lan englan tam

පුවත්

ගී ලතාවක ඒකාධිකාරය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලොව සියලුම කුරුලු කූජනයන් එක් කළද ඒ කෝකිල නාදය පරයන්නට බැරිසේය. ලතා මංගේෂ්කාර් ගී හඬ සජීවීව ඇසීමේ භාග්‍ය අහිමි වී පෙබරවාරි 6 වැනි දිනට තෙවසරක් සම්පූර්ණ වේ. තෙවසරක් ගතවී තිබුණද අදට මතුදාටද ඒ හඬ නින්නාද වේ. සප්ත ස්වරය පරයන හඬක මිහිරියාව මේ යැයි එතරම් සුමධුරව ලොවට කියා පෑ අන් හඬක් නොමැති තරම් යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. භාරතයේ ‘ගීත කෝකිලාව’ කියනවාට වඩා ඇයට ‘විශ්ව ගීත කෝකිලාව’ යන නාමය සාධාරණ වන්නේ එබැවිනි. ලතා මංගේෂ්කාර්ගේ තැටිගත කළ ගීත එකතුව ලෝප්‍රකට බීට්ල්ස් සහ රෝලිං ස්ටෝන් සංගීත කණ්ඩායම් දෙකේම තැටිගත කළ ගී එකතුව එකට ගත් කලටත් වඩා  ඉහළ අගයක් ගනී. ඇය දශක අටකට ආසන්න කාලයක් පුරා බොලිවුඩයේ කතා නායිකාවන්ගේ ගී හඬ වූවාය. ලතාගේ වාර්තාව සියවස් ගණනකටවත් ගායිකාවකට උරුමකර ගත හැකි දෙයක් නොවේ.

මේ සියල්ල සත්‍ය නමුත් ඇයට එල්ල වූ බරපතළ චෝදනාවක් තිබේ. ඒ ලතා මංගේෂ්කාර් බොලිවුඩයේ නවක සිනමා ගායිකාවන්ට ඉදිරියට පැමිණීමට කිසිවිටකත් ඉඩ නොදුන් බවය. මේ අසහාය ගායිකාව වෙත ඇය ජීවත්ව සිටි කාලයේ පවා මේ විවේචනය එල්ලවිණි. සැබැවින්ම ඇය සෙසු ගායිකාවන්ට ලැබිය යුතු අවස්ථාවන් නැති කළාද?

ලතාගේ මොනොපොලියගේ සැබෑ කතාව

ලතාගේ මොනොපොලිය හෙවත් ඒකාධිකාරයක් ගැන බොහෝ දෙනෙක් කතා කළද ඇය සිය ආධිපත්‍ය තමන් ගොඩනඟාගත් බලයෙන් හා මුදලෙන් ලබා ගත්තක් බවට චෝදනා එල්ල කළද සත්‍යය නම් එය නොවේ. ලතා මංගේෂ්කාර් ගී හඬ දශක අටක් පුරා බොලිවුඩය පුරා රාව, ප්‍රතිරාව නැංවුණේ  දෛවෝපගතවය. එය ඇයගේ හැකියාවට කැපවීමට හිමි වූවකි. ඇයගේ වියෝවෙන් පසුව  ‘නිව්යෝක් ටයිම්ස්’ සඟරාවේ පළ වූ ලිපියක සවිස්තරාත්මකව ඒ ගැන මෙසේ පළ වී තිබිණි. ලතා බොලිවුඩ් ගීත ක්ෂේත්‍රයට නවකයකුව සිටියදී ගීතා දත් සිනමා ගීත ක්ෂේත්‍රයේ ඉහළින් වැජඹුණු ගායිකාව වූවාය. එහෙත් සිය සැමියා වූ  අග්‍රගණ්‍ය සිනමා අධ්‍යක්ෂවරයකු හා නළුවකු වූ ගුරු දත් සමඟ ඇතිවූ ගැටුම නිසා ඇය ගායනයට වඩා මුල්තැන දුන්නේ මත්වතුරටය. එහෙත් ලතා සිය මියගිය පියාගේ ගෞරවය රැකගෙන ගායිකාවක වීමේ සිහිනය ජීවිතයේ වෙනත් කිසිදු සාධකයක් නිසා බොඳකර ගත්තේ නැත. ඇය ඉතා නම්‍යශීලීව සංගීත අධ්‍යක්ෂවරුන්ට අවශ්‍ය පරිදි ගී ගැයුවාය. තමාගේ තැන ලතාට හිමි වෙමින් පවතින බව ගීතාටද වැටහිණි. වරක් ඇය සචින් දේව් බර්මන්ගෙන් සිය අවස්ථාව ඇයට ලබා දෙන්නේ ඇයිදැයි විමසා සිටියාය. “ලෝටාට ලෝටා හැර වෙනත් කිසිම විකල්පයක් නැහැ.” සචින් දේව් පැවැසුවේය. දශක අටක් බොලිවුඩයේ කෝකිල අධිරාජනිය බවට ලතා පත් වූයේ කෙසේදැයි යන්නට විශිෂ්ට ගායකයකු වූ මන්නාඩේද පිළිතුරු ලබා දී තිබිණි.

ලතා මේ ක්ෂේත්‍රයට පැමිණෙන විට සෝරාබායි අම්බෙවාලි, ශම්ෂාඩ් බෙගම් වැනි ගායිකාවන් ජනප්‍රිය වී සිටියද ඔවුන් ලතා මෙන් කාලයේ තාලයට තම ගී හඬ මුවහත් කරගත්තේවත් නවීකරණය කරගත්තේවත් නැත. එනිසා ඔවුහු ලතා මෙන් දිගින් දිගටම ක්ෂේත්‍රයේ ජනප්‍රියතාව රැක ගැනීමට අසමත් වූහ. සංගීතය පිළිබඳ පූර්ණ හැදෑරීමකින් තොරව ලතා ගීත ක්ෂේත්‍රයට පැමිණියත් ඇය නූර් ජෙහාන්ගේ ගායනාවලට සවන් දුන්නාය. ගීතා දත්ගේ ගීත හොඳින් ශ්‍රවණය කළාය. ඔවුන්ගේ ගායනාවල  අඩුපාඩු තමන්ගේ හ‍ෙ¾ඩ් ඇති කර නොගැනීමට ඇය වගබලා ගත්තාය.

ජනප්‍රිය ගායිකාවක හා නිළියක වූ සුරෙයියා ගී ගැයුවේ තමන්ගේම රංගනයන්ට පමණි. ජනප්‍රිය නළු දේව් ආනන්ද් සමඟ බැඳි පෙමට මිත්තණිය වැටකඩොලු බැඳි පසු හා රෝගී වීමෙන් පසු ඇයද ක්ෂේත්‍රයෙන් දුරස් වූවාය. මාධ්‍ය සහ ලෝකයා ලතා සහ ඔවුන් අතර ගැටුම් ඇති බව පෙන්වීමට උත්සාහ කළද පෞද්ගලිකව ලතා ඒ දෙදෙනා සමඟම සුහද ඇසුරක් පවත්වා ගෙනගොස් ඇත. ගීතා දත් ලතාට ඉතා හිතවත් වූවාය. දෙදෙනා එක්ව යුග ගීතද ගයා ඇත. පෞද්ගලික දිවියේ ප්‍රශ්න ගීතා, ලතා සමඟ පැය ගණනක් කතා කළාය. 

සුමන් කල්‍යාන්පූර් සම්බන්ධයෙන්ද ලතාට ඇතැමුන් චෝදනා එල්ල කළද සුමන්ට තිබුණේ ලතාගේ හඬට සමීප හඬකි. ලතා අය කරන මුදල ගෙවීමට නොහැකි අධ්‍යක්ෂවරුන් සුමන් තෝරා ගැනීම නිසා ඇයට “දුප්පතුන්ගේ ලතා මංගේෂ්කාර්” යන නාමයද පටබැඳිණි. කාර්යබහුල වූ විට ලතාම අධ්‍යක්ෂවරුන්ට සුමන් ගන්නා ලෙස යෝජනා කර ඇති බව වැඩි දෙනෙක් නොදනිති.

අනූව දශකයේ ක්ෂේත්‍රයට පිවිසි අනුරාධා පවුද්වාල් සතුව තිබුණේද ලතාගේම හඬට බෙහෙවින් සමාන හඬකි. ඒ හඬද “කාබන් පිටපතක්” යැයි කිවහොත් වඩා නිවැරැදිය. එහෙත් හිරු ඇති තැන සඳට වලාකුළු අතර සැඟව යෑමට සිදුවේ. සත්‍ය එයය. ලතා සිටින තැන කාබන් පිටපත්වලින් පලක් නැත. ලතා දශක අටක් අධිරාජනිය වීමේ තවත් රහස් ගණනාවක් තිබෙයි. ඇය ඉන්දීය භාෂා 36කින් ගී තැටිගත කර තිබේ. එපමණක් නොව ඇය ශ්‍රී ලාංකේය රසිකයන්ට ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජයභූමි ගීතය තිළිණ කළා සේම ඉංග්‍රීසි, ජපන්, රුසියානු, මැලේසියානු ආදී වශයෙන් වෙනත් භාෂා ගණනාවක ගී ලොවට දායාද කර තිබේ. අපේ මුල්ම නිළි රැජන රුක්මණී දේවිය මෙන් ඇයද විදෙස් ගීත ඉංග්‍රීසියෙන් ලියාගෙන පුහුණු වී ඇත.

“කොවිඩ් වසංගතය” නොතිබෙන්නට අනූ එක් හැවිරිදි ඇයට 2022දී ජන ගීතයක් සිනමා පටයකට පටිගත කිරීමට ඇරුයුම් ලැබී තිබිණි.

ලතා, අසූ දෙහැවිරිදි වියේදී “Satrangee Parachute” සිනමාපටයේ අට හැවිරිදි දරුවකු වෙනුවෙන් ගීතයක් ගැයුවාය. සිනමාපටයේ අධ්‍යක්ෂවරයා වූ විසි හතර හැවිරිදි විනීත් කෙත්‍රපාල් පවසා සිටියේ ගීතය අසන සැවොම එය අට හැවිරිදි දරුවකු විසින් ගයන ලද බව විශ්වාස කරන බවය. එවන් හපන්කමක් පෑ හැක්කේ ලතාටම පමණි.

ලතා මංගේෂ්කාර්ගේ නැඟණිය වූ ආශා බෝස්ලේට පවා ඉදිරියට ඒමට ඇය ඉඩ නොදුන් බවට ඇති කතාවද කටකතාවකි. ලතාට පාසල් ගමන පවා අහිමි වූයේ ආශා නිසාය. ආශා වඩාගෙන පාසලට අකුරු කිරීමට ගිය ඇයට නැඟණිය පාසලට රැගෙන නොඑන ලෙසට ගුරුතුමා පැවැසූ පසු  කළේ පාසල් ගමන එක් දිනකින්ම අවසන් කිරීමය. ලතා පියාගේ මරණයෙන් පසු සිනමා ගායනයෙන් උපයන මුදලින් පවුල් බර සැහැල්ලු කරද්දී ආශාද සිනමා ගීත ගායනයට එක් වූවාය.

ලතා අක්කණ්ඩිය හා තමන් අතර කිසිකලක තරගයක් නොතිබුණු බව ආශා නිතරම ප්‍රකාශ කරන්නීය. එහෙත් වයස 16දී ඇය ලතා ඇතුළු මංගේෂ්කාර් පවුලේ සියලු දෙනාගේ විරෝධය නොතකා ලතාගේ පෞද්ගලික ලේකම්ව සිටි 36 හැවිරිදි  ගන්පත්රාඕ බෝස්ලේ සමඟ විවාහ වීම දෙදෙනාගේ සොයුරු පෙම දෙදරවාලීමට සමත්විය. ගන්පත්රාඕට අවශ්‍ය වූයේ ආශා, ලතාට වඩා ගායනයෙන් මුදල් උපයනවා දැකීමටය. ඒ ඔහු මුදලට තිබූ කෑදරකම නිසාමය. ගෘහස්ථ හිංසනය නිසා ආශා ගන්පත්රාඕගෙන් දික්කසාද වූවාය. කලක් ලතා ඇය සමඟ අමනාපයෙන් සිටියත් පසුව දෙදෙනා සමගි වූහ.

Saaz (1998) සිනමාපටයේ දැක්වෙන්නේ ලතා මංගේෂ්කාර්, ආශා බෝස්ලේගේ ගායන ගමනට කළ බාධාවන් බවට රාවයක් පැතිරිණි. ආශා පැවසුවේ මේ කටකතාව අමූලික මුසාවක් බවය.  එහි ප්‍රධාන නිළි ශබානා ආස්මිට මෙවැනි කතාවක් සිනමාවට රැගෙන ඒමට අවශ්‍ය වී තිබූ අතර කතාව හැඟීම්බරව ලිවීම ලේඛකයාගේ අයිතියක් බව ශබානා පවසා තිබිණි.

ගායිකා අයිතිය වෙනුවෙන් කළ සටන

ලතා ඇත්තෙන්ම මවක් නොවුණද සොයුරු සොයුරියන්ට දිරිය මවක් වූවාය. ඇය ගීත ක්ෂේත්‍රයේ ගායිකාවකට හිමිකරගත හැකි ඉහළම සම්මාන හිමිකර ගත්තාය. වැඩිම ගීත ගණනක් පටිගතකර වරක් ගිනස් පොතටද නම එක් කළ ඇය ජාතික සිනමා සම්මාන හතරක්ද, බෙංගාල සිනමා මාධ්‍යවේදී සංගමයෙන් සම්මාන 15ක්ද, ෆිල්ම්ෆෙයාර් සම්මාන හතරක්ද, ෆිල්ම්ෆෙයාර් යාවජීව සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. ප්‍රංශ රජයෙන් ඇයට එරට පුරවැසියකුට දෙන ඉහළම සම්මානය වූ National Order of the Legion of Honour සම්මානයද හිමිකර ගත්තාය. භාරත රජයෙන්

දෙන ඉහළම සම්මානය වන භාරත රත්න සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවාය. ලන්ඩනයේ රාජකීය ඇල්බට් ශාලාවේ ප්‍රථම වරට සංගීත ප්‍රසංගයක් පැවැත්වූ ඉන්දීය ජාතිකයා ඇයය. ඇය කිසිවකුගේ සම්මාන  උදුරා ගත්තා කියනවාට වඩා අනෙක් ගායිකාවන්ට සම්මාන ලබාගැනීමේ අවස්ථාව උදාකර දුන් බව පැවසීම වඩා නිවැරැදිය. සිනමා සංගීත ක්ෂේත්‍රයට පිවිසි පසු ලතා උත්සාහ ගත්තේ ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ට අයිතිවාසිකම් හිමිකර දීමටය.

එනිසාම “රණ්ඩු කෙක්කක්” යන අප්‍රසන්න නාමයද ඇයට පටබැඳිණි. 1957දී “චෝරි චෝරි” සඳහා හොඳම සංගීතය සඳහා සම්මාන හිමිවන බව දැනගත් ශන්කර් සහ ජයකිෂන් ලතා හමුවී ඇයට සම්මාන උලෙළේ “රසික් බල්මා” ගීතය ගයන ලෙස ඉල්ලා සිටියහ. ලතා කියා සිටියේ තමන් ගීය නොගයන බවය. සම්මානය තියෙන්නේ හොඳම සංගීතයටනෙ. ඔවුන් ගායකයාට/ ගායිකාවට, ගීත රචකයාට සම්මාන දීලා නැහැ. ඒ නිසා ඇයි ඔයාලා ගායිකාවත් ගීත රචනයක් නැතිව වාදක මණ්ඩලය ගෙනිහින් තනුව විතරක් වාදනය නොකරන්නේ, ලතා විමසුවාය. ෆිල්ම්ෆෙයාර් සංවිධායකයන් ගායකයාට / ගායිකාවට, ගීත රචකයාට සම්මාන දෙනතුරු සම්මාන උලෙළේ ගීත නොගයන බවට ලතා සපථ කළාය. අවසන 1959දී ෆිල්ම්ෆෙයාර් සංවිධායක කමිටුව හොඳම ගායකයා / හොඳම ගීත රචනය යන අංශ ඇතුළත් කළේය. ලතා මංගේශ්කාර් හොඳම ගායන අංශයේ මුල්ම ෆිල්ම්ෆෙයාර් ජයග්‍රාහිකාව වූයේ 1958 මධුමතී සිනමාපටයට ගැයූ “ආජා රේ  පර්දේසි” ගායනය වෙනුවෙනි. පළමුවෙන්ම සම්මානය දිනාගත් ගීත රචකයා වූයේ ශයිලේන්ද්‍රය. “යහුඩි” සිනමාපටයේ “යේ මෙරා දිවානාපන් හෛ” ගීත රචනයට ඔහුට සම්මාන හිමි විය.

 

මොහොමඩ් රාෆි – ලතා මංගේෂ්කාර් නොමනාපයට මුල්වූයේද අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවකි. හැටේ දශකයේ මුලදී ගායක ගායිකාවන් වෙනුවෙන් සිනමා නිෂ්පාදකගෙන් ඇය සියයට පනහක අයිතිය ඉල්ලා සිටියාය. එහෙත් මොහොමඩ් රාෆි ගායකයා ඇයට සහාය දැක්වූයේ නැත. ඔහු සිතුවේ ගීතයේ අයිතිය ඇත්තේ ගීත රචකයාට සහ සංගීතඥයාට බවය.  දෙදෙනා අතර සිදුවූ වචන හුවමාරුව අවසන් වූයේ රාෆි – ලතා සමඟ කිසිදිනක ගී නොගයන බව පවසමිනි. ක්ෂණිකව කිපෙනසුළු ලතාද ඔහු සමඟ ගීත ගැයීමට නො ලැබීම ගැන වඩාත් සතුටු වන බව පැවැසුවාය. කැසට්පටවල ගායකයාගේ, ගායිකාවගේ නම සඳහන් වන්නේද ඇය කළ සටනක ප්‍රතිඵලයක් ලෙසිනි. කාන්තාවට දූවිල්ලකට පමණවත් ගෞරවයක් නැති රටක ඇය ගායනයේ මහිමයෙන් මවුබිමේ නාමය ලොව ගෞරවාදරයට පත්කළාය. එලෙසින්ම දිරිය ගැහැනියකගේ මහිමයද පෙන්වූවාය. ලතා අසමසම වන්නේ මේ සියලු කරුණු නිසාය.

“දශක අටක්ම භාරතයේ සිනමා ගීත කෝකිලාව කිරුළ දක්වා පැමිණි ලතා මංගේෂ්කාර්ගේ ගමන්මඟ ඉතා කටුකය. මුලදී ඇතැම් අධ්‍යක්ෂවරු ඇයගේ හඬ සිහින් වැඩි යැයි කියා ප්‍රතික්ෂේප කළහ. එසේ ප්‍රතික්ෂේප කළ එක් අධ්‍යක්ෂවරයෙක් වූයේ වර්තමාන නිළි කාජල්ගේ මුත්තණුවන් කෙනකු වූ ශාෂාධාර් මුඛර්ජිය. ලතාව ඔහු වෙත රැගෙන ගිය ගුලාම් පැවැසුවේ අනාගතයේදී තමන්ගේ සිනමාපටයට ලතාගේ ගී හඬ මුසුකර ගැනීමට සිනමා නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂවරුන් පෝලිම් ගැසී පැමිණ වැඳවැටෙනු ඇති බවය. දෛවයේ සරදම නම් සිහින් වැඩි යැයි පවසා ලතාගේ හඬ ප්‍රතික්ෂේප කළ මුකර්ජිගේ මිනිබිරියන් වූ කාජල්ට, රාණි මුකර්ජිටද ලතා පසුබිම් ගායිකාව වීමය.

* සෑම අංශයකම පිරිමි ආධිපත්‍ය රජයන යුගයක ලතා දිරියෙන් කැපවීමෙන් කිරුළ හිමිකර ගත්තාය. විදුලි පංකාවක්වත් නැතිව ගීත පටිගත කළ අවස්ථාවකදී උණුසුම වැඩිකමින් ඇය ක්ලාන්ත වූ අවස්ථාවක්ද තිබිණි. 

* ලතා කිසිවිටකත් තමන් ගයන ගීතවලට සවන් දුන්නේ නැත. ඒ ඇයට තමන්ගේම ගීතවල වැරැදි සිය ගණනක් ඇසෙන බැවිනි. ඒ ඇයගේ නිහතමානීකමය. 

* 1963දී අග්‍රාමාත්‍ය නේරු ඉදිරියේ දිල්ලියේ රාම්ලීලා පිට්ටනියේදී “ඒ මේරේ වතන් කේ ලෝගොන්” (Ae Mere Watan Ke Logon) දේශාභිමානී ගීය ගයද්දී අගමැති නේරුගේ දෑස්වලින් කදුළු ගලා ගිය අතර ඒ සිදුවීම ලතා ගැන සඳහනක් තබද්දී අනිවාර්යයෙන්ම සටහන්වන්නකි.

* 1958දී ‘මධුමතී’ සිනමාපටයට ‘ආජාරේ පරදේසි’ ගීය ගැයීම වෙනුවෙන් හොඳම ගායිකාව ලෙස ඇය සම්මානයට පාත්‍ර වූ විට ඇය සම්මානය ගැනීම ප්‍රතික්ෂේප කළාය. එයට හේතුව සම්මානය නිරුවත් කාන්තා රුවකින් මූර්තිමත් වීමය. පසුව සංවිධායකයන් සම්මානය රෙද්දකින් ඔතා පිරිනමන ලදී. 

අන්තර්ජාලයෙනි,

චම්පිකා දීපානි රණසිංහ - මව්බිම

Back to top
Go to bottom