සාහිත්‍ය විචාරකයන්ගේ සාධාරණ ඇගයීමට ලක් නොවූ නිර්මාණකරුවෙකි. කෙටිකතාව තුළ අජිත් තිලකසේන මෙනි.
එක් අතකින් විචාරකයන්ට ඔහුව මග හැරී යාම මට තේරුම්ගත හැකිය. මෙරට සාහිත්‍ය විචාරයේ දුගී බව නොදන්නෝ කවරහුද? නමුත්, මට ඇති පුදුමය නම් වමට ඔහුව මග හැරුණේ කෙසේද යන්නයි. මෙරට වාම බුද්ධිමය හා සදාචාරමය නායකත්වයක් සඳහා නව උනන්දුවක් ඇති වී තිබෙන අද දවසේ කුමාර වැනි තියුණු විචාරශීලි කලාකරුවන්ගේ නිර්මාණ පිලිබඳ පුළුල් කතිකාවක් ගොඩ නැගිය යුතුව තිබේය යන්න මගේ අදහසයි. ඔහු වැන්නන් කිසිවෙකුගේ න්‍යාය පත්‍රයක් තුළට ගැනීමක් මෙයින් අදහස් නොවිය යුතුය. එසේ කළ හැකි යැයි කියාද මම විශ්වාස නොකරමි. නමුත්, විචාරශීලී කලාවක් සඳහා අවැසි කතිකාමය පසුබිම සැකසීම වමේ කාර්ය භාරයක් විය යුතු නොවේද? එවැනි කාර්යයකදී මෙතෙක් ප්‍රමාණවත් සැලකිල්ලකට ලක් වී නොමැති විශිෂ්ට කලා කෘති නැවත ඇගයීමට ලක් කිරීම ප්රයෝජනවත්ය යන්න මගේ අදහසයි.
කුමාර මෑතකදී ඔහුගේ විශ්ව විද්‍යාල ජීවිතයේ අතීත අත්දැකීමක් ගැන ලියා තිබුණි. ඒ අසූව දශකයේ අග භීෂණ සමයයි. ඔහු මහ රාත්‍රියේ බීමත්ව සරසවි බිමේ ඇවිද යන අතර හදිසියේ යමෙකු ඔහුගේ ඇඟේ හැපී ඇත. ඒ එකල පේරාදෙණියේ දීප්තිමත් ශිෂ්‍ය නායකයෙකු වූ නිශ්මිය. ප්‍රවේසමෙන් හොස්ටල් එකට යන ලෙස තම කවිකාර මිතුරාට උපදෙස් දුන් නිශ්මි අද අප අතර නැත. කුමාර හෙට්ටිආරච්චි නම් කවියාගේ ඇඟේ හැපුණු වාමාංශයට තවමත් ඔහුව හඳුනාගන්නට හැකි වී නැත. ඒ ඔහු අදත් එදා මෙන්ම බීමත්ව සිටින නිසාද? වාමාංශය ප්‍රමාණවත් තරමින් බීමත් නොවීම නිසාද? කලාවට සහ වමට එකිනෙකා හඳුනාගත නොහැකි තරමට අපේ යුගයේ සංස්කෘතික අන්ධකාරය බලවත් නිසාද?
-සුමිත් චාමින්ද