රංගන ශිල්පිනියක, ගායන ශිල්පිනියක සහ හඬ කැවීම් ශිල්පිනියක ද වෙමින් සිය දක්ෂතාවන් එළි දැක්වූ ඇය මෙරට ප්‍රේක්ෂක සිත් සතන් දිනූ ප්රවීණතම කලා ශිල්පිනියකි. වේදිකාවේ, සිනමාවේ සහ පුංචි තිරයේදී ඈ නිරූපිත චරිත එකිනෙකට වෙනස් වූ නිසාවෙන් චරිතයකට කොටු නො වූ ඇය ලැබුණු සෑම අවස්ථාවටම සාධාරණය ඉටු කළේ ප්‍රේක්ෂක මතකයෙහි නොමියෙන චරිතයක් වෙමිනි. ෆර්නි රෝෂිනී නම් වූ මේ සොදුරු ප්‍රවීණ කලා ශිල්පිනිය සමග පැවැත්වූ කථා බහක සංක්ෂිප්ත සටහන මතු ගෙන හැර දක්වමු.
දශක දෙකකට ආසන්න ඔබේ කලා දිවියේ ආරම්භයට යමින් මේ කථාබහට ප්‍රවේශ වුවහොත්....
මම අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. පාසල් වේදිකාවේදී රඟපෑමට මූලාරම්භය ලැබුවා. ඒ කාලයේදී ම ගුවන් විදුලියට එක් වූ මා හඳ මාමා, ළමා රංග පීඨය සහ සරස්වතී මණ්ඩපය වෙනුවෙන් සහභාගී වී මගේ කලා දක්ෂතාවන් මුදා හැරියා. උසස් පෙළට මුහුණ දීලා සරසවි වරම් ලැබුවත් මම විශ්වවිද්‍යාලයට ගියේ නැහැ.
ඔය කාලයේදී ඔබ ගුවන් විදුලියේ විභාගයකට මුහුණ දෙනවා...
ඔව්. 1994 පැවැත්වුණු විභාගයට මුහුණ දුන් මා ගුවන් විදුලියේ දෙවැනි ශ්‍රේණියේ වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස සේවයට එක් වෙනවා.
ඔබ අදත් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවිකාවක්...
මම මේ වන විට ගුවන් විදුලියේ ප්‍රකාශන අංශයේ සහකාර අධ්යක්ෂවරියක ලෙස සේවය සපයනවා.
හොඳයි. අපි කලාව දෙසට හැරෙමු. ඔබ පටන් ගන්නේ වේදිකාවෙන්....
ඔව්. රවින්ද්‍ර කෝදාගොඩ මහතාගේ අත හිත ලබා දීමෙන් මම මුලින්ම වේදිකාව සමග සම්බන්ධ වුණේ 'බාල්කයේ තීන්දුව' නම් වූ නාටකයට. නමුත් මේ නාට්‍යය වේදිකා ගත වුණේ නැහැ. ඊට පස්සේ ප්‍රසන්න අමරසේකර මහතා මා ප්‍රවීණ කලා ශිල්පී ධර්මසිරි බණ්ඩාරනායක මහතාට හඳුන්වා දුන්නා. ඒ 2000 වර්ෂයේදී. මම එතැන් සිට බණ්ඩාරනායක මහතාගේ 'ට්‍රොජන් කාන්තාවෝ' සමග රංගගත වෙනවා. මේ නාටකය තමයි මම ප්‍රසිද්ධ වේදිකාවේ සුවඳ ආඝ්‍රහණය කළ මුල්ම අවස්ථාව. ඊට පසුව ප්‍රියන්ත සෙනෙවිරත්නයන්ගේ 'මිනිසා', ජයලත් මනොරත්නගේ 'සුදු රෙදි හොරු', 'හඬ නිහඬ' ලූෂන් බුලත්සිංහලයන්ගේ 'තාරාවෝ ඉගිළෙති', දයානන්ද ගුණවර්ධනයන්ගේ 'නරි බෑණා', 'ගජමන් පුවත' කේ.බී.හේරත් සූරීන්ගේ 'කළු කුමාරි', රවින්ද්‍ර ආරියරත්නයන්ගේ 'බල්ලොත් එක්ක බෑ' 'චරිතෙ හොරු අරන්' සම්පත් තෙන්නකෝන්ගේ 'දෙසීය තුන්සීය' ඇතුලු වේදිකා නාට්‍ය 30කට ආසන්න සංඛ්‍යාවක රඟපෑ මා අපේ ප්රවීණතම රංගනවේදීන් රැසක් සමඟ රංග ගත වුණා. ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙතෙකැයි කියා කියන්න බැහැ.
ඔබ පුංචි තිරයට එන්නේ ඒ උණුසුම් රසික ප්‍රතිචාර තුරුලු කර ගනිමින්...
ඇත්තනේම ඔව්. 2003 දී මට අවස්ථාව ලැබුණා ප්‍රවීණ රංගනවේදිනී අනෝජා වීරසිංහ මහත්මියගේ 'අභින' රංග පාසල සමග එකතු වෙන්න. ඉන් පසුව අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ සිරස නාලිකාවේ විකාශය වූ 'බාඳුරා දේශය' වෙනුවෙන් මා මුල්වරට ටෙලි කැමරාවට මුහුණ දෙනවා. මේක තමයි මා රඟ පෑ ප්‍රථම ඒකාංගික නාට්‍ය නිර්මාණය. ඊට පසුව බට්ටී, චාතුර්යා, ස්වයංජාත, මුතුමලී, මුතු වර්ෂා, මුතු වැස්ස, මුතු පලස, සඳ දිය සිත්තම් ඇතුළු ටෙලි නාට්‍ය 25ක විතර රඟපෑවා.
පුංචි තිරයේ ඔබ නිරූපිත චරිත කිහිපයක් ප්‍රේක්ෂක මතකයෙහි තැන්පත්ව ඇතත් වේදිකාවේ කළ තාත්වික රංගනයන් අමතක කළ නොහැකියි නේ ද...?
ඔව්. ලූෂන් බුලත්සිංහල මහතාගේ 'තාරාවෝ ඉගිළෙති' නාට්‍යයේ මගේ චරිතය වූ 'ලොරීටා' සහ 'චරිතෙ හොරු අරන්' නාටකයේ නගරාධිපති බිරිඳගේ චරිතය හුඟක් ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳ ගත්තා. ඒ හැර පුංචි තිරයේදී නිරූපිත චරිත කිහිපයකුත් තියෙනවා.
සිනමාව වෙනුවෙන් මීට වැඩි යමක් කළ යුතුව තිබුණා නේ ද...?
ඔව් මම පිළිගන්නවා. ඒත් කාලය කියන්නේ සීමිත දෙයකටනේ. කරන වැඩවලින් කිහිපයක් හෝ සාර්ථකව කිරීම තමයි මගේ අරමුණ. එතනදී සිනමාව වෙනුවෙන් ලොකු කාලයක් මිඩංගු කරන්න ලැබුණේ නැහැ. දුවන මුවන, මං විතරයි සහ අනෝරා කියන චිත්‍රපට ත්‍රිත්වයට මම මේ වන විට රංගන දායකත්වය ලබා දී තිබෙනවා. මම සෑම තැනකදීම රඟපාන්නේ මගේ ආත්ම තෘප්තියට සහ මා තුළ ඇති නිර්මාණ දක්ෂතාව ජනතාව අතරට ගෙන යැම වෙනුවෙන්. රඟපෑම කවදාවත් මගේ රැකියාව කරගෙන නැහැ. නමුත් කලාකරුවෝ වුණු අප කියන දේ දේශපාලකයා කියන දේට වඩා ජනතාවට දැනෙනවා. අහනවා.
හඬකැවීම් ශිල්පිනියක ලෙස දැක්වූ දක්ෂතා ගැන කතා කළොත්...
රූපවාහිනි, ගුවන් විදුලි සහ සිනමා හඬකැවීම් ශිල්පිනියක ලෙස මම සුවිශාල දායකත්වයක් දක්වා තිබෙනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ 'යශෝධා' චිත්‍රපටයේ යශෝධා චරිතයට හඬකැවීම් සිදුකළෙත් මම.
කලාකරුවා දේශපාලකයාට වඩා ඉදිරියෙන් ඉන්න බවක් ඔබ කීවට අද බොහෝ කලාකරුවෝ ඉන්නේ දේශපාලකයා පිටුපසින් නේද...?
ඔව් මම ඒකත් පිළිගන්නවා. කලාකරුවාටත් දේශපාලනයක් තිබිය යුතුයි. නමුත් පුද්ගල චරිත පිම්බීම වෙනුවෙන් කොටු වෙන්න ඔවුන්ට අයිතියක් නැහැ. කලාකරුවා ස්වාධීනව කටයුතු කළ යුතුයි. අපේ රටේ කලාව වෙනුවෙන් කිසිම කෙනෙකු හරි මැදිහත් වීමක් කරලා නැහැ. කාටහරි සිතට එකඟව එහෙම කළා කියලා කියන්න බැහැ. කරපු දේ පේන්න තියෙන්න ඕනේ. එහෙම නැතිව කලාව වෙනුවෙන් අච්චර මෙච්චර මුදල් වෙන් කළා කීවට වැඩක් නැහැ. මම ප්‍රාර්ථනා කරනවා උදා වෙන 2018 දී වත් කලාව දෙසට හැරී බලන යහපත් වසරක් වේවා කියලා. දැන් කලාකරුවා වෙනුවෙන් විශ්‍රාම වැටුපක් දෙන්න යනවා කියලා යෝජනා ඇවිත් තිබෙනවා. හැබැයි මේවා කතන්දර සහ දේශනවලට සීමා නොවී බලාත්මක වුණොත් හොඳයි කියලා කියන්න පුළුවන් එක දෙයක් හරි ඉතිරි වෙයි.
කලාව කරන්න එන අයටත් නොයෙක් අකටයුතුකම් සිද්ධ වෙනවා කියලා හැමදාම මැසිවිලි නැඟෙනවා. මේ ගැන ඔබට යමක් පැවැසිය හැකි ද...?
එක එක අයට ඒ ඒ විදිහේ යෝජනා එනවා ඇති. නමුත් ඒවා ඒ ඒ අයගේ කැමැත්තට මිසක් අකමැත්තට සිදු වන ඒවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. කොහොම වුණත් මේ කියන දේවල් හරියටම වෙනවද කියලත් මම දන්නේ නැහැ. ඒත් මම එක දෙයක් දන්නවා. ඒ වැරැදි කරලා පැවැත්මක් නැහැ කියන එක.
ඔබ අවස්ථා කිහිපයකදි සම්මාන වෙනුවෙන් නිර්දේශ වූවත් ලබන්නට වාසනාවන්ත වුණේ නැහැ...
ඔව්. දක්ෂතාව තිබුණට වාසනාව නැති වුණාදෝ කියලත් හිතෙනවා. මම ආවේ සම්මාන බලාගෙන නෙවී. නමුත් සුදුසුකම් අනුව ලැබුණොත් ගන්නවා. ඔව්. හුඟක් අය මට සම්මාන, ජූරියේ සහතික හිමි විය යුතුව තිබුණු බව පැවසුවා. ඒ ගැන කථා කළා. නමුත් ඔබ කියූ වාසනාව මේ දක්වා මා කරා පැමිණ නැහැ.
උදා වූ නත්තල වෙනුවෙනුත් ගීත 3ක් එළි දැක් වූ ඔබ දක්ෂ ගායන ශිල්පිනියක්...?
ඒක ඇත්තක්. නමුත් මම ගායනය වෙනුවෙන් වැඩිපුර කාලය මිඩංගු කළේ නෑනේ. මම මෙවර නත්තල වෙනුවෙන් ගීත 3ක් එළි දැක්වූවා. ඊට අමතරව මා විසින් ගැයූ 'දුටුව සිහිනේ, අනන්තවත් සුපෙම් හැඟුම්, මම ඔබේ දයාබර ගෲෂා, මලක් වෙන්නම්, බක් මහේ සොබා දසුන්, සාක්‍ය සිංහ, අමතන්තර, දුක උහුලනු බෑ, ඇතුලු ගීත රැසක් එළි දැක්වූවා. ඉදිරියේදී මේ ගීත එකතුවේ සංයුක්ත තැටියක් මගේ රසිකයන්ට ලබා දීමට බලාපොරොත්තුවක් තිබෙනවා. මගේ ගීත නිතරම නැතත් ඉඳ හිට ගුවන් විදුලියේ විකාශය වෙනවා. මම ප්‍රසංග වේදිකාව වෙනුවෙන් ලැබෙන අවස්ථාවලදී මගේම ගීත ගායනා කරනවා. ගායනය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න නොහැකි වුණේ රැකියාවට සහ රඟපෑමට වැඩි තැනක් දිය යුතුව තිබුණු නිසා.
ඒ වුණාට ඔබ රඟපාන්න යනවට ගෙදරින් කැමැති වුණේ නෑනේ...
ඔව්නේ. ගෙදර අය කැමැති වුණේ මම සංගීතය පැත්තෙන් ඉදිරියට යනවට. පවුලේ එකම ගෑනු දරුවා මම නිසා ඒ අය බය වෙන්න ඇති. නමුත් දැන් නම් එහෙම අකැමැත්තක් නැහැ. කොහොමටත් මම රඟපෑමට ආවේ සැමියාගේ කැමැත්ත නිසාවෙන්. ඔහු මාධ්‍ය සහ කලාව ගැන දන්න නිසා මට ඒ අවස්ථාව ලැබුණා.
කොහොමද ඔය කියන මහත්තයා හම්බ වුණේ...
මගේ මහත්තයා ලංකා සුදර්ශන. අපි දෙන්නම ගුවන් විදුලි සමකාලීනයෝ. මුලින් අපි යාළුවෝ වගේ හිටියා. ඊට පස්සේ වසර 03 ක් විතර ආදරය කළා. ඊට පස්සේ විවාහ වුණා.
දැන් අපිට දූලා දෙදෙනයි. අශ්කා සඳුනි සහ සදීකා තරුෂි දෙන්නම දැන් උසස් පෙළ කරනවා. ඒ අය පුංචි කාලයේදීම තමයි මම වේදිකාවේ රඟපාන්න ගියේ. මගේ දූලා දෙන්නටත් ගීත ගයන්න පුළුවන්.
සුජීව තත්සර