lan englan tam

විශේෂාංග

ඉන්දියානු නිදහස් අරගලයට පණ දුන් කිවිඳිය සරෝජිනී නායිදු

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Priyanjen Suresh De Silva-

යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගැනීම සඳහා වූ ඉන්දියානු අරගලයේ වැදගත් චරිතයක් වූ ඇය ඉන්දියානු දේශපාලන ක්‍රියාකාරිනියක මෙන්ම කිවිඳියක ලෙසද ප්‍රකටය. සිවිල් අයිතිවාසිකම්, කාන්තා විමුක්තිය සහ අධිරාජ්‍ය විරෝධී අරගලය වෙනුවෙන් පෙනී සිටි මෙම චරිතය ලොවම හඳුනන්නේ සරෝජිනී නායිදු ලෙසිනි.

මහත්මා ගාන්ධි අනුගාමිකාවක වු ඇය ඔහුගේ ස්වරාජ්‍ය සංකල්පයට සහය දැක්වූවාය. ශ්‍රේෂ්ඨ ඉන්දියානු කිවිඳියක ලෙස කීර්තියක් අත්පත්කරගත් සරෝජිනී නායිදු හැඳින්වූයේ 'ඉන්දියාවේ නයිටිංගේල්' නොහොත් භාරත් කෝකිලා යන නමින්ය.

හයිද්‍රාබාද්හි බෙංගාලි පවුලක උපත ලද සරෝජනී නායිදුගේ පියා හයිද්‍රාබාද්හි නිසාම් විද්‍යාලයේ විදුහල්පති වූ බෙංගාලි බ්‍රාහ්මණවංශිකයකු වූ අගෝරනාත් චට්ටෝපාධ්‍යාය විය.. ඇගේ මව බරඩා සුන්දරී දේවි චට්ටෝපාධ්‍යාය කිවිඳියක වූ අතර බෙංගාලි බසින් කාව්‍යකරණයේ නිතර වූ කාන්තාවකි.

සරෝජිනී අධ්‍යාපනය ලැබුවේ මදුරාසි යුනිවසිටි විද්‍යාලයෙනි. පසුව ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයෙන් හා කේම්බ්‍රිජ්හි ගර්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවාය. දරු වන් අට දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය වූ ඇයගේ එක් සොහොයුරකු විප්ලවවාදී අදහස් දරුවකු වූ අතර තවත් සොහොයුරෙකු කවියකු, නාට්‍යකරුවකු හා නළුවකු විය.

අධ්‍යාපනය අවසන් කළ සරෝජිනීට පයිදිපාති ගෝවින්දරාජුලු නායිදු නම් වෛද්‍යවරයා හමුවූයේ. 19 හැවිරිදි වියේදීය එවක අන්තර් කුල විවාහ සිදු නොවූ තරම් වුවද බ්‍රාහ්මණ වංශික ඇයට වෙනත් කුලයක පුද්ගලයකු විවාහ කර ගැනීමට මව්පියන්ගෙන් බාධාවක් නොවීය. එමෙන්ම සරෝජිනි බෙංගාල වැසියකු වූ අතර වෛද්‍යවරයා අන්ද්‍රා ප්‍රෙද්ශයේ වැසියකු විය. එහෙයින් එම විවාහය අන්තර් කුල මෙන්ම ඉන්දියාවේ නැගෙනහිර හා දකුණ යා කළ විවාහයක් විය. එම විවාහයෙන් ඔවුනට දරැවන් පස් දෙනකු ලැබිණි.

 

545606320 2530594760629467 3435974097180111558 n

 

එංගලන්තයේ සිටි සමයේ ඡන්ද බලය සැමට ලැබිය යුතු බවට හඬක් නැගූ සරෝජිනී 1905 බෙංගාලය දෙකඩ වීමෙන් පසු බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉන්දියාව නිදහස් කර ගැනීම සඳහා වූ ඉන්දීය ජාතික කොන්ග්‍රස් ව්‍යාපාරයට වෙත යොමු වූවාය. ඉන්දීය ජාතිකවාදී ව්‍යාපාරයේ සාමාජිකාවක ලෙසද, මහත්මා ගාන්ධිගේ අනුගාමිකයෙකු ලෙසද කටයුතු කළ ඇය ගෝපාල් ක්‍රිෂ්ණා ගෝඛලේ, රබීන්ද්‍රනාත් තාගෝර්, මහත්මා ගාන්ධි වැනි නායකයින් සමඟ එක්ව යටත් විජිත පාලන තන්ත්‍රයෙන් සහ සමාජ ප්‍රතිසංස්කරණවලින් නිදහස ලබා ගැනීම සඳහා ක්‍රියා කළාය.

1915 සිට 1918 දක්වා කාලය තුළ සරෝජිනී නායිදු ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් සමාජ සුභසාධනය, කාන්තා විමුක්තිය සහ ජාතිකවාදය පිළිබඳ දේශන පැවැත්වූවාය. 1917 දී ඉන්දියානු කාන්තා සංගමය පිහිටුවීමට ද මූලික වූවාය.

1917 දී ඇය ස්වරාජ්‍ය පාලන ලීගයේ සහ ඉන්දියානු කාන්තා සංගමයේ සභාපතිනිය වූ ඇනී බෙසන්ට් සමඟ එක්සත් රාජධානියේ ලන්ඩන්හි ඒකාබද්ධ තේරීම් කමිටුව ඉදිරියේ කාන්තාවන් සඳහා ඡන්ද අයිතිය ලබා දීමේ වැදගත්කම පෙන්වා දුන්නාය.

1919 දී නායිදු නැවතත් ලන්ඩනයට ගියේ සමස්ත ඉන්දීය ස්වරාජ්‍ය පාලන ලීගයේ නියෝජිතවරිය ලෙස බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස වෙනුවෙන් පෙනී සිටීම සඳහාය. 1920 දී යළි ඉන්දියාවට පැමිණි ඇය ගාන්ධිගේ සත්‍යග්‍රහ ව්‍යාපාරයට සම්බන්ධ වූවාය. නායිදු සිය දේශනයේදී නිදහස සඳහා වන සටනේදී, බිය යනු සමාව දිය නොහැකි ද්‍රෝහිකමක් සහ අපේක්ෂා භංගත්වයට පත්වීමකි. එය, සමාව දිය නොහැකි පාපයකි. යනුවෙනි.

1925 දී ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපති ධුරයට පත් වූ අතර 1929 දකුණු අප්‍රිකාවේ පැවති නැගෙනහිර අප්‍රිකානු සහ ඉන්දියානු කොන්ග්‍රස මහ සමුළුවේ සැසියේ මුලසුන දැරුවාය.

 

Sarojini Naidu i2සරෝජිනී නායිදු  සහ මහත්මා ගාන්ධි සිටින ඡායාරූපයක්. ( නැවත ප්‍රතිසංස්කරණය කළ ඡායාරූපයකි)

 

1930 ලුණු සඳහා බ්‍රිතාන්‍යයන් විසින් පනවන ලද අධික බදුවලට එරෙහිව මහත්මා ගාන්ධි විසින් සංවිධානය කළ ලුණු පා ගමනට ඇයද එක්වූවාය. එහි ප්‍රතිළුලය වූයේ සරොජිනී නායිදු, මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු සහ මදන් මොහාන් මලාවියා ඇතුළු කොන්ග්‍රස් නායකයින් අත්අඩංගුවට ගනු ලැබීමය. බ්‍රිතාන්‍ය විරෝධී ව්‍යාපාරවලට එක්ව සිටි ඇය බ්‍රිතාන්‍යයන් විසින් වරින් වර අත්අඩංගුවට ගැනුණු අතර මාස 21 කට අධික කාලයක් සිපිරි ගෙදර ගත කරන්නට ඇයට සිදු විය.

1947 දී ඉන්දියාවට නිදහස හිමි වූ අතර එවක බ්‍රිතාන්‍යයන් විසින් එක්සත් පළාත ලෙසින් හැඳින්වූ (වර්තමාන උත්තර් ප්‍රදේශ්) හි ආණ්ඩුකාරවරිය ලෙස පත් කෙරිණි.. ඩොමීනියන් ඉන්දියාවේ ආණ්ඩුකාර ධුරයක් දැරූ පළමු කාන්තාව වූයේ සරෝජිනී නායිදුය..

 

Sarojini bannerසරෝජිනී නායිදු මැදි වියේ ඡායාරූපයක්

 

සරෝජිනී කිවිඳියක ලෙස ලිවීම ආරම්භ කළේ වයස අවුරුදු 12 දීය ඇයගේ පළමු කෘතිය නාට්‍යයකි. මහේර් මුනිර් නම් එම කෘතිය රචනා වූයේ පර්සියානු බසිනි. ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය වන ගෝල්ඩන් ත්‍රෙෂෝල්ඩ් ප්‍රකාශයට පත් වූයේ 1905දීය 1912 දී නායිදුගේ "ඉන් ද බසාර්ස් ඔෆ් හයිද්‍රාබාද්" කාව්‍යය ප්‍රකාශයට පත් විය.

සරෝජිනී නායිදු විසින් වරින් වර රචිත කාව්‍ය රැසක් ද ෆෙදර් ඔෆ් ද ඩෝව්න් නමින් 1961 දී ඇගේ දියණිය පද්මජා නායිදු විසින් සංස්කරණය කර මරණින් පසු ප්‍රකාශයට පත් කළාය සරෝජිනී නායිදු ළමා කාව්‍ය මෙන්ම දේශප්‍රේමය, මානව ප්‍රේමය සහ මානව ඛේදවාචක අළලා කාව්‍ය රැසක් රචනා කළාය. &වීවර්ස්* නමින් ඇය විසින් රචිත කාව්‍ය ඇසුරින් මහගම සේකර අපූරැ ගීතයක් රචනා කළේය. සන්නාලියනේ සන්නාලියනේ කාටද ඇඳුම වියන්නේ නමින් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ හඬින් අප ඇසුවේ එම ගීතයයි.

1949 මාර්තු 2 දින සරෝජිනී නායිදු දිවියෙන් සමුගත්තාය. ඇගේ අළු ගෝමතී නදියේ පාකර හැරිණි. “ඉන්දියාවේ දේශපාලනඥයන්, අතිවිශිෂ්ට බුද්ධිමතියක, ධෛර්ය සම්පන්න සටන්කාමිනියක හා පුළුල් සංස්කෘතික අවබෝධයක් සහිත සරෝජිනී නායිදු මහත්මිය හා සමාන වූවා නම් ඉන්දියාව ස්වර්ගයක් වන්නට ඉඩ තිබිණි. යැයි බ්‍රිතාන්‍ය ලේඛකයකු සහ දාර්ශනිකයෙකු වන ඇල්ඩස් හක්ස්ලි ඇය සමරමින් ලියා තිබිණි.

 

 

488960261 9707605025948999 2159806480068721231 n 2

 

සටහන - ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

( මෙම සටහන "Priyanjen Suresh De Silva" මුහුණු පොත ඇසුරින් උපුටා ගන්නා ලදී)



kemadasa

Back to top
Go to bottom