ලාංකික ක්‍රිකට් ඉතිහාසයේ පුරාවෘත්තයක් හැටියට විරුදාවලි ලද දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ චරිතාපදානය රැගත් '800' චිත්‍රපටියේ පූර්ව ප්රචාරක පටය අද (06) මුම්බායිහි දී තවත් ක්‍රිකට් ඉන්දීය සහ ශ්‍රී ලාංකික පුරාවෘත්ත හැටියට නම් දැරූ සචින් තන්ඩුල්කාර් සහ සනත් ජයසූරිය අතින් එළිදැක්විණි.
මුරලිගේ බිරිඳ වන මදිමලර් ඇතුළු ඉන්දීය, ශ්‍රී ලංකා සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර මෙය දමිළ සිනමාවේ සුප්‍රකට අධ්යක්ෂවරයකු සහ තිර රචකයෙකු වන එම්.එස්. ශ්‍රීපතිගේ සිනමා නිර්මාණයකි.
'800' ප්‍රධාන චරිත සඳහා විජේ සේතුපති මීට පෙර තෝරාගෙන තිබුණත් තමිල්නාඩුවේ ඇතැම් පාර්ශවයන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම් මත ඔහු ඉන් ඉවත්වීමට තීරණය කළ අතර ඇමරිකාවේ ඔස්කා සම්මානයෙන් පිදුම් ලැබූ 'ස්ලම්ඩෝග් මිලියනර්' චිත්‍රපටයේ සලීම්ගේ චරිතය රඟ පෑ මධූර් මිට්ටාල් මුරලිගේ චරිතය රඟ දක්වයි.
ශ්‍රී ලංකාවේ 1970 පටන් දෙමළ ජනතාව ඉලක්ක වූ විවිධ අවස්ථාවලදී සිදු වූ සිද්ධි චිත්‍රපටියේ අන්තර්ගත වන අතර එවන් වටපිටාවක ක්‍රිකට් ක්‍රීඩාවට එළඹ අනතුරුව ජාතික කණ්ඩායම තෙක් වූ ආ මුරලිගේ ගමන් මඟ මෙන්ම ඔස්ට්‍රේලියාවේදී පන්දු දමා ගැසීමේ චෝදනාවට ලක්වීම, 1996 ලෝක කුසලානය දිනාගැනීමේ මතකය,2009 වසරේ ලාහෝර්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රභාරය සහ 800 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීම ඇතුළු මුරලිගේ දිවියේ සුවිශේෂී සිදුවීම් රැසක් ‘800’චිත්‍රපටය හරහා පෙන්වා දී තිබේ.