මීට මාස ගාණකට උඩදී කුරුංගුරුං මාමාට මොකද එකපාරටම වුණේ..?
මීට මාස දහයකට උඩදී කුරුණෑගල පැත්තෙ රූපගත කිරීමක් තිබුණා. එකපාරටම මට කතා කරන්න බැරිව ගියා. වචන හිරවෙලා මට හොඳටම අමාරු වුණා. ඒ වෙලාවේදී ඒ කට්ටිය මගේ නෝනටත් දැනුම් දීලා මාව පෞද්ගලික රෝහලකට එක්කරගෙන ගිහින් ඉක්මන් ප්‍රතිකාර අරගෙන කොළඹට ගෙනාවා. එහෙම තමයි මේ ලෙඩේ පටන් ගත්තෙ.
ඊට කලින් කිසිම අමාරුවක් දැනුණේ නැද්ද...?
නැහැ. එහෙම කිසිම අමාරුවක් දැනුණේ නැහැ. එකපාරටම තමයි එහෙම වුණේ. දැන් මාස දහයක් විතර වෙනවා. තවමත් ඉතින් එහෙමම තමයි.
ඒ කියන්නෙ අඩුවක් එහෙම නැද්ද..?
යන්තමින් අඩුවක් තියෙනවා. ඒත්... තවමත් ප්‍රතිකාර ගන්නවා. මුලදී ඉංග්‍රීසි බෙහෙත් කළා. ඊටපස්සෙ සිංහල බෙහෙතුත් කළා. හැබැයි ඉතින් ඒ බෙහෙත්වලට ලොකු වියදමක් දරන්න වෙනවා. දැන් මම රඟපාන්නෙ නැහැ. රඟපාන්නත් බැහැ. ඒ නිසා කිසිම ආදායමක් නැහැ. අද හරි අසරණ තත්ත්වයකට තමයි මම පත්වෙලා ඉන්නෙ. මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ. මගේ නෝනාටත් රස්සාවක් නැහැ. ඉන්න ගෙයක් තිබුණට වතුර බිල්, ලයිට් බිල් ගෙවන්න ඕනෙ. අපි කන්න බොන්න ඕනෙ. මේ මාස දහය පුරාවටම කලාවෙන් එකතු කරගත්ත පුංචි මුදලින් ජීවත් වුණා. දැන් එහෙමත් නැහැ. බෙහෙත් කරන්න පයින් යන්න හරි අමාරුයි. වාහනයක යද්දී ඒකට මුදලක් වෙන්කරන්න සිද්ධවෙනවා. ඒ නිසා තමයි සමහර ප්‍රතිකාර ටික දවසක් කරලා නතර කරන්න සිද්ධ වුණේ. සමහරවිට ඒ ප්‍රතිකාර දිගටම කළා නම් මීට වඩා සුවයක් ලබාගන්න තිබුණා. ඒත් කෝ ඒවාට වියදම් කරන්න සල්ලි? මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ. ඒ නිසාම තමයි මම පුළුපුළුවන් අයගෙන් උදව් ලබාගන්න හිතුවේ.
හිතුව තරම් ඔබේ රසික රසිකාවියන් ඔබට පිහිටවෙනවද...?
අනේ ඔව්... ගෙදරට කෝල් කරලා බොහෝ දෙනා මගෙන් සුවදුක් අහනවා. සමහරු මගෙන් බැංකු ගිණුමේ විස්තර පවා අහනවා. මේ අතරේ සමහරු මට හොඳ වෙද මහත්තුරු ගැන විස්තර කියනවා. හැබැයි ඉතින් තවමත් ප්‍රතිකාර පටන්ගත්තෙ නැහැ. මට පුදුමාකාර විදිහට මිනිස්සු ආදරෙයි කියලා මට දැන් දැනෙනවා.
කොහොමද කෝපි කඩේ හිතවතුන්ගෙන් ලැබෙන සහයෝගය..?
කෝපි කඩේ කට්ටිය මට ඒ අයට කරන්න පුළුවන් උදව් කළා. හැමෝටම ඉතින් ප්‍රශ්නනෙ. පුළුවන් විදිහට ඒ අයත් හොයලා බැලුවා.
රංගන ශිල්පියෙක් වගේම ඔබ හොඳ චිත්‍ර ශිල්පියෙක්...?
ඔව්... මම චිත්‍ර ඇන්ඳා. මූර්ති නිර්මාණ කළා. නානාප්‍රකාර වැඩ රාජකාරි කළා. මට චිත්‍රයක් බලාගෙන ඒක ඒ විදිහටම අඳින්න හැකියාව තිබුණා. සමහරු ෆොටෝ එකක් දීලා ඒ අයගේ චිත්‍ර පවා ඇඳගෙන මට මුදල් දුන්නා. අද ඒ හැමදෙයක්ම හීනයක් වෙලා. අද ඒ කිසිම දෙයක් කරන්න මගේ අත වාරු නැහැ. මේ අතින් ලස්සන නිර්මාණ කොච්චර කළත් අද මට තියෙන්නෙ ඒ නිර්මාණවල මතකයන් විතරයි. මට හරියට වාරුවක් නැතිව මම කොහොමද චිත්‍ර අඳින්නෙ? ඇත්තටම අද මට මම ගැනම දුකයි. චිත්‍ර ඇන්ඳා විතරක් නෙමේ, මම වේශ නිරූපණය පවා කළා. දැන් ඉතින් ඒ ඔක්කොම නැවතිලා.
වෛද්‍යවරු මොකද කියන්නෙ..?
වෛද්යවරුනම් කියන්නෙ බෙහෙත් කරද්දී සුවවේවි කියලා. ඒත් ඉතින් බෙහෙත්වලට කියලා කොච්චර වියදමක් දරන්නද? ඉස්සරට වඩා දැන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. හැබැයි ටික වෙලාවකින් අමාරුවක් දැනෙනවා.
පවුලේ විස්තර ටිකක් කියමු...?
මමයි මගේ නෝනයි තමයි මේ ගෙදර ඉන්නෙ. මගේ අසනීප තත්ත්වය නිසා මගේ දුවත් අපේ ගෙදර මේ දවස්වල ඇවිත් ඉන්නවා. මට ඉන්නෙ දුවයි පුතයි විතරයි. පුතත් අසනීපවෙලා මේ දවස්වල ඉන්නෙ බදුල්ල රෝහලේ ප්‍රතිකාර ගනිමින්. පුතාටත් දැන් සනීප නැහැ. එයාව බලන්න යන්නවත් අපිට බැහැනෙ. මටයි මගේ නෝනටයි දැන් කිසිම ආදායමක් නැහැ. අද අපි ජීවත්වෙන්නෙ බොහොම අමාරුවෙන්. මට මගේ මේ අසනීප තත්ත්වය සුවකරගත්තොත් ආයෙත් රඟපාන්න යන්න පුළුවන්. අද හැමෝටම ප්‍රශ්න කියලා මම දන්නවා. පුළුවන්කමක් තියෙනවනම් මට පුළුවන් විදිහට උදව් කරන්න. මම කාටවත් කරදරයක් වෙන්න කැමති නැහැ. ඒත් මේ වෙලාවේ මට කරන්න වෙන දෙයකුත් නැහැ. මම අද ගොඩක් අසරණවෙලා.
ගිණුම් අංකය
208-2-001-8-0005874
බත්තරමුල්ල ශාඛාව
මහජන බැංකුව
කේ.ඒ. පියකරු
දේශය