lan englan tam

විශේෂාංග

“මිනිස්සු මන්දිර හෙල්ලුවට වැඩක් නැහැ හන්දියක් ගානෙ පොලිසිය ඉන්නව නම්” - ටිම්රාන් කීර්ති

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

(“අරුණ” පුවත්පත)

ටිම්රාන් කීර්ති ගේ ‘මදුරාවතී නම් තරු රටාව’ (විදර්ශන ප්‍රකාශන) කාව්‍ය සංග්‍රහය මෙවර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උලෙළේ සහ රජත පුස්තක සම්මාන උලෙළේ ප්‍රශස්තම කාව්‍ය සංග්‍රහය ලෙසින් සම්මානයට පාත්‍ර විය. මේ එම සම්මානීය කෘතිය පිළිබඳ ටිම්රාන් සමඟ කළ සංවාදයකි.

 

සංවාදකයා -  මදුරාවතී නම් තරු රටාව’ මෙරට ප්‍රධාන සාහිත්‍ය සම්මාන උලෙළ දෙකකදීම ප්‍රශස්තම කාව්‍ය සංග්‍රහය වුණා. ඔබේ කවිය නැවත සම්මානයෙන් පිදුම් ලබද්දි, එය දැනෙන්නේ මොන විදිහට ද?

ටිම්රාන් කීර්ති - කරපු වැඩකට වටිනාකමක් ලැබුණා වගේ හැඟීමක් සම්මාන ලැබුණම දැනෙනව. ඒත් සම්මාන කියන්නෙ ඔටුන්නක් නෙවෙයි. ගමනක අස්වැසිල්ලක්. මදුරාවතී අවුරුදු හතරක් පහක් වගේ කාලයක් හෙමින් ලියැවුණ කවි එකතුවක්.

 

වරක් පබ්ලෝ නෙරූඩා කියනවා ‘‘කවිය තුළ හැම මොහොතෙම දකින්න ඕනෑ මිනිසුන්ගේ අත්පා, ඇඟිලි සලකුණු’’ කියල. ඔබ ඔබේ කවිය ඇතුළේ දකින්න කැමැති මොනව ද?

ඔව්, නෙරූඩා මිනිසුන් ගැවසෙන මිනිස් කවියක් ගැනයි කිව්වෙ. කවිය සමාජ ප්‍රගමනය වෙනුවෙන් තීරණාත්මකව දායකත්වය සැපයූ සහ සපයන සාහිත්‍යාංගයක්. ලංකාව පැත්තෙන් ගත්තොත් චන්ද්‍ර කුමාර වික්‍රමරත්න එහෙම කවි මඟක පැහැදිලි සාක්ෂිකරුවෙක්. නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් වර්තමානෙදි මතක් වෙනව. මිනිස්සුන්ව දෙපයින් හිටවන දේශපාලන ගිගිරුමක් සහිත කවිය වගේම, ප්‍රඥාව දෙසට හැරුණ දාර්ශනික කවි මඟත් කිසිම විදියකින් අවතක්සේරු කරන්න බැහැ. ඒක වෙහෙසකර ව්‍යායාමයක්.

මගෙ කවිය ඇතුළෙ මම දකින්න කැමැති කවිය ලියන මොහොතෙ මා නොදුටු දේවල්.

 

ඔබේ කවියක මුල් පද පේළිය ලිවීමේ පටන් අවසානය දක්වා වූ ක්‍රියාවලිය කෙබඳු ද?

කවි ලිවීමේ කටයුත්ත එක කවියෙකුගෙන් තවත් කවියෙකුට වෙනස්. සමහර කවි තියෙනව අවසානයක් නැතුව කැලෑ වැහිල ගිය. සමහර කවි එකපාරම ලියැවෙනව. කවියෙකුගෙ සතුට තියෙන්නෙ කවියක් අරඹන හෝ අවසන් කරන මොහොතෙ නෙවෙයි. කවිය තුළ සිටින මොහොතෙ. කොහොම වුණත් කවියක් එක්ක ලොකු කාලයක් ගත කරද්දි තමයි යම් තරමකට හෝ සාර්ථක කවියක් මගේ අතින් ලියැවෙන්නෙ.

 

විදග්ධ සහ පොදුජන කියන බෙදුම් රේඛාවෙන් වෙන් වුණු කවි බිමේ ඔබ පා තියන්නේ කොයි පැත්තෙ ද?

ඔය දෙපැත්තෙම නෙවෙයි. විදග්ධයොත් පොදුජන කියන කාණ්ඩයෙන්මනෙ එන්නෙ. මා පෞද්ගලිකව විස්වාස කරන දෙයක් තමයි කවියෙකුට භාෂාව සම්බන්ධ තමන්ගෙම දැනුම් කලාපයක් තියෙන්න ඕනෙ. අනවශ්‍ය විදියට භාෂාව සිල්ලර කරන්නෙත් නැතුව, ඕනෑවට වඩා බර එල්ලන්නෙත් නැතුව කවියක් ලියන උත්සාහයක් මට තියෙන්නෙ .

 

එහෙම ‍ලියැවෙන කවියට ප්‍රමිතියක් තියෙන්න ඕනෑ ද?

ඕනම දේකට ප්‍රමිතියක් තියෙන්න ඕනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ කවිය වගේ සියුම් මාධ්‍යයක ප්‍රමිතිය තීරණය කිරීම කවියක් ලියනවටත් වඩා සංකීර්ණ එකක් වීම. කවියෙ ප්‍රමිතිය ගැන කතාකරන සමහර තැන්වල, තමන්ගෙ ආවරණ කලාපයෙන් බැහැර කවි සම්බන්ධව ඇතැම් අයගෙ සෝපහාසී ප්‍රකාශ දැක්කම පුදුම හිතෙනව.

 

‘‘කොතනද දැන් ගම්පෙරළියෙ යතුර - වික්‍රමසිංහට දෙනු බෑ මැදුර’’ ඔබේ කාව්‍ය සංග්‍රහයේ ‘පාඩම් හදන පාදම්’ කවියෙදි ඔබ එහෙම කිව්වත් තවමත් යතුර තියෙන්නෙ වික්‍රමසිංහ අතේ...

ඔව්,‍ යතුරු කියන ඒව අතෙන් ගිලිහෙනවට වඩා ඇඟිලිවල පැටලෙනව. මිනිස් අපේක්ෂාවෙ මුඳුන පහසු භූමි සිතියමක් නෙවෙයි. මිනිස්සු මන්දිර හෙල්ලුවට වැඩක් නෑ, හන්දියක් ගානෙ පොලිසිය ඉන්නව නම්.

 

ඔබේ සිතේ සිටින මිනිසුන් කවියත් සමඟ බද්ධකරගන්න ඔබ සමත්. ඔබ ඔවුන්ට ආමන්ත්‍රණය කරමින්, අවශ්‍ය තැනට ඔවුන් රැගෙන යනවා....

හුඟක් වෙලාවට මම මටම ලියාගන්නෙ. එහෙම ලිවීමකදි සමීප කවියකට ගෙවැදෙන්නෙ, ඔව්... ඔබ කිව්ව මිනිස් හෙවණැලි කවියට වැටෙන්නෙ එහෙම අවකාශයකදි.

ඒ වගේම ගැටලුකාරී වෙන තැනත් හැදෙන්නෙ ඔතැනදිමයි. මොකද මම මටම ලියා ගන්නව නම් ඒ කවි මා ළඟම තියාගන්න ඕනෙ. ඒත් ඒවා මිනිස් ආස්සරේට මුදා හරිනව නම් කවියෙ අත්‍යවශ්‍ය තාක්ෂණික කාරණා මඟ හරින්න බෑ. මොන දේ තිබුණත් කලාත්මක පාර්ශ්වය බැහැර කරල, කවිය ඇතුළෙ මැජික් පෙන්වන්න මගේ කැමැත්තක් නැහැ.

 

ඔබේ කවිය පූර්ණ වශයෙන් තේරුම් ගැනීමට සහෘදයා ඔබේ ජීවිතය දැන සිටිය යුතු ද?

මා හිතන්නෙ නෑ. කෙනෙක් එහෙම අහනව නම් ඒකට සාධාරණ හේතුවක් තියෙනව. කිසිවෙකුගෙ මුල්ම ලිවීම්වලදි බොහෝ වෙලාවට මතුවෙන්නෙ තමුන්ගෙම වටපිටාව. මුල් කාලයෙදි ඔය දේ මගෙත් අඩු නැතුවම තිබුණ. සමහරු කිව්ව මම ලියන්නෙ දුක ගැන කියල. ඒක නම් ඒ ඒ අය පහසුවට හදාගත්ත චෝදනාවක්. මගෙ අවසන් කවි පොත් තුන ගත්තත් මා කියන දේ පැහැදිලි ඇති.

ජීවන විලාසය දැන සිටීම හෝ නොදැන සිටීම කවියක් කියවන අයට ගැටලුවක් විය යුතුම නැහැ.

 

කවියක් ලියා අවසන්වූ පසුව ඔබේ මනසට දැනෙන්නේ කිනම් හැඟීමක් ද?

ඒක මහ සැහැල්ලුවක්. ඒත් කවියක් ලේසියෙන් අවසන් වෙන්නෙ නෑ. අවසාන මොහොතෙත් ආයෙ අලුතෙන් පටන්ගන්න පුලුවන්. කොහොම වුණත් කවියක් ලියා අවසන් කිරීම එක අතකට සැහැල්ලුවක්. ඒ වගේම බරක්.

 

කවියෙක් ලෙසින් ඔබ සමාජයට ආයෝජනය කළ දේවල් මොනවා ද?

කවියට මහා සම්ප්‍රදානයන් කරපු බොහෝ අය ඉන්නවා. අපි ලියපු දේවලින් රටට සමාජයට ලැබුණෙ මොනවද කියල අදහසක් මට නැහැ. හැම දෙයක්ම තීරණය කරන්නෙ කාලය. දශමයක හරි දෙයක් වුණා නම් මහ සතුටක් ඕනෙම කවියෙකුට. පවරාගත් සමාජ මෙහෙවරක් හිසින් අරන් නෙවෙයි මම ලිව්වෙ.

 

කවියෙක් ලෙසින් ජීවත්වීම කෙතරම් පහසුවක් ද?

ඒකෙ පහසුවක්වත් අපහසුවක්වත් නැහැ. කවියෙක් කියල කිසිම වෙලාවක මට කල්පනාවෙල නැහැ. එකම කවියක්වත් නොලියූ, කවිවලට වඩා සුන්දර මිනිස්සු ඕනෑ තරම් ඉන්නව. පොදුවේ මිනිස්සු හැමෝම විවිධ විෂයයන්වල නිරත වෙනව. ඒ හැමදේම වෙහෙසකරයි. හැමදේකටම අනන්‍ය රහක්, බරක් තියෙනව.

 

491047285 10231409774259509 6042815206602045648 n 1

 

සංවාදය - ලක්මාල් බෝගහවත්ත

(අරුණ - 'ධාරා' සාහිත අවකාශය)

2025 සැප්තැම්බර් 24 බදාදා

 

(මෙම සටහන මුල්වරට 'අරුණ' පුවත්පතේ පළවිය. සංවාදය උපුටා ගැනීම "Suranga Indika Lakmal Bogahawatta" ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

Back to top
Go to bottom