ලස්සනට පිපුණු වන මල් ගීතය ගායනා කරමින් මීට දශක පහකට කලින් ගායන ක්ෂේත්රයට අවතීර්ණව නිහාල් නෙල්සන් අදටත් ප්‍රසංග වේදිකාවේ සක්‍රීයව ගායන කටයුතුවල නියැළී සිටින ප්‍රවීණ ගායන ශිල්පියෙක්.
කැසට් පට 100කට අධික සංඛ්‍යාවක් එළි දැක්වීම ගායකයකුට හෝ ගායිකාවකට පහසු කාර්යයක් නොවන නමුත් එම කඩඉමත් පසු කළ ගායන ශිල්පියෙක් විදිහට ඔහුගේ නම සනිටුහන් වී තිබෙනවා. මීට කලකට ඉහතදී නම් ගීත එකතුවක් එළි දැක්වීම තමන්ට පහසු කාර්යයක් වී තිබුණත් අද වන විට එවැන්නක් කිරීම නිෂ්ඵල කටයුත්තක් පමණක් වී ඇති බවයි කලකට පසු අප සමඟ එක්වෙමින් නිහාල් නෙල්සන් කියා සිටියේ.
කාලයක් කැසට් ලෝකයේ ජය කෙහෙළි නංවපු ඔබට මෑතකදී ගීත එකතුවක් එළි දක්වන්න බැරි වුණේ ඇයි?
මම තමයි ලංකාවේ වැඩිම කැසට් පට සංඛ්‍යාවක් එළි දක්වපු ගායකයා. මම කැසට් පට විතරක් 113ක් නිකුත් කරලා තියෙනවා. හැබැයි මටත් දැන් අවුරුදු හතරකින් මොනම විදිහකින්වත් ගීත එකතුවක් එළිදක්වන්න බැරි වුණා. මොකද අද ගී තැටි- කැසට් කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිලයි තියෙන්නේ. ලක්ෂ ගණන් වියදම් කරලා ගීත එකතුවක් එළි දක්වන එක අද බොරු වැඩක් බවට පත් වෙලා. අද තැටියක් නිකුත් කළොත් හෙට වෙද්දී ඒකෙන් හොර සීඩී ගහලා පේමන්ට් එකේ විකුණනවා.
මේ කියන ගැටලුව ගායක ගායිකාවන්ට විතරක් බලපාන එකක් නෙවෙයි නේද?
කොහෙත්ම නැහැ. කැසට් කර්මාන්තයේ කඩා වැටීමෙන් කැසට් නිෂ්පාදකවරු, ගායක ගායිකාවෝ විතරක් නෙවෙයි වාදකයෝ ඇතුළුව සංගීත ක්ෂේත්රයට සම්බන්ධ විශාල පිරිසකගේ ආදායම් අද අහිමි වෙලයි තියෙන්නේ. රජයෙන් කිසිම ආදායමක් නොලබා රජයට බදු ගෙවන කලාකරුවන්ට බලපාන මේ ගැටලුව දිහාවට බලධාරීන්ගේ අවධානය යොමු නොවීම නම් හරිම කනගාටුදායක තත්ත්වයක්.
මෙවැනි අර්බුදත් එක්ක ඔබත් දැන් ප්‍රසංග වේදිකාවට පමණක් සීමා වූ ගායකයෙක් බවට පත් වෙලා නේද?
එහෙම දෙයක් නෑ. හැබැයි මේ දවස්වල නම් ප්‍රසංග වේදිකාවේ ගී ගයන්න ලැබෙන ආරාධනා නිසා අලුතෙන් නිර්මාණ කටයුත්තක් කරන්න වෙලාවක් නැති තරමට මම කාර්ය බහුල වෙලයි ඉන්නේ. ඒ කාර්ය බහුල බවෙන් ටිකක් මිදුනාම නිදහසේ අලුත් ගීතයක් දෙකක් එළි දක්වන්න ඕනෑ කියලා තමයි මම හිතාගෙන ඉන්නේ.
ඔය කියන විදිහට ප්‍රසංග වේදිකාවේ ඔබට තිබෙන ඉල්ලුම අදටත් අඩු වෙලා නැහැ. මොකක්ද ඒ ඉල්ලුම පිටුපස තියෙන රහස?
මම සංගීත ක්ෂේත්රයට පය තැබුවේ 1963 අවුරුද්දේ එදා ඉඳන් අද දක්වා තවමත් වසර 55ක් තිස්සේ මම ප්‍රසංග වේදිකාවේ ගී ගයනවා. මගේ සංගීත ජීවිතයේ වැඩිම කාලයක් වෙන් වුණෙත් ප්‍රසංග වේදිකාවටම තමයි. එදා වගේම අදත් ලැබෙන ආරාධනාවලින් අඩුවක් නැති බව ඇත්ත. එහි රහස මොකක්ද කියලා නම් ගීත ලෝලීන්ම තමයි හරියටම දන්නේ.
ඔබ වේග රිද්ම නොවන ගීතත් ගායනා කළ ගායකයෙක් වුණත් අදටත් ඔබව බයිලා ගායකයෙක් විදිහට හඳුන්වන අයත් ඉන්නවා. ඔබ කැමතිද ඔබව ඒ විදිහට හඳුන්වනවාට?
ඔය මොන නමින් මාව හැඳින්වුවත් මට කමක් නැහැ. බයිලා කියන වචනය බයිලේ, කියන පෘතුගීසි වචනයෙන් තමයි අපේ භාෂාවට ඇවිත් තියෙන්නේ. එහි තේරුම නැටුම කියන එකයි. අපේ රටේ බයිලා කියලා හඳුන්වන්නේ වේග රිද්ම ගීත වලටනේ. එහෙම බැලුවොත් බයිලා නොගයපු ගායකයෙක් ලංකාවේ නැහැ.
කිෂාන් කනංකෙ
lakbima