lan englan tam

විශේෂාංග

'ගොරකා කෑලි' අතර 'චීස්' කෑල්ල සසංකාරා : It's complicated

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Lakmina Ranasinghe-

සමහර social media platform වල අපේ profile හදද්දි ඒ platform වලට අපේ Relationship status දාන්න පුළුවන්.

ඒකට අදාළ options කිහිපයක් ඒ platform වලින් අපිට දීලා තියනවා. ඒකෙක් කැමති එකක් අපිට තෝරගන්න පුළුවන්. මේ තියෙන්නෙ fb එකෙන් අපිට දීලා තියන ඒ options:-

  • Single
  • In a relationship
  • Engaged
  • Married
  • In a civil partnership
  • In a domestic partnership
  • In an open relationship
  • It's complicated
  • Separated
  • Divorced
  • Widowed

මෙතන තියන සුවිශේෂී option එකක් තමයි "It's complicated" කියන එක.

අපි ශිෂ්ටසම්පන්න සංස්කෘතික මිනිස්සු වෙච්ච දවසෙ ඉඳලම ඇඟ ඇතුළෙන් එළියට පනින ජීව විද්‍යාත්මක සතා සහ එළියෙන් ඇඟ ඇතුළට යන සංස්කෘතික සතා අතර ගැටුමක් තියනවා. මේ නිසාම සමහර මානව සම්බන්ධතා අතිශය complicated!! ඔය complicated බව වෙනස්ම විදිහකට පෙන්නන, ගොඩක් මහන්සි වෙලා කරපු, විශිෂ්ට රංගනයන් තියන සහ නිර්මාණාත්මක බවින් වැඩි ටෙලිඩ්‍රාමා එකක් තමයි ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරපු ‘සසංකාරා’.

 

 

ගමේ තියන සුමට, ලස්සන, පැණි රස, සරල බොරුව වෙනුවට; රළු, කැත, තිත්ත, කටුක ඇත්ත සසංකාරා ඇතුළෙ තියනවා. ගැමි සමාජයේ අවස්ථා වාදී බව, ලිංගික සූරාකෑම, වෛරය, ඊර්ෂ්‍යාව, දරිද්‍රතාව, අසරණකම, කේලම්, වංචනිකත්වය, පටු දේශපාලනය වගේ ඛේදවාචක රොත්තක් සසංකාරා කතාව ඇතුළෙ නාට්‍යමය රහක් දැනෙන විදිහට අපිට පෙන්නනවා.

ප්‍රේමය සහ ලිංගිකත්වය කියන විෂයෙදි ජීව විද්‍යාත්මක සහ සංස්කෘතික හේතු නිසා නිරායාසයෙන්ම වැද්දට කඩුව දෙන ගෑනු හිත් ගැනත්, කාමුක පිරිමින්ගේ අවස්ථාවාදී හිත් ගැනත් මේ ටෙලිඩ්‍රාමා එකේ නියමෙටම පෙන්නනවා. ඒ වගේම, ගැහැනු පිරිමි හිත්වල තියන අනියත බව, හැඟීම්වලට වහල්වීම, ප්‍රශ්න ඉදිරියේ වෙනස් වීම සහ විකල්ප සම්බන්ධතා ගැනත් කියනවා.

මීට අවුරුදු 40 කට විතර කලින් තිබ්බ ගැමි වහරට පොඩි නිර්මාණාත්මක ආලේපනයක් ගාලා තමයි මේ කතාවේ දෙබස් ලියලා තියෙන්නෙ. උපමා, රූපක, ශබ්ද රස, අර්ථ රස, ධ්වනි ගුණ සහ ව්‍යංගාර්ථ බහුල මේ ලස්සන දෙබස් කණෙන් අහලා මොළෙන් ඇනලයිස් කළොත් ඒ දෙබස් මොන තරම් රහයිද සහ විශිෂ්ටයිද කියලා තේරෙයි.

 

සමහර දර ඉපල් සැපට හැදිච්ච කෙහෙල් ගස් පැපොල් ගස්වලට වඩා හයියයි”

නියඟෙට පතොක් ගසුත් දලු දානවා. බෝ වෙන්න බඹරු ඕන වෙන්නෙ නෑ”

වැලට එතෙන්න දීලා මුල අයින් කරන ගස් මේ කැලේ ඕන තරම් තියනවා”

කාස්ටකේට කුරුවල් වෙච්ච ගමේ ඇස්ගෙඩි වැරැද්දකට පෙළඹෙන්න දෙතුන්පාරක් ළතවෙන එකක් නෑ”

ග්‍රේස් - “මේකෙන් කොච්චරක් සත්තු දඩයම් කරලා තියනවද?”

හේරත් - “කටින් පිටකරපු උණ්ඩයක වගකීම මැස්ස අගින් තුවක්කුව අත්අරිනවා”

ග්‍රේස් - “හාවියක්ට වෙඩි තියන්න දඩයක්කාරයට දුකක් හිතෙන්නෙ නැද්ද?”

හේරත් - “දඩයම බිම දාන එකයි දඩයක්කාරයගෙ ඉලක්කය. දඩයක්කාරයට දඩයමේ ජාතකය කොහෙත්ම අදාළ නෑ”

 

මේ කතාවේ චරිත, දෙබස් සහ සිද්ධිවල විවිධත්වයක් තියනවා. ඒත් ඒ කිසිම චරිතයක්, දෙබසක් හෝ සිද්ධියක් ඉබාගාතේ යන්නෙ නෑ. හැම දෙයක්ම පෙරාපු රත්තරන් වගේ ප්‍රධාන කතා සංකල්පය පෝෂණය කරන්න සෘජුව හෝ වක්‍රව දායක වෙනවා. අනවශ්‍ය කිසිම දෙයක් නෑ. මේ නිසා ගැමි කතාවක තියන සාම්ප්‍රදායික බෝරිං ගතිය සසංකාරා එකේ නෑ. අතරින් පතර සරාගික සිදුවීම් සහ දෙබස් සසංකාරා එකේ තියෙන නිසා, වටලප්පමක් කනකොට කජු කෑල්ලක් හැපෙනවා වගේ ෆීල් එකක් දැනෙනවා.

මේ කතාවේ තියන තවත් සුපිරිම පොයින්ට් එකක් තමයි හද්ද ඩොටේ, හද්ද ගොඩේ අමු ගැමියොත් එක්ක චීස් කෑල්ලක් වගේ ලස්සන සරාගී ප්‍රධාන චරිතයක් තාර්කිකව ප්ලේස් කරලා තියන එක. චීස් කෑලි අතර තියන තවත් චීස් කෑල්ලකට වඩා, “අමු ගොරකා කෑලි අතර චීස් කෑල්ලක්” තිබ්බම, ඒ චීස් කෑල්ලෙ තියන ලස්සන සහ වටිනාකම හොඳටම දැනෙනවා. මේක එක්තරා විදිහක නිර්මාණාත්මක සහ තාර්කික උපක්‍රමයක්. කොහොම හරි සසංකාරා කතාවට ප්‍රේක්ෂකයින්ව ඇදලා බැඳලා තියාගන්න මේ චීස් කෑල්ලට පුළුවන් වෙලා තියනවා.

මේ කියපු චීස් කෑල්ල හෙවත් ග්‍රේස් ගේ චරිතය රඟපාන්නෙ අප්සරා ගුණතිලක. ඇයගේ ස්වභාවික හැසිරීම්, හැඩහුරුකම් සහ උච්චාරණ රිද්මයට අනුව ග්‍රේස් කියන චරිතය ගොඩනැගිලා තියන නිසා අප්සරාට ලේසියෙන්ම ඒ චරිතෙට සෙට් වෙන්න පුළුවන්. මේ නිසා අති විශිෂ්ට දැවැන්තයින් එක්ක ඕනවටත් වඩා කරට කර රඟපාන්න අප්සරාට පුළුවන් වෙලා තියනවා. ඒත් සමහර තීරණාත්මක අවස්ථාවලදී මූණෙන් පෙන්නන හැඟීම්වල පරාසය පාලනයක් සහිතව තවත් වැඩිකරගන්න පුළුවන් නම් මරේ මරු. ඒත් නවක නිළියක් විදිහට අප්සරාගේ මේ රංගනය ඕනවටත් වඩා හොඳ වැඩියි.

මේකෙ ඉන්න ප්‍රවීණ නවක නළු නිළියෝ හැමෝම වෙනම ආරක සංකීර්ණ නුහුරු දෙබස් කියලා, සංකීර්ණ හැඟීම් පෙන්නන ගමන් සුපිරියටම රඟපානවා. ඒක ලේසි වැඩක් නෙමෙයි! උදේනි අල්විස්, දුලාංජ, රෙබෙකා, හංසමාලා, මනෝජා, උදයන්ති, තිලාන්, ප්‍රසන්නජිත්, සමරක්කොඩි, මහේන්ද්‍ර, සොලමන් සහ තවත් බොහෝ නළු නිළියන් මේ සංකීර්ණ වැඩේ නියමෙටම කරනවා.

මත්පැන් පානය සහ බයිට් කෑම, සරම ගැට ගැසීම, මත් වීම, කෙල්ලො දිහා බැලීම ඇතුළු හැම act එකකම තියන පුංචි පුංචි ඩීටේල් පවා නියමෙටම රඟපාලා පෙන්නන කෙනෙක් තමයි වසන්ත මොරගොඩ. ඔහු සතුව රංගනයේ බර අවි ලෝඩ් එකක්ම තියනවා. චීස් කෑල්ල අතේ තියන කඩුව වැද්දට දෙන්න නම් වැද්දගෙ පෞර්ෂයට චීස් කෑල්ල ආකර්ෂණය වෙන්නම ඕනෙ. ඒ නිසා හද්ද ගැමිකම සහ පෞර්ෂමත් බව ඉතා සමබරව පේන විදිහට වසන්ත රඟපානවා. අන්තිමේදි කඩුව හම්බවෙනවා. සමහර වෙලාවට වසන්ත මොරගොඩගේ බඩ පවා හේරත් කියන චරිතයට ගැළපෙන විදිහට රඟපානවා.

හැඟීම් ගබඩාවක් වගේ රඟපාන චම්පා ශ්‍රියානි තමන්ගේ රංගනයේ තියන මූඩ්ස් කන්ටිනිවිටි තියාගෙන කොටස් ගණනාවක් පුරා යන විදිහ නම් විශිෂ්ටයි. ඒ වගේම ගමක ඉන්න විවිධ කාන්තා චරිත ගොන්නක් සසංකාරා පුරා ලස්සනට play වෙනවා. සසංකාරා කියන්නෙ ගමක ඉන්න විවිධ වර්ගයේ කාන්තාවන් ගැන පරීක්ෂණාගාරයක්!!

 

සසංකාරා කතාවේ ස්ථර 3 ක රස තුනක් නියම පදමට මික්ස් වෙලා තියන නිසා මම මේ කතාව රහට විඳිනවා. මේ තියෙන්නෙ ඒ ස්ථර 3.

1 - මිනී මැරුමක් කරලා තමන්ගේ පෙම්වතියත් එක්ක ගමෙන් පැනලා ගිහිල්ලා වෙන ගමක ජීවත් වෙන යුවල.

2 - ජාතික, ප්‍රාදේශීය දේශපාලනය සහ සමාජීය පසුබිම.

3 - ගමක් තුළ සිදුවන අතුරු සිදුවීම්.

සසංකාරා එකේ සමහර දීර්ග සහ සංකීර්ණ සිදුවීම්, cuts වලට යන්නෙ නැතුව එකම කැමරා ෂොට් එකකින් අල්ලගෙන තියනවා. චරිත ගමන් කරද්දි cut වෙන්නෙ නැතුව ඒ චරිතත් එක්කම කැමරාව ගමන් කරලා අදාළ සිදුවීම අපිට පෙන්නනවා. මෙතෙන්දි ප්‍රේක්ෂකයාට දැනෙන්නෙ තමනුත් මේ සිද්ධිය මැද්දෙ ඉන්නවා වගේ. නිර්මාණාත්මකව සහ තාක්ෂණිකව ගත්තොත් මේක පට්ට අමාරු වැඩක්. මේ වැඩේදි නළු නිළියන්ගේ සහ කැමරා ශිල්පියාගේ ටයිමිං සහ ටැලන්ට් ඉතාමත් හොඳට තියෙන්න ඕනෙ. එක්කෙනෙක්ගෙ අතින් පුංචි වැරැද්දක් වුනත් මුළු ෂොට් එකම ආයිත් මුල ඉඳලා ගන්න වෙනවා.

අදාළ චරිත හිස හරවා බලන පැතිවලට කැමරාව හැරවීමේ උපක්‍රමයක් සසංකාරා කැමරා අධ්‍යක්ෂණයේ තියනවා. මේ වැඩෙන් ප්‍රේක්ෂක මනස අදාළ නිශ්චිත තැනකට මානසිකව ඉලක්ක වෙනවා. ඒ වගේම අමුතු තැන්වල කැමරාව ස්ථානගත කරලා ප්‍රේක්ෂකයාට දැනෙන රූප මවපු අවස්ථාත් සසංකාරා ඇතුලේ තියනවා.

සසංකාරා එකේ සිද්ධිවල තියන හැඟීම් තව තවත් අපේ මනසට උරාගන්න ලේසි කරන ගැමිකම ආශ්‍රිත සංගීතයකුත් සමන්ත පෙරේරා විසින් මේ රූපරාමුවල තවරලා තියනවා. රංග වස්ත්‍රාභරණත් බොහෝ තැන්වල අති විශිෂ්ට විදිහට තෝරලා බේරලා හදලා තිබුනත්, සමහර තැන්වල ප්‍රායෝගික ගැටළු මතුවෙන්න ඇති ඉතිං... මොකද ඉතිං සරාගී දර්ශනයි, කාන්තාවන් ඉන්න රාත්‍රී දර්ශනයි සැලකිය යුතු ප්‍රමාණයක් මේකෙ තියනවනෙ.

අන්තිමටම මට කියන්න තියෙන්නෙ ‘සසංකාරා’ කියන්නෙ පරණ ගොරකා කෑලි අතර තියන වෙනස් විදිහේ ‘චීස්’ කෑල්ලක් කියලා! එච්චරයි!!

 

217650699 4757575867605043 4807348825720843340 n 1

 

සටහන -  ලක්මිණ රණසිංහ

(මෙම සටහන 'Lakmina Ranasinghe' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom