lan englan tam

පුවත්

ලෙස්ටර්ගේ චිත්‍රපටයක රඟපාන්න බැරි වුණේ ඒ පණිවිඩ කෙනෙකු වැළකුවා!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

"මම වාසනාවන්තයෙක්. ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන් වුණා. ගුරුවරයෙක් විදිහටත් මම මගේ යුතුකම කළා. නළුවෙක් විදිහටත් චරිතවලට මට පුළුවන් විදිහට උපරිම සාධාරණය කළා. මම ගොඩක් සතුටු වෙනවා මම ගැන. මට බැරි වුණේ ලෙස්ටර් සර්ගේ චිත්‍රපටයක රඟපාන්න විතරයි. සර් මට පණිවුඩ එවලා තිබුණට මට ඒවා ලැබුණේ නැහැ. ඒක කවුරු හරි වැළැක්වුවා. ඕවා ඔහොම තමයි."

මෙසේ පවසන්නේ ශ්‍රී ලංකේය සිනමාව, ටෙලිනාට්‍ය සහ වේදිකාව පෝෂණය කළ ජ්‍යෙෂ්ඨතම රංගධරයකු වන සිරිල් වික්‍රමගේය.
පසුගිය ඉරුදින මව්බිම පුවත්පතේ ටිරන් කුමාර බංගගම ආරච්චි සමග දුරලභ ගණයේ රසවත් සංවාදයකට එක් වෙමින් සිය ජීවිතයේ මතක අවදි කළ මෙම රංගධරයා සිය වර්තමානය පිළිබඳව බෙහෙවින් සන්තෝෂ වෙමින් කතාබහට එක්ව තිබිණි.
"ජීවිතේ හරි සුන්දරයි. ඉතාම සුන්දර මිනිස්සු ආශ්‍රය කළා. මහගම සේකර, ගුණසේන ගලප්පත්ති, පතිරාජ, ටෝනි, විජය, කොස්තා නම් ලැයිස්තුව කියලා ඉවර කරන්න බෑ. මේ ගොඩක් අය අද ජීවතුන් අතර නැහැ. ජයසිරිත් ළඟදී නැති වුණා. හරි දක්ෂයා. ඔහොම තමයි නේද? විනෝදෙන් තමයි ඒ කාලේ ගත කළේ. සල්ලි පස්සෙම දිව්වේ නෑ. ලැබෙන දේ හරියට කළා." යැයි හෙතෙම මාධ්‍යවේදියාට පිළිතුරු දී තිබිණි.

ආනන්ද සමරකෝන් ජාතික ගීය වෙනස් කළ බවට කලකිරීමෙන් සිය දිවි නසාගත් බවට වන කතාන්දරය පිළිබඳවද සිරිල් වික්‍රමගේ සිය අදහස පැවසුවේ ආනන්ද සමරකෝන් සිටියේ වෙනත් කලකිරීමක් සමග වන බවය.
"බොරැල්ලේ හෝටලේක අපි හිටියේ. අන්තිමට එයා මගේ කාමරේ හිටියේ. ඔය ගොඩක් අය කියනවා ආනන්ද සමරකෝන් මැරුණේ ජාතික ගීය වෙනස් කරපු හින්දා කියලා. ඒක බොරුවක්. ඒක දේශපාලන උප්පරවැට්ටියක්. යූ.එන්.පී. එක කරපු. එයා ගීතය ලියලා තිබුණේ “නමෝ නමෝ මාතා” කියලා. ඒක “ශ්‍රී ලංකා මාතා” කළා කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතුකරන්න. මම එයාගෙන් අහල තියෙනවා. එයා කිව්වා පිස්සුද සිරිල් මම ජාතික ගීයක් ලිව්වේ නැහැ. මම ලිව්වේ දේශානුරාගී ගීතයක්. පස්සේ ඒක ජාතික ගීයට ගත්තා කියලා. හැබැයි එයා ලොකු කලකිරීමෙන් හිටියා. එයා ශාන්ති නිකේතනයෙන් ඉගෙනගෙන ආවත් එයාට තැනක් නොදුන්නට. එතකොට සෞන්දර්ය විශ්වවිද්‍යාලය නෑ. හේවුඩ් එක තිබුණේ. ඒකෙ ලයනල් එදිරිසිංහ හිටියේ. එයා තැනක් දුන්නෙ නැහැ. මෙයා සංගීත පන්ති කරගෙන ජීවත් වුණේ. එයාට ජීවිතේ කලකිරීමක් තිබුණා. එයා අසාර්ථකයි කියලා. එයාට ‘ඔස්ටින්’ කාර් එකකුත් තිබුණා. ගෙදරක් තිබුණට නිතර ගෙදර යන්නෙ නෑ. මගේ කාමරේ වැඩිපුර ඉන්නෙ. දවසක් ගියහම ආරංචි වුණා ඉස්පිරිතාලේ කියලා… ගිහින් බලනකොට නිදිපෙති බීලා. ඒකෙන් තමයි එයා මැරුණේ. දේශපාලකයෝ ඒක හැරෙව්වා ජාතික ගීය නිසා මැරුණා කියලා. මාත් එක්ක එකට හිටපු කෙනානේ. එයාට ඒක කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ."
සිය තරුණ ජීවිතය තුළ කළ වීර්යකම් පිළිබඳව රසවත් සිදුවීම්ද ඔහු හෙළි කර තිබුණේ මෙසේය.
"තරුණ කාලෙනේ. ඉස්සර මොන නිර්මාණ කළත් කට්ටිය හවස ඉන්නේ එක්කෝ “නිදැල්ලෙ” නැතිනම් ෆ්‍රෙස් ක්ලබ් එකේ. එතකොට ෆ්‍රෙස් ක්ලබ් තිබුණේ බම්බලපිටියේ. එතැනට වැඩකාරයෝ ඔක්කොම එනවා. සරත්චන්ද්‍ර, සේකර, සුගතපාල සිල්වා, පත්තර කට්ටිය. ඉතින් ලොකු වාද විවාද සාහිත්‍ය කලා සංවාද. ඔක්කොම පොඩි බඩු නෙවෙයිනෙ. මාත් ඔතැනට නිතර යනවා. දවසක් මම “රැලෙක්ස්” ටෝනිගේ අයියා එක්ක ගියා. එතකොට මම කොණ්ඩේ වවලා හිටියේ. ළඟ තැනක බොනවා සුගතපාල සිල්වා. එයා මගේ කොන්ඩෙන් ඇද්දා ආ උඹ කොණ්ඩෙත් වවාගෙන කියලා.
සුගතපාල සිල්වා කැමැති නැහැ එයාගේ කොණ්ඩෙට කවුරුත් අත තියෙනවට. මාත් විහිළුවට එයාගෙ කොණ්ඩේ ඇද්ද. මෙයා ඉතින් ටිකක් දඟලපුවහම වෙන මේසෙක කෙනෙක් බීලා අඩෝ ගාගෙන ආවා මට ගහන්න. මම දුන්නා එකක් ඇදගෙන වැටෙන්න. සුගතපාල කියනවා යකෝ තෝ මේ ගැහැව්වේ කොස්තටනෙ කියලා. විමල් කුමාර ද කොස්තා. පස්සේ අපි හොඳ යාළුවෝ. තව දවසක් තව කෙනෙක් චැලේන්ජ් කළා ගහගන්න තැනකට එන්න කියලා. මාත් අභියෝගය බාර ගත්තා. ඒ පතිරාජ එස්. එල්. දයානන්ද. ඒක ධර්මසේන පතිරාජ මැදිහත් වෙලා බේරුවා. ඕවා ඔහොම තමයි. පස්සේ මේ හොඳම යාළුවෝ. එක එක කාලේ වෙන දේවල්නේ. හැබැයි හරිම රසවත් කාලයක්. අපිට ලොකු ආර්ථිකයක් තිබුණේ නැහැ. හැබැයි හරිම නිදහසේ හිටියා." යනු සිරිල් වික්‍රමගේ කලා වියතාණන් පවසා තිබිණි.

මුල් සබැඳිය: https://mawbima.lk/2025/02/01/%e0%b6%a2%e0%b7%9d-%e0%b6%ad%e0%b6%b8%e0%b6%ba%e0%b7%92-%e0%b6%b1%e0%b7%85%e0%b7%94%e0%b7%80%e0%b7%8f/

Back to top
Go to bottom