lan englan tam

පුවත්

රටක් පිනවා ගිලන් වූ සෝමපාල ලීලානන්ද රසවතාණන්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සෝමපාල ලීලානන්ද දැඩි ලෙස ගිලන්ව සිටී.

මේ දිනවල සෝමපාල ලීලානන්ද මහතා දැඩි ලෙස ගිලන්ව, කතා කිරීමට ඇවිදීමට පවා අපහසුව නිවසට වී ප්‍රතිකාර ලබමින් පසු වේ.
ඔහුව බැලීමට කලා ලොවේ කිසිවෙකු හෝ නොපැමිණෙන බව ඔහු වේදනාවෙන් යුතුව පවසයි.
අංක 74 ජී, ශ්‍රී සාරලංකාර මාවත, පාලගම, පොල්ගස්ඕවිට ලිපිනයේ ඔහු පදිංචිව සිටී.
ඔහු ඇසුරු කළ, ඔහුගේ ගීත හෝ සිනමාව රසවිඳි සහෘදයෙනි, ඔබට හැකියාවක් තියේ නම් ඔහු බලන්න යන්න. හුදකලා වී සිටින ඔහුට එය ශක්තියක්, සතුටක් වනු ඇත.
මේ ඔහුගේ කලා නිර්මාණ පිළිබඳව කෙටි සටහනක් .

70-80-90 දශකයන්හී දේශීය සිංහල සිනමාව ඔපවත් කළ පහත සඳහන් ගීත ඔබගේ මතකයෙන් දුරස්ව ගොස් නැතැයි සිතමි.
"අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා"
"බඹරා වගේ මට තවම විසේ"
"තනියේ ආවාරේ ඇසුනා ගී රාවේ"
"පාට පොදක් තිලකලා නළල් තලාවේ"
"මල් වයසේ මධු සිහිනේ"
"පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ"
"වාසනාව දොර ඇරලා බලනවා"
"කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා"
"පෙම්වතියන්නේ පෙම්වතියන්නෙ"
"බිළිදුනේ දරුවනේ පැලෙත් රජ මැදුරේ"
"මේ අහල්ලා අහල්ලා මගේ තාලේ"
"නිල්ල නඟන ස්වර්ණ කිකිනි රාවේ"
"සිටු මැදුරේ හෝ පුංචි පැලේ "
"යෞවන උයනේ "
එසේම එදා සිංහල චිත්‍රපට ප්‍රචාරණය සඳහා යෙදු රසවත් වදන්ද ඔබට මතක ඇතැයි සිතමි.
"සප්ත කන්‍යා කඳුයායේ රාව ප්‍රතිරාව නඟන හීන කුලයේ පෙම්වතියකගේ කඳුළු කතාව" (මධු සිහින)
"ලොව කිසිම ගැහැණියකට මෙවන් විපතක් නොවේවා" (මිහිදුම් සළු)
"සටන අයුක්තියට එරෙහිව නම්, ජය එතැන වනු ඇත" (සුර දූතියෝ)
"සටන් බිම මලින් සැරසු මල් කුමරියකගේ කතාව" (සසර චේතනා)
"ඔබේ නුවන් යුග නිවී ගියා යැයි නොහඬන් අයියණ්ඩි, දිවි ඇති තුරා මා ඔබේ දෙනෙත වෙන්නම්" (චංචල රේඛා)

මේ සෑම නිර්මාණශීලී වදනකම අයිතිකරුවා වෙනින් කවුරුත් නොවේ, සෝමපාල ලීලානන්දයි.
1944 ජූලි 14 වන දින උපන් ඔහු පාසැල් අධ්‍යාපනයෙන් පසුව දවස පුවත්පතින් මාධ්‍යවේදියකු ලෙස වෘත්තිය දිවියට පිවිස පසුකාලීනව ගීත රචකයෙකු චිත්‍රපට දෙබස් හා තිරනාටක රචකයෙකු, ගුවන්විදුලි පිටපත් රචකයෙකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු දක්වා පුළුල් පරාසයකට ඔහුගේ සහජ හැකියාවන් පතුරවාලීය.
ඔහු ලියූ ප්‍රථම ගීතයද චිත්‍රපටයක් සඳහාම විය. ඒ "විශ්මය" චිත්‍රපටය සඳහායි. සරත් දසනායකගේ කුළුදුල් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයද එයම විය.
"හදට හදක සුවඳ නැතේ" ගීතය ගායනා කළේ ඩබ්ලිව්.ඩී අමරදේව ශූරින් සමඟ නන්දා මාලිනියයි. එය පටිගත කළේ 1968 අගෝස්තු 12 වන දිනයි. නමුත් චිත්‍රපටය තිරගත වූයේ 1978 වසර තුළයි.
සෝමපාල ලීලානන්දයන් ගී ලියා තිරගතවූ ප්‍රථම චිත්‍රපටය වනුයේ "සදහටම ඔබ මගේ "චිත්‍රපටයයි. එහිදීත් සරත් දසනායකයන්ගේ මියුරු නාද රටාවන්ට අනුව "පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ" සහ "වාසනාව දොර ඇරලා බලනවා" යන ගී යුගල බිහිවිය.
ඉන් අනතුරුව "කස්තුරි සුවඳ", "නිල්ල සොයා", "චන්ඩි පුතා", "මල් කැකුළු", "චංචල රේඛා", "මිහිදුම් සිහින", "ඈතින් ඈතට", "මධු සිහින", "සත්‍යා", "ත්‍රිශුලේ", "යළි හමුවෙන්නයි", "අහිංසා", "පාරාදීසේ", "ආත්මා", "රජ දරුවෝ", "සුසීමා" ඇතුළු චිත්‍රපට රැසකට ඔහු ගී නිර්මාණයෙන් දායකව ඇත.
"චන්ඩි පුතා" (1977), "බඹර පැටික්කි" (1984), 150 මුල්ලේරියාව"(1994), "ආත්මා" (1994) ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිරගත කරනු ලැබු චිත්‍රපට කිහිපයයි. "යක්කල රොසලින්" ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇත.
එසේම ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ සේන සමරසිංහ මහතා අධ්‍යක්ෂණය කල චිත්‍රපට 16කම තිර රචනය සෝමපාල ලීලානන්දයන්ගේය. ඒ සෑම චිත්‍රපටයක් සඳහාම ගීත ප්‍රබන්ධයෙන්ද ඔහු දායකව ඇත.
අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූ විජය කුමාරතුංගයන් සමඟින් චන්ද්‍රලේකා පෙරේරා ගායනා කල "සැරයටියෙන් අපි යනෙන තුරා" ගීතයේ පද රචනයද මොහුගේමය.
සෝමපාලයන් හරිම රසවත් හදක් ඇති පුද්ගලයෙකි. ඔහු පිළිබඳව ලිපි කිහිපයක්ම මින් පෙර පුවත්පත් සඳහා මා ලියා ඇත්තෙමි.
මේ සටහන තැබීමට මොහොතකට පෙර ඉතාමත් අපහසුවෙන් දුරකථනයෙන් මා අමතා ඔහුගේ දුක වේදනාව පවසා අවසානයේ මගෙන් එක් ඉල්ලීමක් කළා.
"ඇන්ටන් මල්ලී, මම මැරුණ දවසක උඹ පත්තරේට ලියපං" පෙම් රස වෑහෙන ගීත ලියන්නට යළි ඔබ අප අතර ඉපදේවා" කියලා. මම මැරෙන්න බය නැති මිනිහෙක්. මම දන්නවා, මම නැවත කොහේ හෝ ලෝකෙක උපදින්නේ ඒ රට නළවන්නයි කියලා "
ඔහු එසේ කීවත් මම නම් කියන්නේ, "පෙම් රස වෑහෙන ගීත ලියන්නට තව තවත් ඔහුට හැකිවේවා" කියලයි.
ඔහු චන්ඩි පුතා චිත්‍රපටයට ලියු රසවත් දෙබසකින් මේ සටහන නිම කරමි.

"සැන්බැන්ඩික් එකේ කොල්ලෙක් නංගි. දෙමාපියන්ගේ නැති බැරිකම් හින්දා ගුබ්බෑයමට වැටුනට කමක් නෑ. ලයිෆ් එක ඔහොමයි. ෂේක්ස්පියර් කියලා තියෙනවා, මේ ලෝකේ ඉස්ටේජ් එකක් වගේ කියලා. උඹලා අපි ඒකේ ඇක්ටස්ලා. අපි අපේ පාට් එක ඉවර වුනාම සීන් එකෙන් විසිවෙලා යන්න ඕනෑ."
80 වන වියේ පසු වන මේ ආදරණීය රසවතාට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. එය සතුටක්, ආශිර්වාදයක් වනු ඇත.

2024. 10. 26
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

Back to top
Go to bottom

Popular News