ජීවිතයේ අලුත් අඩියක් තිබ්බනේ. කොහොමද ජීවිතේ?
ඇත්තටම ලොකු වගකීමක් ජීවිතයට එකතු වුණා වගේ දැනෙනවා. මෙච්චර කල් අම්මයි, තාත්තයි මැද මම හිටියේ. හැමදේම මට කරලා දුන්නේ ඒ දෙන්නා. මම විවාහ වුණා කියලත් වෙනසක් වෙන එකක් නෑ. ඒ දෙන්නගේ රැකවරණයත් මට ලැබෙයි. බිරිය කියන භූමිකාව මට තාම නුහුරුයි. ඒ වගකීම ගැන වගකීමක්, බයක්, චකිතයක් තියෙනවා. ඒත් මගේ අම්මව මම දැකලා තියෙනවා. මගේ අම්මා කරපු දේවල් මගේ ඔළුවේ තියෙනවා. ඒ නිසා මටත් හොඳ බිරියක් වෙන්න පුළුවන් වෙයි.
තිසුරිගේ ජීවිතේ පූර්වාදර්ශය අම්මා වගේ?
අම්මයි, තාත්තයි දෙන්නම මගේ පූර්වාදර්ශයන්. මම මේ ගමන ඇවිල්ලා තියෙන්නේ එයාලගේ උදව්ව, අත්වැල, හයිය නිසා. විවාහ වෙන වයසක හිටියත් එයාලා මට නූල කැඩිච්ච සරුංගලය වගේ යන්න දුන්නේ නෑ. නිදහස දුන්නේ යම් සීමා දාලා. අද මට හැමෝම ආදරය කරන්නේ එයාලා මාව හදපු විදිය නිසා. අම්මයි තාත්තයි තමයි මගේ ජීවිතේ පළමු තැන වුණේ.
ඒ කියන්නේ විවාහ වුණාට අම්මා තාත්තා වෙනුවෙන් තිසුරිගේ ජීවිතේ තිබ්බ තැන වෙනස් කරගෙන නෑ වගේ?
නෑ. සමහර දරුවෝ වෙනස් වෙනවා තමයි. ඒත් මගේ ජීවිතේ එයාලට තියෙන තැන වෙනස් වෙන්නේ නෑ. ඒ තැනට තව කෙනෙක් එකතු වුණා. එච්චරයි.
කවුද මේ තිසුරිගේ ජීවිතයට එකතු වුණ කෙනා කියලා දැන් කියමු නේද?
එයා සුරාජ් විජේසිංහ. නාවික ක්ෂේත්රයේ තමයි එයා සේවය කරන්නේ.
තිසුරිගේ සහකාරයාව මුණ ගැහෙන්නේ පුංචි සන්ධියේදි නේද?
ඔව්. එයාව මම පොඩි කාලේ ඉඳන්ම හඳුනනවා. මගේ තාත්තයි සුරාජ්ගේ තාත්තයි යාළුවෝ. ඒ නිසා ඒ කාලේ ඉඳන්ම අපේ පවුල් දෙකේ අය හොඳ යාළුවෝ. සුරාජ් එක්ක වගේම එයාගේ මල්ලිලා දෙන්නා එක්ක මම සෙල්ලම් කරලත් තියෙනවා. වයසෙන් මුහුකුරා ගියත් අපේ යාළුකම් දිගටම තිබ්බා. කාලයත් එක්ක තමයි ඒ යාළුකම ආදරයකට හැරෙන්නේ.
ඒ කියන්නේ තිසුරි, සුරාජ් එකතු වෙන්නේ ආදර සම්බන්ධයක ප්‍රතිඵලයක් විදියට?
ඔව්. එයා මගෙන් කැමැතිද කියලා ඇහුවා. ඊට පස්සේ දෙපාර්ශ්වයේම මවුපියන්ගේ ආශීර්වාදය ඇතිව අපි තීරණයක් ගත්තා.
සුරාජ් ළඟම හිත නැවතුණේ යාළුකම නිසාමද?
මම එයාට කැමැති වෙන්න පළමුවැනි හේතුව තමයි මම එයාව හොඳට දන්න කෙනෙක් වීම. අපි යාළුවෝ විදියට මුල ඉඳන්ම ආශ්‍රය කළානේ. ඒ වගේම මම හෙව්වේ සාමාන්‍ය විදියට පොළොවේ පය ගහලා ජීවත් වෙන හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. මම නිළියක් කියලා හිතාගෙන මාත් එක්ක යාළු වෙන කෙනෙක්ට මම කැමැති වුණේ නෑ. මගේ අම්මටයි තාත්තටයි ඉන්න එකම දරුවා මම. ඉතින් එයාලට හොඳ පුතෙක් වෙන්න පුළුවන් කෙනෙක් මගේ සහකාරයා කරගන්නත් මට ඕන වුණා. ඒ හැමදේම එයා ගාව තිබ්බ නිසා එයා ගැන විශ්වාසයක් මට ගොඩනැඟුණා.
ඒ කියන්නේ තිසුරි ජීවිතයට තෝරාගෙන ඉන්නේ හරිම කෙනාව?
මම දන්නේ නැහැ මට හෙට වැරදෙයිද කියලා. මොකද අපිට හෙට දවස ගැන කියන්න බැහැනේ. ඒත් එහෙම වරදින්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා මම තෝරගත්ත කෙනා හරි කියලා.
පළමු ආදර කතාවද මේ තරම් දුර ගෙනාවේ?
ඔව්. මේ මගේ පළමුවැනි ආදරය. එයා එක්ක තමයි විවාහය දක්වා දුර ආවේ.
තිසුරිට සුරාජ්ගෙන් වගේම තව ඕන තරම් අයගෙන් ආදර යෝජනා එන්න ඇති නේද?
ඔව්. ඕන තරම් ආදර යෝජනා ඇවිත් තියෙනවා. හැබැයි ඒ අයගේ මොකක් හරි ඇදයක් දැක්කා. ඒ නිසා ඒ අයට මම කැමැති වුණේ නැහැ. සුරාජ්ගේ නම් එහෙම ඇදයක් දැක්කේ නෑ.
විවාහය කියන තීරණය ගත්තේ හරිම වයසෙදි කියලා හිතනවද?
අපේ ආච්චි මට බැන බැන හිටියේ අවුරුදු 20, 21 වෙනකොට බඳින්න කියලා. මම ඉතින් කිව්වා "නෑ. ඒ වයසේ බඳින්න ඕනේ නෑ" කියලා. මගේ වාසනාවට මගේ අම්මටයි තාත්තටයි ඕන වුණෙත් නැහැ මාව අවුරුදු 20න් හෝ 21න් බන්දන්න. ඉතින් දැන් මම හිතනවා හරිම වයසේ තමයි මම විවාහ වෙන්න තීරණය කළේ කියලා. මම හිතාගෙන හිටියා මම යාළු වුණොත් යාළු වෙන්නේ කසාද බඳින්නම තමයි කියලා.
මොකද මේ ගත්ත තීරණය වගකීමක් සහිතව ගන්න ඕන තීරණයක්. ජීවිතයට එක් වතාවක් ගන්න තීරණයක් නිසා මම හොඳට හිතලා බලලා මේ තීරණය ගත්තේ. ඒ නිසා හරි කාලෙට හරි විදියට හැමදේම සිද්ධ වුණා.
විවාහයෙන් පස්සේ අම්මගෙයි තාත්තාගෙයි කැදැල්ලෙන් ඈත් වෙන්න වුණා නේද?
ඔව්. දැන් මම ඉන්නේ සැමියගේ ගෙදර. අම්මගෙනුයි තාත්තගෙනුයි ඈත් වෙලා ඉන්න හරි අමාරුයි. මේක තමයි ඉතින් හැමෝගෙම ජීවිතවලට වෙන්නේ. කැදැල්ලෙන් ඈත් වුණාට අම්මගෙනුයි තාත්තාගෙනුයි මම ඈත් වෙන්නේ නැහැ.
එහෙම නොවෙන්න ඉඩකඩ සැමියාගෙන් ලැබෙයිද?
සුරාජ් මට වඩා හැමදේම හොඳින් තේරුම් ගන්න කෙනෙක්. මම පොඩි දෙයටත් කලබල වෙනවා. හැබැයි එයා එහෙම නෑ. අපේ පවුලේ බැඳීම් පවා එයා හොඳින් තේරුම් අරගෙන ඉන්නවා. එයා මගේ අම්මටයි තාත්තටයි හොඳ පුතෙක් වෙයි.
තිසුරිගේ අම්මයි තාත්තයි දුන්න ආදරේ සුරාජ්ගේ පවුලේ අයත් තිසුරිට දෙනවද?
එයාලට මාව ලේලියක් නෙමෙයි දුවක්. හැමදාම එයාලා මාව දුවෙක් වගේ දැක්කේ. මට කිසිම වෙනසක් නෑ. එදා වගේම තාමත් ආදරෙයි.
අම්මයි තාත්තයි මැද්දේ ඉඳගෙන හුරතලයට හැදුණු තිසුරිට විවාහ ජීවිතේ වගකීම් දරන්න පහසුද?
ඒක තමයි ටිකක් විතර අමාරු. මට අම්මයි තාත්තයිනේ හැමදේම කරලා දුන්නේ. හැබැයි මගේ අම්මා මට ගෙදර වැඩ කරන්න, උයන්න උගන්නලා තියෙනවා. ඒ හැමදේම කියා දුන්නත් එයාලා අස්සේ මම හුරතලයට හැදුණේ. මට සමාජය ගැන අවබෝධයක් තියෙනවා. බිරිය කියන තනතුරේ වගකීම් මට තාම නුහුරුයි. හැබැයි මට වගකීම් ගන්න බැරි නැහැ. පොඩි චකිතයක් තමයි තියෙන්නේ. මගේ අම්මයි තාත්තයි වගේ මගේ සැමියා, එයාගේ පවුලේ අය මට උදවු කරයි.
විවාහය ළඟ ළඟ එද්දිත් තිසුරි වැඩ අතහැරියේ නෑ නේද?
ඔව්. ඒකට නම් මම ගෙදරිනුත් බැනුම් ඇහුවා. මම කරලා තිබ්බ ඩ්‍රාමා තුනක් විකාශය වෙන්න ගත්තා. ඒ නිසා ඒවායේ ඉතිරි රූගත කිරීම්වලට දින දෙන්න වුණා. මිණිගංදෑල, කණාමැදිරියෝ, නේත්‍රා කියන නාට්‍යවල රූගත කිරීම්වලට එකතු වුණා. ඒ නිර්මාණවල පිරිසත් මට දින ඒ ඒ විදියට හදාගන්න සහයෝගය දුන්නා. කොහොම වුණත් එයාලගේ වැඩ අතපසු නොකර අන්තිම මොහොත වෙනකල්ම මම වැඩ කළා. මේක අපේ රැකියාවනේ. ඒ වගකීම අපි ඉෂ්ට කරන්නත් ඕනෙනේ.
තිසුරිගේ කලා කටයුතුවලට සුරාජ්ගෙන් බාධා නැද්ද?
එයා මාව පොඩි කාලේ ඉඳන් දන්නවනේ. මම රඟපානවා කියලා වගේම මම කොහොම කෙනෙක්ද කියලත් එයා දන්නවා. හොඳ නිර්මාණ කරන්න කියනවා. හැබැයි බොරුවට මැරීගෙන වැඩ කරන්න ඕනේ නෑ කියනවා. මම කරන නිර්මාණවල හොඳ නරකත් විවේචනය කරනවා. ඔය අතරේ ආදර සීන් කරද්දි පොඩ්ඩක් චුරු චුරු ගානවා.
විවාහයෙන් පස්සේ ආයෙත් වැඩ පටන් ගන්නේ කවද්ද?
අගෝස්තු මාසේ මැද වගේ වෙද්දි ආයෙත් වැඩ පටන් ගන්නවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම