lan englan tam

විශේෂාංග

“සිහින රඟහල” (ධනංජය කරුණාරත්නගේ කෙටි නාට්‍ය එකතුව)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දශක තුනක් පුරා ප්‍රේක්ෂකයා අමතන ධනංජය කරුණාරත්නගේ කෙටි නාට්‍ය එකතුවක් වන “සිහින රඟහල” පසුගියදා එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත වූවා.

පහතින් දැක්වෙන්නේ මෙම නාට්‍ය එකතුව පිළිබඳව 'Blu Berry' ෆේස්බුක් පිටුව හරහා පළ කොට තිබූ අපූර්ව සටහනක්.

(උපුටා ගැනීම)

(Spoiler alert)

"මේකි කොටෙක් බැදන් ලෝකෙට විහිළුවක් වෙන්න ලෑස්තිවෙන්නේ පුතේ" කියලා මගේ යාළුවෙක්ගේ පෙම්පළහිල්ලවට විරුද්ධව එයාගේ අම්මා අවි අමෝරන් ආව විදිහ මට තාම මතකයි.  "උස කන්න ද බං, ඇයි මුන්ට තේරෙන් නැත්තේ" කියල යාළුවා ඇඬූ කඳුලෙන් ඇහුව හැටිත්, ඊට කාලෙකට පස්සේ උස-කොට ප්‍රශ්න විසඳගන්න බැරුව ඒ පෙම විරහවකින් නිමා වුණ හැටිත් මේ සටහන ලියන මගේ ඔළුවට එනව. ඉතා ආසන්න කාලයක මට වැඩ කරන්න ලැබෙනව 5'2ක් උස 'කොට' පිරිමි ළමයෙක් එක්ක. තමන්ගේ ගෑනු ළමයා 5'4ක් උස බවත්, ඒක 'අවුල් නිසා' සපත්තු ඇතුළේ රඳවන්න පුළුවන් ප්ලැට්ෆෝම් හීල් එකක් තමන් පාවිච්චි කරන බවත් මට කියන මේ ආදරවන්තයා, "අම්මෝ යටිපතුල රිදෙනවා මේ කෙහෙල්මල ඇදන් ඉදලා" කියමින් දිනපතා චෝදනා කරනවා. නමුත් නොකඩවා ඒක අදිනව.

 

sihina ragahala j

 

ඊයේ හවස්වරුවේ මට ධනංජය කරුණාරත්නගේ 'සිහින රඟහල' නරඹන්න අවස්ථාව ලැබෙනවා. කෙටි නාට්‍ය 5කින් සමන්විත සිහින රඟහල ඇතුළේ පළවෙනියට ම දිඟෑරෙන්නේ ජෝ සහ බගීගේ කතාව ඇතුළත් 'වැලන්ටයින් එනකන්' කියන කෙටි නාට්‍ය. ධනංජය මේ කතාව මුලින්ම වේදිකාගත කරන්නේ 2001 දි. මගේ මිතුරිය ආදරවන්තියක් වෙන්නේ 2012 දි. අඟල් දෙකක් උස යන්න හීන දකින කාර්‍යාල සඟයා මට මුණගැහෙන්නේ 2025 දී. කාල රේඛා 3ක්. නමුත් මේ ආදරවන්තයෝ හයදෙනා ම මුහුණ දෙන්නේ එක ම ඉරණමකට. ඒ තුන් කට්ටුවම උත්සහ කරන්නේ උස - කොට සමාජ දෘෂ්ථිවාදයට එරෙහිව සටන් කරන (හැංගෙන) ගමන්, ආදරේ නාමෙන් ලෝකෙට විහිළුවක් වෙනව ද? ලෝකෙට විහිළුවක් නොවෙනව ද? කියන අර්බුධකාරී ප්‍රශ්නෙට පිළිතුරක් හොයන්න.

............................................................................................

"ගාණක් කියපන් ගෑනියේ! මට එළිය වැටෙන්න කලින් ගෙදර යන්න ඕනේ" කියලා මොරදෙමින්, සිගරුට්ටුවක් උරමින් කලබලෙන් අඩි තියන රියදුරු වෘත්තිකයෙක් සහ ඔහුත් සමඟ රැය ගත කරපු ලිංගික ශ්‍රමිකයෙක්, ධනංජය තමන්ගේ ප්‍රේක්ෂකයට මුණගැහෙන්න සලස්වන්නේ 'චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක්' කියන කෙටි නාට්‍ය හරහා. පහන් කළ රැයෙන් පස්සේ එළඹුන හිමිදිරිය කොයිතරම් සුන්දරව දැනෙනව ද කියල බොහොම සංසුන්ව චන්ද්‍රාවතී විග්‍රාහ කරන අතරේ, තමන්ගේ ලිංගික සංතර්පණය වෙනුවෙන් ඇයව පාවිච්චි කරපු පිරිමියා දැඩි නොඉවසිල්ලෙන් පහුවෙනව ඉර පායන්න කලින් ඒ 'ගුබ්බෑයමෙන්' පිටවෙන්න. පිටවෙලා, ලෝකයා දකින්න කලින් තමන්ගේ බිරිඳ ගාවට දුවගෙන යන්න.

ලිංගිකත්වය ගනුදෙනුවක් වුණාට ආදරේ ගනුදෙනුවක් නොවෙන බව තමන්ගේ ප්‍රේක්ෂකාගාරයට මතක් කරන ධනංජය, ආදරේ වෙනුවෙන් මිලක් නියම කරන්න පෙරැත්ත කරන අවස්ථාවාදී පිරිමියා සම්බන්ධයෙන් අපුලකුත්, මුදල් වෙනුවට ආදරේ යදින ලිංගික ශ්‍රමිකයා පිළිබඳ ව සානුකම්පිත වේදනාවකුත් අවසාන වශයෙන් ප්‍රේක්ෂකාගාරයට ඉතුරු කරනව. චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක් කෙටි නාට්‍ය‍යේ අවසන් තත්පර කිහිපය මාව දරුණු විදිහට කම්පනයට පත් කරපු බවත් මෙතන දි කියන්න ඕන.

............................................................................................

මගේ හොඳ ම යාළුවගේ බාල සහෝදරයා වුණ අමිතට දැන් අවුරුදු 24යි. තමන් ඉදිරිපත් කරන සුදුසුකම් ලැයිස්තුව සම්පූර්ණ කරන්න පුළුවන් පරිපූර්ණ ගැහැනු ළමයෙක් හොයාගන්න එක තමයි යෞවනයෙක් වුණ අමිතගේ බලාපොරොත්තුව. දැන් නාකි මිලේනියල් කෙනෙක් නිසා ම මං බොහොම කැමතියි ජෙන් සී සහ ඇල්ෆා ළමයි ලෝකය දකින විදිහ ගැන ඉගෙනගන්න, දැනගන්න. එයාල වෙනස් ඇති කියන යහපත් බලාපොරොත්තුව මට ඒ අලුත් පරම්පරා ගැන තියනව. ඒ අදහසින් අමිත සහ මං අතරේ සිද්ධවුණ සුහද සාකච්ඡාවක දි මට දැනගන්න ලැබෙනව විවාහය සහ ගෑනු ළමයි සම්බන්ධයෙන් එයාගේ මතය. එතනදි මට අහන්න ලැබෙන්නේ මීට පරම්පරා 3කට එහායින් ඉපදුණ පිරිමියෙක්ගෙන් මං බලාපොරොත්තු වුණාකාරයේ බොහොම පටු අදහස් කිහිපයක්. අමිතගේ කතාවේ සාරාංශය වුණේ "ගෑනු ඉන්න ඕනේ ගෑනු විදිහට" බව. ඒ මොහොතේ දැනුන කලකිරීම එක්ක "ගෑනු ගෑනු විදිහට ඉන්නව කියන්නේ මොකක්ද?" කියන ප්‍රශ්නේ මං අමිතගෙන් නොඇහුවත්, දැන් දැන් විසිර පැතිර තියන 'ඇල්ෆා මේල්' ගෲප් දිහා බැලුවම මගේ ප්‍රශ්නෙට පිළිතුර ඉතා පැහැදිලි යි.

"ගෑනු, ගෑනු විදිහට ඉන්නව කියන්නේ පිරිමි කියන විදිහට ඉන්න එකට"

ධනංජය, 'ඔබ සාපේක්ෂයි' කියන කෙටි නාට්‍ය මුලින්ම වේදිකාවට අරගෙන එන්නේ 97දී. සංස්කෘතික පිරිමියෙක් වුණ කමල් සහ සංස්කෘතික ගැහැනියක් නොවුණ විශාකා අතර ඇතිවෙන ඝට්ටනය ගැන යි කතාව ගලාගෙන යන්නේ. තමන්ගේ පියා සහ මව අතර තියෙන unhealthy power dynamics උත්කර්ෂයට නංවමින්, toxic traditionalism ඉතා ඉහළින් වර්ණනා කරන ආදරවන්ත‍යා, විශාකා තුළින් බලාපොරොත්තු වෙන්නෙත් තමන්ගේ අම්මා වගේ ම විසාකාවක්. නමුත් විශාකා සූදානම් නැහැ සාම්ප්‍රදායික බිරිඳ චරිතය රඟදක්වන්න. ඔය කාරණාව නිසා දෙන්නා අතර ඇතිවෙන මතගැටුම දිහා බලාගෙන මහ හඬින් හිනාවෙන ගමන්, 97 දී ධනංජය දැකපු සමාජය ඊට අවුරුදු 28කට පස්සෙත් නොවෙනස්ව පවතින බව මතක්වෙලා දැනුන විශාල කණගාටුවක් එක්කයි මං 'ඔබ සාපේක්ෂයි' නරඹලා ඉවර කරන්නේ.

............................................................................................

අපි බහුතරේ ජීවත්වෙන්නේ ධනපති පන්තිය හඳුන්වල දීපු ලෝකයක් ඇතුළේ, එයාලගේ උවමනා එපාකම්වලට අනුව කියල මට හිතෙන්න ගත්තේ රස්සාවක් කරන්න පටන් ගත්තට පස්සේ. අපි අඳින්න පළදින්න ඕන විදිහ, යන එන වෙලාව, කන බොන වෙලාව ඇතුළු 'කම්පැනි පොලිසි' කියල නම් කරපු සියල්ල තීරණය කරන්නේ ඉහළ ස්ථරයේ ඉන්න පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින්. ඒ මදිවට හංවඩු ගහපු හරක් වගේ ආඩම්බරෙන් බෙල්ලේ එල්ල ගන්න Company ID එකකුත් දෙනව මදි පාඩුවට. ඒ සියලු 'වරප්‍රසාද' එක්ක වසරක් අවසානේ ඉහළ පිරිස එකතු කරගත්ත විශාල ලාභයෙන් සුළු ප්‍රතිශතයක් තමන්ගේ පහළ ස්ථරයේ ඉන්න සේවක පිරිසට බෝනස් විදිහට බෙදල දෙනව. අනේ එතකොට අපිට හිතෙනව, "මේක නම් මරු කම්පැනියක්" කියල; අහවල් කම්පැනියේ, අහවලා යටතේ, අහවල් තනතුර දරන බව බොහොම අභිමානයෙන් කියන්න කටවල් ඇරෙනව.

 

514343238 2223483714790966 7046735997710611996 n

 

සිහින රඟහල කෙටි නාට්‍ය ගොමුවේ, අධික තරබාරුව නිසා දුවන පොහොසතෙක් සහ තමන්ගේ දරු පවුල රැකීමේ අභිප්‍රායෙන් ඔහු පසු පසු යන නිර්ධන පන්තියේ කෙසඟ පුද්ගලයෙක්ගේ කතාබහ වටා ගෙතෙන "දුවන උන් දෙන්නෙක්" ඔස්සේ ඔය දේශපාලන කියවීම ම ධනංජය දිඟාරින්නේ බොහොම සෝපාහසාත්මක විදිහකට. තමන් හිනාවෙන්නේ තමන්ටම බව නොදැන කැකිරි පලන ප්‍රේක්ෂකාගාරයක් දිහා බලාගෙන, ධනංජය කට කොණින් හිනාවෙනව ඇති නේද කියල මට නිකමට හිතුනා දුවන උන් දෙන්නා දුවන එක නතර කරපු මොහොතේ.

…………………………………………………………….................................

ජීවිතේ පළවෙනි වතාවට නාට්‍යක් ආරම්භයේ දී චුයිංගම් එකක් ලැබුණා අතට. නමුත් නාට්‍ය අවසන් වුණේ කාපු චුයිංගම් එකේ සියලු රස වමාරන්න තිබුණ නම් කියල හිතුන මහ වරදකාරී හැඟීමක් එක්ක. අසත්පුරුෂ දේශපාලනයේ කුණු රස සහ අහිංසක මනුස්සයෙක් වේදනාවේ රස දත් අතර රදෝගෙන විකපු ප්‍රප්‍රේක්ෂකාගාරයට කට උත්තර නැතිවෙන අවසානයක් එක්ක ධනංජයගේ ‘ලාස්ට් බස් එකේ කතාව’ අවසාන වෙනව. හිනාවෙනව වෙනුවට ලැජ්ජාවක් මිශ්‍ර වුණ මහ වේදනාවකින් හදවත බරවුණ ප්‍රේක්ශකයෙක් විදිහට මං එල්ෆිනිස්ටන් රඟහලේ දොරටුවෙන් පිටවෙනව.

…………………………………………………….........................................

එකකට එකක් නොදෙවෙනි කෙටිකතා 5ක් අතරින් මගේ ප්‍රියතම නාට්ටිය විදිහට නිතරඟයෙන් තේරී පත්වෙන්නේ ‘ලාස්ට් බස් එකේ කතාව’. ඒකට එක ම හේතුව කතාවේ තිබුණ පුළුල් දේශපාලනික කියවීම නෙමෙයි. මුළු වේදිකාවම සියතට ගත්ත එක ම එක රංගන ශිල්පියෙක්, විවිද චරිත රඟදක්වමින්, සමස්ත ප්‍රේක්ෂකාගාරයත් සමඟම විනාඩි 20කට ආසන්න කාලයක් නොබිදුණ සම්බන්දතාවයක් පවත්වා ගන්නව. ඒ රංගනය අතිශය ප්‍රසංශනීය යි. ඒ වෙනුවෙන් සනත් විමලසිරි කියන අසහය රංගන ශිල්පියට මගේ ප්‍රණාමය! ඔහුගේ අතිවිශිෂ්ට රඟපෑම මගේ මතකෙට අරගෙන ආවේ Split චිත්‍රපටියේ James McAvoyගේ අසහය රංගනය. ඒ තරමට ම විශිෂ්ට යි!!! ඒ වගේ ම සෙසු චරිතත් ඉතා ම හොඳින් තමන්ගේ චරිත නිරූපණයන් සිදුකරපු බව කියන්න ඕනේ.

තේමා සහ රංගනයන් හැරුනම සිහින රඟහල තුළ මගේ අවධානය වැඩියෙන් ම දිනාගත්තේ සංගීතය සහ අලෝකකරණය. හැම නව නාට්‍යක් ආරම්භයේ දී ම ඇහෙන සංගීත ඛණ්ඩයේ නම දැනගන්න උත්සහ කරත් ඒ ගැන යමක් හොයාගන්න හැකිවුණේ නැහැ. නිර්වාණ සුවයක් දැනුන සංගීතයක් ඒක. ආලෝකකරණය විචිත්‍ර ම විදිහට මගේ ඇස් අල්ල ගත්තේ ‘ඔබ සාපේක්ෂයි’ නිර්මාණයේ දී. රෝස මලක් සහ ප්‍රධාන රංගනශිල්පිනිය ඇතුළත් රූප රාමුවකට මගේ ඇස් ඇදල ගිහින් ඇලවෙනව එක මොහොතක. චිත්‍රයක් දිහා බලාගෙන ඉද්දි දැනෙන සාමකාමී හැඟීම නොඅඩුව දැනුණ, පුදුමාකාර දක්ෂ ආලෝකය හැසිරීමක් එතන තිබුණේ.

සමස්තයක් වශයෙන් ගත්තම ‘සිහින රඟහල’ කියන්නේ වේදිකා නාට්‍ය රසිකයෙක් මඟනොහැර ගත යුතු මට්ටමේ ඉතා හොඳ නිර්මාණයක්; ඇඬිය යුතු මට්ටමේ දේශපාලනික සහ සමාජයීය කාරණා හිනාවෙමින් නරඹන්න ඉඩ සලස්වන සර්වකාලීන නාට්‍ය පොකුරක්. හිස් නැති හිස් ගැලරියක් පැය 2කට ආසන්න කාලයක් පුරාවට උපරිමෙන් පිනවන්න මහන්සි වුණ, කලාවෙන් හම්බ කරගෙන කන්න බැරි රටක, කලාවට හම්බ කරල දෙන රංගනශිල්පීන්/ශිල්පිනියන් හැමෝටම ස්තූතිවන්ත වෙන ගමන්, දර්ශන වාරයක් නැවත කොළඹ දි දකින්න ලැබුනොත්, මඟනොහැර නරඹන්න යන්න කියල ආරාධනා කරනව.

 

'සිහින රඟහල' ධනංජය කරුණාරත්න නාට්‍ය එකතුව පිළිබඳව වූ මෙම ලිපිය උපුටා ගැනීම 'Blu Berry' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

 ඡායාරූප උපුටා ගැනීම 'Sihina Rangahala සිහින රඟහල ' ෆේස්බුක් පිටුව ඇසුරිනි.

kemadasa

Back to top
Go to bottom