lan englan tam

විශේෂාංග

''ආයු'' ජීවිතය දෙස එබී බලන්නට කදිම කවුළුවක්...

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Malintha Vithanage-

'ආයු' චිත්තාකර්ෂණීය රූපාවලියකින් සමන්විත සිනමාපටයකි. මෙම චිත්තාකර්ෂණය භාව ප්‍රකම්පනයට හේතු වෙයි. 'ආයු' චිත්‍රපටයෙන් මතු කෙරෙන භාව ප්‍රකම්පනය ප්‍රබල ය. 'ආයු' ලස්සන චිත්‍රපටයක් යැයි ප්‍රේක්ෂකාගාරය ප්‍රතිචාර දක්වන්නේ මෙම හැඟීමි කැළඹීම හේතු කොට ගෙනය.

 

ayu 212939719 large

 

ආයු සිනමාපටයේ නිරික්ෂණය වන ප්‍රධාන ලක්ෂණයක් ලෙස මිනිසාගේ හෘද සාක්ෂිය, මිනිසා තමා සමඟ කරන අරගලය සහ පශ්චාත්තාපී මානසික ස්වභාවය විමසීම යන අංශ කැපී පෙනේ. ප්‍රේක්ෂකාගාරයට ජීවිතය පිළිබඳව ම නව අර්ථකථන සපයන්නකි.

ජීවිතය, ලෝකය සහ මනුෂ්‍යයා අතර පවතින අනවරත බැඳීම නිසා ම පැමිණෙන දුක්ඛ දෝමනස්සයන්ගෙන් සීමාවක් නැත. මරණය පමා කළ හැකිය. නමුත් නැවැත්විය නොහැකි ය. සිනමාපටයේ සමස්ථාර්ථය වනුයේ බුදුරදුන් දේශනා කළ ජීවිතයේ ඇති ශුන්‍යතාවය පිළිබඳ සංකල්පයයි. එනම් තමාට අල්ලා ගත හැකි හෝ එසේ අයිති කොට ගෙන රැක බලා ගත හැකි හෝ කිසිවක් නොමැති බවයි. සිනමාපටයේ අවසානය දැක්වනුයේ එසේ හිස් වූ බවකි. මිනිස් හැඟීම් මුල් කරගත් අධ්‍යාත්මික වීර කාව්‍යයක් වැන්න. සිනමාව යනු ජීවිතය දෙස සහ ලෝකය දෙස එබී බලන්නට කදිම කවුළුවකැයි පසක් වෙයි.

චත්‍රගේ 'ආයු' චිත්‍රපටය නරඹනවිට මා⁣ගේ මතකය ඇවිස්සු සිනමාකරුවකු සිටී. ඒ හොලිවුඩයේ සුප්‍රකට සිනමාකරුවකුවන 'ටෙරන්ස් මලික්' ය. ටෙරන්ස් මලික් අධ්‍යක්ෂණය කළ 'The Tree of Life' වැනි චිත්‍රපටයක ජීවිතය, මරණය සහ පශ්චාත්තාප වීම පිළිබඳ කාව්‍යාත්මක බවක් සහිත සිනමා කෘතියකි. ඒවා අහිංසක සිනමාකෘති නොවේ. එයාකාරයෙන්ම 'ආයු' හරහා සන්නිවේදනය කරන කතාන්තරය එතරම් අහිංසක එකක් නොවේ. එය ජීවිතය පිළිබඳ එක්ස් - රේ කිරීමකි. සියල්ලටම වඩා සංස්කෘතිය සහ ආගම පෙරටුකරගත් අවිචාරවත්බවින් වෙළාගත් පාදඩ ක්‍රමයක් යටතේ වැඩුණු ලංකාව නමැති කොදෙව්ව තුළ යථාර්ථය තුළ අප අත් දකින සහ දෛනිකව සිදුවන ඛෙිදවාචකයක් පිළිබඳ 'ආයු' සිනමා වියමන සාකච්ඡාවට ලක් කරති.

 

ayu 819084535 large

 

'නිශ්මි' තරුණ වෛද්‍යවරියකි. ඇය විවාහකය. නිශ්මිගේ විවාහ ජීවිතය ගෙවන්නේ එතරම් සතුටින් නොවේ. සැමියා වන රවී ඈ ළග රැඳෙන්නේ නැත. මන්ද ඔහුගේ වෘත්තිමය ජීවිතය නිසාය. ඇය තනිකමෙන් පෙළෙන්නීය. එක මොහොතකදී ඇගේ ජීවිතය සම්පුර්ණයෙන්ම පාහේ වෙනස්වන්නේ සචින් නම් ලුම්පන් ජීවිතයක ගෙවන බීචි බෝයි හමුවීමත් සමඟිනි. අහඹු හමුවීමිවල සිද්ධ වන අවසන් ප්‍රතිඵලය කිනම් අතට ගලාගෙනයාවිද? යන්න කිව හැක්කේ දෛවයටම පමණකි.

 

hp9uC7pUJ1YwZW0yqjBrtdcVX91

 

චිත්‍රපටය තුළින් ප්‍රකාශිතවන අදහස් ගොනු අතර ව්වාහය නමැති සංස්ථාව තුළ අතිශය කාර්යබහුලබව, ආදරයට ලැබෙන වටිනාකම තක්සේරු කිරීම යන කාරණා මිනිස් ජීවිතවලට අතිශය පොදු කාරණා වෙති. හමුවීමි සහ බැඳිමි අතර ඇති ගැටගැසුණු ස්වභාවය විසින් කෙටි කලකට හෝ ජීවිතයට ලැබෙන නව ප්‍රාණයත් ඔස්සේ අලුත් වෙිදනාවන්, අලුත් අත්දැකීම්වලට සුදානම් වෙන්නැයි කරන අණ කිරීම සබඳතාවන්හි ස්වභාවයයි. සබඳතා නියම්ද? අනියම්ද? ප්‍රේමයද? මිත්‍රත්වයද? නැතහොත් වෙනයමි දෙයක්ද? යැයි තනි ඉරකින් බෙදා වෙන්කළ නොහැකි බවත් චිත්‍රපටය විසින් ප්‍රකාශිතවන එක් අදහසක්.

කිසිවක් සදාකාලිකව පවතින්නේ නැත, කාලය ගෙවී යයි, දේවල් මැකී යයි, ඔබ ආදරය කරන, විශේෂ සැළකිල්ලක් දක්වන පුද්ගලයින්ට යම් දිනෙක විරාමයක් තැබිය යුතු ය. වෙන කවරදාටත් වඩා වැදගත් වන්නේ වර්තමානයේ ජීවත් වීමත්, අනාගතය පිළිබඳ බොරු සිහින මවාගෙන ජීවත් වීමෙි ඵල රහිත බව සහ ඔබේ ආදරණීයයන් ඔවුන් සමඟ පිටවන්නේ කවදාදැයි ඔබ නොදන්නා නිසා ඔවුන් සමඟ හැකිතාක් කාලය ගත කිරීමයි. ඔවුන් නැති වූ පසු, ඔබට බලාපොරොත්තු විය හැක්කේ යම් දිනෙක නැවත හමුවීමයි. සමහර විට ඔබ එසේ කරනු ඇත, නමුත් සමහර විට ඔබ ඒවා නැවත කිසි දිනෙක දකින්නේ නැත. එහෙත්, ඔවුන් නැති වූ විට පවා, ඔවුන්ගේ මතකයන් පවතිනු ඇති අතර, එම පුද්ගලයා සමඟ හැකිතාක් කාලය ගත කිරීම වටී.

සිනමාපටයේ සිනමානුරූපිබව (Cinematic) ඉහළ දමන සාධක ත්‍රිත්වයකි. ලියුම්කරු ''සිනමානුරූපිබව'' යන වචනය ආයු සිනමාපටය වෙත හුවා දක්වන්නේ සිනමාව සතු සෞන්දර්යාත්මකබව ගැබිව ඇති නිසාය. එනම් තිර පිටපත, කැමරාකරණය සහ සංස්කරණය යන අංශ ත්‍රිත්වයයි. චිත්‍රපටයේ සඳහන්වන කතාව අති සරල වූ සාමාන්‍ය කතාවකි. නමුත් මේ සාමාන්‍ය කතාව අසාමාන්‍යත්වයකින් සිනමානුරූපිව ප්‍රකාශ කරන්නේ කෙසේද? යන කාරණාව තුළ අධ්‍යක්ෂවරයාගේ කාර්යය මැනවින් ඉටුකර තිබේ. සිනමාපටයේ තිර පිටපත සිත්ගන්නාසුළු එකකි. නිවැරදි හේතුඵල සම්බන්ධයක් සහිත සහ මුල, මැද, අග සහිත කතන්දරයකින් ප්‍රේක්ෂකයට අපූර්ත්වයකින් සත්කාර කිරීම පහසු වැඩක් නොවේ. සිනමාපටය කුතුහලය රැඳෙන ආකාරයෙන් තිර පිටපත ලියා ඇති එක් උපක්‍රමයක් තිබේ. එහිදි යොදාගෙන තිබෙන ආඛ්‍යාන ශෛලිය (Narrative Style) වැදගත් ය.

රේඛීය නොවන නිර් රේඛිය ආකාරයෙන් කතාව ගලා යෑම සිදුවන්නේ. කතාව ගලායන්නේ මුල, මැද සහ අග යන තෙයාකාරය සහිත සාම්ප්‍රදායික කතා කීමේ (storytelling) ක්‍රමයට නොවේ. කුතුහලය වඩවන රේඛිය නොවන ආඛ්‍යාන (Nonlinear narrative) ස්වරූපයකිනි. සියළුම චරිත වෙත අනන්‍ය වූ කතාවක් තිබේ. ඔවුන් එකිනෙකා සිදුවීමි සහ අවස්ථානුකුලව සම්බන්ධ වෙයි. එය චරිතවල පරිචයෙන් පරිචයට විස්තර වෙයි. නිධාන කතාවත් සහ වර්තමාන කතාවත් අතර සිද්ධ වෙන ආඛ්‍යානයකි. 'කඩදාසි නැව' ප්‍රබල රූපකයකි.

 

ayu 913807973 large 1

 

කඩදාසි නැව සහ නිශ්මි හබල් ගාන ඔරුව විසින් ජීවින යාත්‍රාව පිළිබඳ අදහස තීව්‍ර කරයි. මේවා සුළු විස්තර නොව ජිවන පැවැත්මේ ප්‍රකාශනයන් ය. 'ආයු' චිත්‍රපටය ඉතා ප්‍රවේශමෙන් සහ අවධානයෙන් බැලිය යුතු සිනමාපටයක් වන්නේ මේ නිසා ය. පොරි කමින්, කඩල කමින්, විටෙක ජංගම දුරකථනය ඔබමින්, එහෙ මෙහෙ යමින් මෙවැනි ශානරයේ චිත්‍රපටයක් නරඹනවිට කාලානුක්‍රමික පිළිවෙල, කතාවේ සිදුවීමක් මඟ හැරෙන්නට පිළිවන.

චිත්‍රපටයේ ආඛ්‍යානය නිරූපණය සඳහා යොදාගෙන ඇති දෙබස්(dialogue ) ඔස්සේ ප්‍රකාශනය තීව්‍ර කරයි. නිදර්ශනයක් ලෙස එක් මොහොතකදි 'නිශ්මි' සහ 'සචින්' අතර ඇතිවන සංවාදය ප්‍රබල ය.

 

''සෙල්ලම් කරනවාද? සචින් අසයි.

''නැහැ. මේක මගේ බෝට්ටුව.....ඇයි හිනාවෙන්නේ?

''දැන් කොහේද ඕක තියෙන්නේ.''

''දන්නේ නැහැ. ඒත් මම දන්නවා මට මේකේ නැගලා යන්න ඕනෑ කියලා.''

''ඔයත් එනවාද?''

''මාව ගන්නේ හබල් ගාන්නද? මං ඕකට බර වැඩියි.''

බර වැඩියි නම් අපි මේකේ තියෙන ලට්ට පට්ට ටිකක් අරගෙන අපි මේක මුහුදට දාමු.''

''කවදාහරි දවසක අපි දෙන්නාට මැරෙන්න වෙන්නේ මුහුද මැද්දේ තමයි මිස්.''

 

 

නිශ්මි චරිතයට පණ පොවන නවක නිළි සැන්ඩ්‍රා මැක්ගේ රංගනය ද සචින් ලෙස නළු ජගත් මනුවර්ණගේ රංගනය ද ප්‍රේක්ෂකාගාරයේ වඩාත් අවධානය දිනාගන්නේ යථාර්ථවාදී රංගනයක ලක්ෂණ ප්‍රකට කරමින්. කාලිංග දේශ⁣ප්‍රියගේ කැමරා ඇස විසින් මවන රූප සමුදාය චරිත අභ්‍යන්තරයට පිවිසෙන්නට එල්ල කරන ආලෝක ධාරාවක් වැන්න. ඉන් තීව්‍රවන්නේ ඔහු රූප ව්‍යවහාරය තුළ දක්වා ඇති නිපුණත්වයයි. මඳක් චලනය වන රිද්මික රූප රාමු මඟින් ජීවිතවල ඇති චලනය පිළිබඳ පිළිබිඹුවකි. රූප මත අතුරා ඇති කොළ පැහැති වර්ණ ස්ථරමය සංයෝජනය විසින් දියසායම් සිත්තමක ඇති රූප රටා මවති. සමන් ඇල්විටිගලගේ සංස්කරණ හරඹය මෙහිදී කැපී පෙනෙන්නකි.

 

ayu 668578665 large

 

මිලින්ද තෙන්නකෝන් සංගීතවත් කරමින් තුසිත සිම්මන් සහ චතුරිකා නිර්මාණිගේ හඬින් ගැයෙන ''රැලි රැලි හැපි හැපී විසිරී...හිරිකඩ කොපුලතේ තැවරී..අපුරු ගීතය විසින් නිශ්මි සහ සචින් දෙපළට ප්‍රාණ වායුවක් සපයයි. අධ්‍යක්ෂ චත්‍රට අවශ්‍ය වී ඇත්තේ 'ආයු' තුළ කතාවක් කීමට වඩා ඔහුට අවශ්‍ය මෙම ජීවිතය සහ පැවැත්ම පිළිබඳ හැඟීම (emotion) ප්‍රේක්ෂකයා කෙරෙහි දැනවීමටයි. චිත්‍රපටය නරඹනවිට දැනෙන හැඟීම හරිම මුස්පේන්තුසහගත මූසල හැඟීමක් ගෙන දෙන්නේ. නිශ්මි, සචින් ගෙවන අවකාශය තුළ ඇති ගූඨබවත්, භීතිකාව සැඟව ඇති බව නිරතුරුවම චිත්‍රපටය තුළ දෘශ්‍යමය අවකාශය පුරා ව්සිරී පවතිනවා. එය යථාර්තය සහ මනුෂ්‍ය පැවැත්ම අතර යා කෙරුණු කොලාජ් චිත්‍රයක් මෙනි.

නිශ්මිගේ අත වීදුරුවට කැපුණු පසු රෙදි පටියකින් බඳින ඇගේ මව තම අතෙහි තැවරී ගිය ලේ දහරාවන් කරාමයට අල්ලා සේදීම දර්ශනය තුළ මරණය පිළිබඳ බිය සහ මනුෂ්‍යාගේ වෙනස්වනසුළු ව්‍යාජත්වය නිරූපණය කළ ප්‍රබල අවස්ථාවකි. 'ආයු' ආඛ්‍යානය ගොඩ නැඟීම තුළ රචකයා වෑයම වී තිබෙන්නේ යථාර්ථය නිරූපණය කිරීමටයි. යථාර්ථය නිරූපණය කිරීම යනු මිනිස් ජීවිතය යථාර්ථ ස්වරූපයෙන්, සත්‍ය ලෙස, අව්‍යාජය නිරූපණය කිරීමකි. තවදුරටත් අදහස් කරනවා නමි ජීවිතය ඇති සැටියෙන් නැත්නම් තාත්විකව නිරූපණය කිරීමට වඩා මිනිස් ජීවිතයේ යථා අර්ථය හෙවත් නියම අර්ථය නිරූපණය කිරීම. ජීවිත සටනේදි මිනිසා කියන්නේ විවිධ වෙස් අරගෙන රඟපාන නළුවෙක් වැන්න.

හොලිවුඩ්වලින් මෙයාකාරයේ ආඛ්‍යාන ක්‍රමයක් චිත්‍රපට වනුයේ සිනමාකරු ක්වින්ටීන් ටැරැන්ටිනෝගේ 'පල්ප් ෆික්ෂන්', ඇලහැන්ද්‍රෝ ඉනාරිතුගේ 'බබෙල්', නෝලන්ගේ 'ඉන්සෙප්ෂන්' වගේ චිත්‍රපටයන් කිහිපයකි. ලංකේය සිනමාවට නිර්මාණශීලි තිර පිටපත්වල අඩුව සහ සාර්ථක තිර රචනාවල අඩුව සෑහෙන ලෙස දැනෙනවා 'ආයු' වැනි චිත්‍රපටයක් නරඹා නිමා වෙද්දි. සංකීර්ණ ස්ථරයක් සහිත චිත්‍රපට නරඹන්නන්ට 'ආයු' කියන්නේ සෑහෙන ඉහළ සිනමා වින්දනයක් ලබා දිය හැකි චිත්‍රපටයක් සේම තනිකරම සිනමා වැඩබිමක් ⁣ආකාරයෙනුත් හඳුන්වන්නට හැකියි. මිනිස් සිතට අතිශය කා වදිනසුළු සංවෙිදී චිත්‍රපටයකි. භාවනාවකට සමවැදීමකි.

 

 

මෙම භාවනාවම ප්‍රේක්ෂකයා තුළ දරුණු ආතතියක් ජනිත කරයි. මේ වසරේ පැමිණි සිංහල චිත්‍රපටවලින් නැරඹු හොඳම චිත්‍රපටය ලෙස ශ්‍රේණිගත කළ හැකි විශිෂ්ට සිනමාකෘතියක් ලෙස 'ආයු' හැඳින්වීම සාධාරණය. 'ආයු' යළි යළිත් නරඹන වාරයක් පාසා ප්‍රේක්ෂකයා වෙත ඇති කරන්නේ සමාජය සහ මනුෂ්‍යයා දෙස සහකම්පන දහරාවකි. කම්පනය සහ සහකම්පනයේ පරිමාව කෙතරම්ද යත් චිත්‍රපටය නරඹා සිනමාශාලාවෙන් පිටපත පැමිණෙන ප්‍රේක්ෂකයාට දිගු කාලයක් චිත්‍රපටය සමඟ රැඳෙමින් නිරායාසයෙන්ම ජීවිතය පිළිබඳ ව්‍යාජත්වය සහ අනියතබව පිළිබඳ ස්මරණය කරන්නට බල කර සිටී.

 

476237625 2101514566935849 5297727973837240105 n

කර්තෘ - මලින්ත විතානගේ

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම විචාරය දිනමිණ පුවත්පතෙහි 2025 ඔක්තෝබර් මස 31වන (සිකුරාදා) දින මුල්වරට ප්‍රකාශයට පත් විය.)

 

 

(මෙම සටහන 'Malintha Vithanage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.)

kemadasa

shungara

Back to top
Go to bottom