ගිය අවුරුද්දේ අන්තිමට තමයි මම විවාහ වුණේ. විවාහ වුණාට පස්සේ මගේ ආදරණීය සැමියා තීක්ෂණගේ ව්‍යාපාර වැඩ කටයුතු නිසා මටත් එංගලන්තයට යන්න සිද්ධ වුණා.
කාන්තාවක් ජීවිතේට ලබන උතුම්ම පදවිය තමයි මව් පදවිය කියන්නේ. ඒ උතුම් මව් පදවිය ලබන්න මමත් දැන් සූදානමින් ඉන්නේ.
අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්ත වෙලාවේ ඔබට මොකද හිතුණේ?
ඇත්තටම පුදුම සතුටක් හිතට දැනුණේ. ඒ සතුට කියලා නිම කරන්න බැරි තරම්. මමත් සැමියාත් ඒ සතුට උපරිමයෙන් අත් වින්ඳා. කොටින්ම මේ ආරංචිය දැන ගත්තම එයා මාව වඩාගෙන කිව්වා. ඔන්න අම්මී....... මට අයිෂ් වගේම ලස්සන දුවෙක් ඕනේ.... කියලා.
එතකොට අයිෂ්ට ලැබෙන්න ඉන්නේ දුවෙක්ද?
තාම දුවෙක්ද පුතෙක්ද කියලා නම් දන්නේ නැහැ. ඊළඟ ස්කෑන් එකේදී තමයි ඒ ගැන ඩොක්ටර් කියන්නම් කිව්වේ. මට නම් දුවෙක් වුණත් පුතෙක් වුණත් කමක් නෑ . සැමියා නම් දුවෙක්ට තමයි ගොඩාක් කැමති. ඒත් කවුරු ලැබුණත් එයාව අපි දෙන්නම සතුටින් භාර ගන්නවා. මොකද ඒ අපි දෙන්නගේ දරු පැටියනේ.
ඔබේ සැමියා තීක්ෂණ මොන විදියටද මේ දවස්වල ඔබට රැකවරණය දෙන්නේ?
එයාගේ වැඩේම බබා අරක කරන්න එපා...... මේක කරන්න එපා....... මං කරන්නම් ඔයා විවේක ගන්න...... කිය කියා මාව ආරක්ෂා කරන එකයි. කොහොමත් මට මේ දවස්වල වැඩක් කරන්න බැහැ. ඒ නිසා එයා තමයි ඔක්කොම වැඩ කරන්නේ. ඉස්සර එයා උයන්න දන්නෙත් නැහැ. ඒත් එයා දැන් උයන්නත් ඉගෙන ගෙන. (හිනා) ඔන්ලයින් වීඩියෝ බලාගෙන එයාගේ අම්මට කතා කරලා අපේ අම්මට කතා කරලා එයා රසට කෑම උයනවා.
ඒ කියන්නේ අයිශ්ට මේ දවස්වල රසම රස කෑම ජාති එහෙමත් ලැබෙනවා?
ඔව්නේ. මේ දවස්වල කන එකමයි වැඩේ. මේ දැන් කතා කරන්නෙත් කන ගමන්. ඒත් මට මස් මාළු එහෙම නම් කන්න බැහැ. අප්පිරියයි. තීක්ෂණත් බබා මොනවාද ඕනේ කිය කිය අහලා කෑම ජාති නොසෑහෙන්න ගෙනත් දෙනවා. ළඟපාත යාළුවෝ ඉන්න නිසා එයාලත් එක එක කෑම ජාති ගෙනත් දෙනවා. කුස්සියෙයි, ෆ්‍රීජ් එකෙයි බඩු තියාගන්නත් ඉඩ නැහැ. ඒ තරමටම කෑම ජාති වලින් පිරිලා. මගේ අම්මයි එයාගේ අම්මයි වීඩියෝ කෝල් අරගෙන දුව මේවා කන්න ඕනේ... අරවා කන්න ඕනේ... කියලා කෑම ලිස්ට් එකක් පෙන්නනවා. මේ දවස්වල හැමෝම මාත් එක්ක කතා කරන්නේම කෑම ජාති ගැන තමයි.
ඔබ ආයෙමත් ලංකාවට එන්නේ නැද්ද?
ගොඩාක් ඉක්මනට අපි ලංකාවට එනවා. මට ලන්ඩන්වල ඉන්න කොටත් ගොඩාක් ආරාධනා ලැබුණා නිර්මාණවලට සම්බන්ධවෙන්න කියලා. ඒ නිසා ඉක්මනට ලංකාවට එනවා. මොකද මෙහේ හිටියම කලා කටයුතු ගොඩාක් මග හැරෙනවා.
සමන්මලී නැලිගම
ලක්බිම