කොම්රේඩ් කොහොමද කියල අහන්නද කැටිපේ කොහොමද අහන්නද ?
ඒ කොහොම ඇහුවත් මචං මම දෙන්නෙ එක ම උත්තරයක්. කල්පනාවෙන් ජීවත්වෙනවා. ජීවත්වෙන ගමන් කල්පනා කරනවා. හෙමින්.
මේ පොතේ නමේ තියෙනවා වාමවාදී ඌරුවක්.. මේකේ තියෙන්නේ කවි ද ? සටන් පාඨද ?
මාර ප්‍රශ්නයක් තමයි. මෙහෙමයි, මට හැඟෙන විදිහට මම ලිව්වෙ කවි. ඔව් හැබැයි ඒ අස්සෙ සටන් පාඨත් ඇතැම්විට වෙස්වළාගෙන හැංගිලා ඇති. අර ඔබ යොදාගත්ත `වාමවාදී` කියන විශේෂණය ගැනත් යමක් කියන්නම්. වම දකුණ දියවෙලා ගිහින් උතුර දකුණ විතරක් ඉතුරු වෙච්ච මොහොතක් මේක. මේ මොහොත තේරුම් ගන්න සහ ජය ගන්න අලුත් භාෂාවක් හොයාගන්න ඕන. මං ලියන්නෙ කවිද සටන් පාඨද කියල මමම කියනවට වඩා, මං ඒ අලුත් භාෂාව හොයන්න ට්‍රයි කරනවා කිව්වොත් සෑහෙන දුරට සාධාරණයි. යුක්ති සහගතයි.
දෙයක් අහන්නද ?
අහන්න.
කවි කිව්වට” මේවා පොඩි රිදෙන තැන්වලට වදින ගතියක් තියෙනවා.. ඔබ දැන් ඉන්නේ රිදෙන තැන්වල ද ? වදින තැන්වල ද ?
මම ඉන්නේ කිව්වම අර්ථ ගොඩයිනෙ. භෞතිකව මම ඉන්න තැන්, අධ්‍යාත්මිකව මම ඉන්න තැන් සහ දේශපාලනිකව මම ඉන්න තැන්. මේ කිව්ව තැන් වර්ග තුන ඇතැම් විටෙක සමපාත වෙනවා. තවත් මොහොතක වෙන් වෙනවා. ඔය ස්ථානීය දෝලනය අස්සෙ මම ලියනවා. ඒ ලියන හැමදෙයක්ම වගේ මා තුළ වැදුණු රිදුණු දේවල්. ඒ සමහර දේවල් ලිව්වට පස්සෙත් අලුත් වටයකින් මටම ඇවිත් වැදෙනවා. ඒ වැදුනම මටම රිදෙනවා. මා දන්නේ නැහැ අනෙක් අයට ඒවා වදිනවද රිදෙනවද කියල. බලමු.
මේ කවිවල හැඩය වෙනස්. කවියේ ආකෘතිය සම්බන්ධයෙන් ඔබ සිටින ස්ථාවරය කුමක්ද ?
මෙතරම් බරපතළ ප්‍රශ්න කවිය සමබන්ධයෙන් අහනකොට බයත් හිතෙනවා. මොකද මම ආධුනික කවියෙක් නිසා. කෙසේ වෙතත් එහෙම නිශ්චිත රාමුගත ආකෘතියක කවිය හිරවෙන්න ඕන කියල මම හිතන්නෙ නැහැ. කවියත් ජීවිතය වගේ නිදහසේ ගලා ගියාවේ. හැබැයි මගේ කවි දිහා ආපහු හැරිලා බැලුවම රවුම් වෙවී යන හතරපද එක්ක පොඩි පයිරු පාසානමක් තියෙනව කියල මටත් හිතෙනවා. ඔව්.
ජීවිත ගමනේ මොකක් හෝ තැනක ඇරියස් එකක් තියෙනවා නම් එතැන නිර්මාණයක් බිහි වන භූමියක් ලෙස දකින්න පුළුවවන්ද ?
පුළුවන්. එකපාරට ගත් කටටම පුළුවන් කිව්වට ඒක ටිකක් කොරවෙලා යන ප්‍රශ්නයක්. ඒ කියන්නේ, ඇරියස් නිසා නිර්මාණ කෙරෙනව නම් ඇරියස් රහිත සමාජයක නිර්මාණ නැද්ද වගේ තැනක හිරවෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපට අපේ ජීවිත එක්ක පොරබදන්න වෙලා තියෙන්නෙ සමාජයීය ඇරියස් කන්දරාවක් මැද්දෙ බව ඇත්ත යථාර්ථයනෙ. එහෙව් මොහොතක් නිර්මාණවලට සත්‍ය භූමියක් තමා. ඇත්තටම.
කැටිපේගේ කවි පට්ට කවි කියල කියන අපිට.. ඒක එහෙම නොවෙනවා කියල දැනෙන අයට මේ කවි රස විඳින විදිහ කුමක්ද ?
සමාවුව මැනවී. එවන් ක්‍රමවේදයක් නම් නොදනී. සොරි.
හරි මේක ඔබේ පළමු කවි පොත… වෙනසක් එක්ක ආයෙමත් කාව්‍ය සාහිත්‍යයට උදව්වක් වෙන්න හිතනවද ?
සිරාවට මං හිතන්නෙ මේ මගේ පළමු සහ අවසන් කවිපොත වෙයි. මේකත් මේ අසංක සායක්කාරගේ වදේට පටන් ගත්තේ. පස්සේ මටත් හිතුනා කවි යැයි මට හැඟෙන දේවල් ටික පොතකට සංග්‍රහ කරලා තියන්න. අවුරුදු හතරක් පහක් තිස්සෙ ලියවුනු දේවල්නේ. ඉතින් ඉස්සරහටත් මාව කම්පනය වෙන මොහොතක එහෙම දේවල් ලියවෙයි. ඒත් කවිපොතක් කෙරෙයිද නැද්ද දන්නෙ නැහැ. අන්ෂුවර්.
පොත ගන්න.. පොත එළිදක්වනව බලන්න.. තවත් දේ හි රස බලන්න තියෙන මේ වැඩේ ගැන කියන්න.. දැන් …
`හමුවෙන්න තවම හැකි කොම්රේඩ්` කවිපොත සමග මීට කළින් ලියන ලද `දූවිලි සේල` සහ `නවයෙ කතාව` පොත් දෙකේ දෙවැනි මුද්‍රණ අහස ප්‍රකාශන ලෙස 2018 ජූලි 24 සවස 3.30 ට කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වෙනවා. එදින, සිනමාවේදී අශෝක හඳගම සහ මාධ්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ අදහස් දක්වනවා. පුළුවන් කමක් තියෙනවනම් ඇවිත් යන්න කියල හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා.
හමුවෙන්න තවම හැකි කොම්රේඩ් …. මෙහි ඇත්තම අරුත කුමක්ද ?
හමුවෙන්න තවම හැකි කොම්රේඩ්.!
සාකච්ඡා කළේ – තුසිත පතිරණ
සබැඳි පුවත්