සුජීව ගුණරත්නගේ ‘කාල’ චිත්‍රපටය මේ දිනවල තිරගත වෙයි. එහි මැණිකාගේ චරිතයෙන් ඔබ හමුවට පැමිණෙන්නී ඇයයි. මාදනී මල්වත්තගේයි. මේ පෙළ ගැසෙන්නේ සිනමාවේදී නවතම ගැමි ගැහැනියකගේ භූමිකාවකට පණ පොවන මාදනී සිය සිනමා ආගමනය පිළිබඳත් ඇගේ රංගන ජීවිතය පිළිබඳත් කළ කතාබහකි.
මේ දිනවල ‘කාල’ තිරගත වනවා?
‘කාල’ ගිය මාසයේ 27 වැනිදා සිටයි සිනමා ප්‍රේක්ෂකයන් හමුවට පිවිසෙන්නේ. කාල කියන්නේ අපේ පුංචි කාලයේත් සිංහල පෙළ පොතේ තිබුණු කතාවක්. ඒ ධාතුසේන රජතුමාගේ කලා වැව සම්බන්ධ කාල වීරයාගේ කතාවයි. එදා පටන් අපේ මතකයේ තිබුණු මේ කතාව සුජීව ගුණරත්න චිත්‍රපටයක් ලෙස නිර්මාණය කළා. මා නිරූපණය කරන්නේ කාලගේ මවගේ චරිතයයි.
මෙහි රූගත කිරීම් සිදුවුණේ කොළඹින් ඈත ප්‍රදේශයක නේද?
පොළොන්නරුව ප්‍රදේශයේ මීට වසර තුනහමාරකට පෙරයි මෙහි රූගත කිරීම් සිදුවුණේ. මේ කාලය ඇතුළතදියි ‘කාල’ චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නේ. ‘කාල’ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර හොඳයි. දුර පළාත්වල නාට්‍යවලට ගියාට පස්සේ, කොළඹ අවට රූගත කිරීම් අතරදි සිනමා ප්‍රේක්ෂකයන් කාල ගැන කතා කරනවා. ඒ නිසා ඒ ගැන සතුටුයි.
කොළඹින් ඈත ගම් පළාත හා ගෙවුණු කාලය මොන විදියටද දැනුණේ?
කැලේ ඇතුළට වෙන්නයි සියලුම දර්ශන තල ඉදි කරලා තිබුණේ. සුජීව අයියා කලා අධ්යක්ෂවරයෙක් නිසා ඒ පැත්තට සම්බන්ධව දර්ශන තල ඉදිකිරීමේදී විශේෂ උනන්දුවක් දක්වා තිබුණා. ඔහු ඒ කාලවකවානුවලට ගැළපෙන විදියටයි ඒ දර්ශන තල සියල්ල ඉදි කරලා තිබුණේ. චිත්‍රපටය නරඹන විට සියල්ලන්ට ම පැහැදිලි වෙයි ඒ කාලවකවානුවලට කොයිතරම් වටිනාකමක් ඔහු එකතු කරලා තිබෙනවාද කියලා. ඒ හරහා කොයිතරම් සහයෝගයක් චරිතවලට පවා ලැබිලා තිබෙනවාද කියලා. උදේ පාන්දරම කැලෑවට ගිහින් රාත්‍රිය වනතුරු එහි වැඩ කරලා ඒ ගත කළ කාලය අපට ගෙනාවේ අපූරු අත්දැකීමක්.
ඔබවම මැණිකාගේ චරිතයට තෝරා ගැනීමට විශේෂ වූ හේතුව කුමක්ද?
විශේෂ තෝරා ගැනීමක් නැහැ. ඒත් සුජීව අයියා මෙවැනි චිත්‍රපටයක් කරනවා කියලා මට මැණිකාගේ චරිතයට කතා කළා. ඒ හීන්කුරුට්ටාගේ බිරියගේ චරිතයයි. ඔහු මට තිරරචනය ගෙනැවිත් දුන්නා. රූපගත කිරීම් කාලය ඇතුළේ මමත්, මහේන්ද්‍ර අයියා, නීටා අක්කා, ජයසිරි අයියා, ජනක් අයියා, විශ්ව, ජගත් ඇතුළු ප්‍රවීන නළු නිළියන් රැසක් රඟපෑවා. ඒ අතර නවක නළු නිළියන් කිහිපදෙනෙකු හඳුන්වා දීමකුත් සිදුවුණා. අප සියලුදෙනාම රඟපෑවේ සුජීව අයියාගේ අධ්‍යක්ෂණය යටතේ. ගොඩක් සතුටින් ඒ රූගත කිරීම් කරන කාලය ඇතුළේ අප හැමෝම වැඩ කළා.
මේ සැමියා, බිරිය වශයෙන් ඔබ හා මහේන්ද්‍ර අයියා රඟපාන පළමු අවස්ථාවද?
මීට පෙර මා ටෙලි නාට්‍යවලදි වගේ ම චිත්රපටවලදිත් මහේන්ද්‍ර අයියාත් සමඟ ඕනෑතරම් රඟපාලා තිබෙනවා. ඒත් සැමියා බිරිය ලෙස මා, ඔහුත් සමඟ රඟපාන පළමු අවස්ථාවයි මේ. මහේන්ද්‍ර අයියා කියන්නේ අපේ ක්ෂේත්රයේ ඉන්න බොහෝ අත්දැකීම් තිබෙන ප්‍රතිභාපූර්ණ නළුවෙක්. ඒ නිසා සුජීව අයියා මේ චරිතය සඳහා මහේන්ද්‍ර අයියාවම චිත්‍රපටයට දායක කර ගැනීමම ලොකු වටිනාකමක් එකතු කළ බවකුයි මට හැඟෙන්නේ. ඔහු චිත්‍රපටයට මනා ආලෝකයක්.
වර්තමානයේ සිටින මිනිසුන්ට වඩා වෙනස් ලක්ෂණවලින් යුත් මැණිකාගේ චරිතය ප්රතිනිර්මාණ කිරීමට ඔබ වෙහෙස ගත්තේ කෙලෙසද?
එහිදි ‘කාල’ චිත්‍රපටය විදහා දැක්වෙන ප්‍රදේශයේ, කාලයේ සිටින ජනතාව වෙනස් ම වූ ගැමියන් පිරිසක්. වෙනස් විදියට කතාබහ කරන, වෙනස් විදියට සිතන පතන, වෙනස් විදියට අඳීන - පලඳීන, වෙනස් විදියට හැසිරෙන මිනිසුන් පිරිසක්. නිර්මාණයේදී ඒ කාලයට උචිත ආකාරයෙන් සියල්ල සූදානම් කිරීමට කලා අධ්යක්ෂවරයා සෑම ආකාරයෙන්ම සූදානම් වී සිටියා. ඔවුන් කතා කරන භාෂාව ගැන තිරරචනයේ පැහැදිලිව දක්වා තිබුණා. චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීමට තිරරචනය, අධ්යක්ෂවරයාගේ කාර්ය, නළුවාගේ කාර්ය හා අවශේෂ ශිල්පීන්ගේ කාර්යයන් වඩාත් වැදගත් වෙනවා. ඒ අනුව තිරරචනය අතුළු ඒ සියල්ලන්ගෙන් ම, මගේ අධ්‍යයනය ඇතුළේ මා ලබාගත් දේවල් ආදී සියල්ලම එකතු කරගෙනයි මා මැණිකා ප්‍රතිනිර්මාණය කළේ.
ඔබ මැණිකාගේ චරිතයට එකතු කළේ මොනවාද?
එකක් මුල් කාලයේ කාල මවුකුස පිළිසිඳ ගන්න ඉන්න කාලයේ තමන්ගේ සැමියාට නැමෙන්නේ නැති, සැමියාව භය කරගෙන ඉන්න, චරිතයක්. ඈ කියන විදියටයි හීන් කුරුට්ටා වැඩ කරන්නේ. හීන්කුරුට්ටා නිතරම වැඩ කළේ බිරියට අවනත වෙලා. පසුව රජ වාසලේ වැඩ කරන කෙනෙකු විදියට හා කාල ලැබුණු පසුව ඇගේ හැසිරීම වෙනස් වෙනවා. මා මේ චරිතය ගැන කියනවාට වඩා සිනමා ප්‍රේක්ෂකයන් චිත්‍රපටය නරඹා මැණිකාගේ චරිතය ගැන ඔවුන් යම් අදහසක් දක්වනවා නම් වඩාත් වැදගත් බවයි මා සිතන්නේ.
ඔබගේ පුතා විදියට රඟපාන ළමා නළු - නිළියන් පිළිබඳ ඔබට හැඟුණේ කුමක්ද?
සුජීව අයියා එහි රඟපාන ළමා නළු - නිළියන් සියලුදෙනාම තෝරාගෙන තිබුණේ ඔවුන්ට විශේෂ අවධානයක් යොමු කරමින්, ඔවුන්ව වැඩමුළුවට සහභාගිකර ගැනීමෙන්. කාලට රඟපෑව දරුවාත් ඒ පොළොන්නරුව ප්‍රදේශයේ ම ඉගෙන ගන්න, හැදුණු වැඩුණු දරුවෙක්. කාලගේ චරිත සඳහා දරුවන් දෙදෙනෙක් රංගනයෙන් සහභාගි වුණා. ඒ කාලගේ චරිතය දිවෙන්නේ කාල පරාස දෙකක නිසා. ඔවුන් දෙදෙනාම කාලගේ චරිතයට සාධාරණයක් ඉටුකරනවා කියන අදහස මට තිබෙනවා.
කඩවර දෙවියන්ගේ බිහිවීම පිළිබඳ විවිධ කතා දැක්වෙනවා. මෙහිදි චිත්රපයේදී ඒ ජනප්‍රවාද ද්විත්මය අධ්යක්ෂවරයා භාවිත කළ බවකුයි පෙනෙන්නේ?
ඉතිහාස කතාවක් ප්‍රතිනිර්මාණය කිරීමේදී ජනප්රවාදයේ පැමිණෙන ගොඩක් දේවල් හා බැඳී තිබෙන දේවල් හා පොතපතේ ලියැවුණු දේවල් ආශ්රයෙනුයි චිත්‍රපටය නිර්මාණය වන්නේ. ජනප්රවාදවලදි අපේ මිනිසුන් බොහෝ අවස්ථාවලදි අතීතයේ පැන නැඟෙන එවැනි කතා ආශ්රයෙන් බොහෝ දේවල්වලට දේවත්වය ආරෝපණය කරගෙන තිබෙනවා. ඒ විදියට මේ කතාවෙත් ඒ ජනප්රවාදයේ පැමිණෙන කතාව ගැනයි අධ්යක්ෂවරයා කතාබහ කරන්නේ. කාල කතාව අප හැමෝම දන්නවා. කඩවර දෙවියන් කියනවිටත් ඒ ගැන බොහෝදෙනා දන්නවා. එහෙත් මේ කතාව ඇතුළේ සැඟවුණු දේවල් රැසක් තිබෙන බවකුත්, චිත්‍රපටයට පැහැදිලිව කිසිවකුගේ අවධානය යොමුකරන විට පෙනීයන කාරණයක්. ඉතිහාස කතාවක් නිර්මාණයක් බවට පත්කිරීමේදී බොහොම ප්‍රවේසම් වීමට සිදුවෙනවා. මොකද මේ නිර්මාණ දරුවන් පවා නරඹන නිසා.
ඔබ මේ චිත්‍රපට රංගනයකට සහභාගි වන පළමු අවස්ථාවද?
මීට පෙර මා උදයකාන්ත අයියාගේ ‘මධුර චාරිකා’ චිත්‍රපටය ඇතුළු චිත්‍රපට රැසක ම රඟපෑවා. එහෙත් තිරගත වූ පළමු චිත්‍රපටය ‘කාල’යි.
ඔබ වේදිකාව, පුංචි තිරය, රිදී තිරය යන මාධ්‍ය ත්‍රිත්වයේම සැරිසරන ශිල්පිනියක්. මේ අතරින් සැරිසැරීමට ඔබ වඩාත් කැමැති ම මාධ්‍යයක් තිබෙනවාද?
රංගන ශිල්පිනියකට හා ශිල්පියකුට රංගනය ඉගෙන ගන්න, අත්දැකීම් ලබාගන්න හොඳම ස්ථානය වේදිකාව බවයි මට නම් හැඟෙන්නේ. යම් යම් කාරණා අත්හදා බැලීමට හොඳම ස්ථානය එතැන බවයි මා සිතන්නේ. වේදිකාව ඇතුළේ ලබාගන්න අත්දැකීම් පුංචි තිරයටත්, සිනමාටත් අරගෙන පැමිණිය හැකියි. ඒත් මේ මාධ්‍ය තුන තුනක්. තුන් විදියක්. ඒත් වේදිකාවෙන් ලබාගන්න බොහෝදේවල් අනෙක් මාධ්‍යවලදී අත්හදා බැලීමට හැකියාව තිබෙනවා. මට ගොඩක් චරිත නිරූපණය කිරීමට ලැබිලා තිබෙන්නේ පුංචි තිරයේ හා වේදිකාවේ. සිනමාවෙදිත් දැන් ලැබෙමින් පවතිනවා. ඒ නිසා මට වඩාත් අත්දැකීම් ලබාදුන් වේදිකාවට මා බොහොම කැමැතියි.
අද බොහෝ සාර්ථක ලෙස රංගන ශිල්පීන් ලෙස රැඳී සිටින රංගන ශිල්පිනියන් හා ශිල්පීන්ගේ මුල තිබෙන්නේ වේදිකාවෙයි?
පුංචි තිරය, වේදිකාව, රිදී තිරය කියන මේ මාධ්‍ය තුනම ආක්‍රමණය කරලා තිබෙන්නේ වේදිකාවෙන් උපත ලැබූ අයයි. මේ හැමෝම වේදිකාවෙන් ලැබුණු අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීමෙන් අනෙක් මාධ්‍යවලට භාවිත කරනවා. නොසෙල් වී ඉන්න හැකියාව තිබෙන්නේ මේ වේදිකාවෙන් උපත ලැබූ පිරිසටයි.
ඔබ මේ දවස්වල පුංචි තිරයේත් නිර්මාණ කිහිපයක ම දකින්නට ලැබෙනවා?
පුංචි තිරයේ ටෙලි නාට්‍ය තුන, හතරකම මගේ රංගනය රූපවාහිනි නරඹන්නන්ට දැක බලා ගත හැකියි. ‘කොන්කළ දෝණි’, ‘පැහැසරා’ ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක් මේ දවස්වල විකාශය වෙනවා. ‘මහරජ ගැමුණු’ ටෙලි නාට්‍යය පසුගිය දවස්වල අවසන් වුණා. ඊට අමතරව ටෙලි නාට්‍ය කිහිපයක් ඉදිරියේදිත් විකාශය වීමට නියමිතයි. දමයන්ති ෆොන්සේකා අලුත්ම ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. ඒ ‘කිරි අම්මා’ නමින්. එහි වැඩකටයුතු තවම අවසාන නැහැ. අරුණ ප්‍රේමරත්නගේ ‘අන්දරයාය’ටත්, සුසිරන් ද සිල්වාගේ නිර්මාණයකත් රූගත කිරීම් ආරම්භ කළා. මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ ‘මහා සුපින’ වේදිකා නාට්‍යය ඉදිරියේදි වේදිකා ගතවීමට නියමිතයි. ජයලත් මනෝරත්නගේ හා චාමික හත්ලහවත්තගේ වේදිකා නිර්මාණවලටත් දායකවීමට නියමිතයි.
ඔබගේ කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
මගේ මේ සියලුම කටයුතුවලට කීර්තිගෙන් සහ පුතාගෙන් ලැබෙන සහයෝගය අපමණයි. ඒ සහයෝගය නොතිබුණා නම් මේ තරම් නිර්මාණ රැසකට මගේ රංගන දායකත්වය ලබාදීමට මට නොහැකි වෙනවා. ඒ නිසා වේ වෙලාවේ ඔවුන් දෙදෙනාත් සිහිපත් කළ යුතුයි.
තිලානි ශානිකා විතානාච්චි