-Subhashini Chathurika -
(මෙම ලිපිය මුල් වරට "අනිද්දා" ජාතික පුවත්පතේ පළවිය)
පැබ්ලෝ පිකාසෝ 1937 වසරේ දී, විසිවැනි සියවසේ දේශපාලනිකව වඩාත් බලපෑම් සහගත වූ සහ ලොව පුරා දැඩි පිළිගැනීමකට ලක් වූ කලා කෘතියක් වන ‘ගර්නිකා’ නිර්මාණය කළේය. එම නිර්මාණය තුළ බිහි වූ එක් කාන්තා රූපයක් වන ‘වැලපෙන ගැහැණිය’ එම නිර්මාණයෙන් පසුව, පිකාසෝ විසින් ස්වාධීන, ඇඟවුම්කාරක ආලේඛ්‍ය රූප මාලාවක් ලෙස වැඩි දියුණු කළේය.
පිකාසෝ ගේ සුප්‍රසිද්ධ බිතු සිතුවම ගර්නිකා. (එහි වම්පස කෙළවරේ දැක්වෙන්නේ වැලපෙන ගැහැණිය සිතුවම් මාලාවේ එක් ස්වරූපයකි.)
1939 වසරේ ජූලි මාසයේ, ඉන් වසරක අටකට කළින් ස්පාඤ්ඤ රාජාණ්ඩුව පෙරළා දමා පත් වූ රිපබ්ලිකන් ආණ්ඩුවට විරුද්ධව, ජෙනරාල් ෆ්‍රැන්කෝ විසින් කැරළි ගැසීම නිසා ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධය ඇරඹුණේය. 1937 වසරේදි, හිට්ලර් ගේ ජර්මානු ගුවන් හමුදාව, ෆ්‍රැන්කෝ වෙනුවෙන් ස්පාඤ්ඤයේ ගර්නිකා නුවරට බෝම්බ හෙලුවේය. එම වසරේදීම ස්පාඤ්ඤ රිපබ්ලිකන් ආණ්ඩුව පැරිසියේ ප්‍රදර්ශනයක් සඳහා බිතු සිතුවමක් නිර්මාණය කරන ලෙස පිකාසෝට ආරාධනා කළ විට, ගර්නිකා ප්‍රහාරයේ සැහැසි බව ඔහුට කැන්වසයක් මත ප්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍ය විය. පිකාසෝ ‘ගර්නිකා’ කලා කෘතිය තුළ සමූල ඝාතනයේ බිහිසුණුබව සහ ඉන් පැන නැඟුනු විඳවීම් සිතුවමට නඟා තිබුණේ, එම ප්‍රහාරයෙන් ගොදුරු බවට පත් වු බහුතරයක් දෙනා කාන්තාවන් සහ ළමුන් ලෙස හුවා දක්වමිනි.
වැලපෙන ගැහැණිය සිතුවම් මාලාවට අයත් එක් ආලේඛ්ය සිතුවමක්
එම බිතු සිතුවම බිහිකොට මාස කිහිපයක් ගත වූ තැන, බෝම්බ ප්‍රහාරයෙන් සසල වී සිටි පිකාසෝ, ‘ගර්නිකා’ කෘතියේ එක් රුවක් පදනම් කරගෙන ආලේඛ්‍ය රූප මාලාවක් නිර්මාණය කළේය.(එම රූපය - මියගිය දරුවෙක් වඩාගෙන වැලපෙන ගැහැණියක් - පසු කළෙක ‘ගර්නිකා’ කලා කෘතියෙන් ඉවත් කෙරිණි). ‘ගර්නිකා’ නිර්මාණය අවසන් කිරීමෙන් පසුව, පිකාසෝ දැඩි ඇල්මකින් සහ ආශක්තවීමකින් යුතුව හඬන ගැහැණුන් ගේ තෙල් සායම් ආලේඛ්‍ය රූ මාලාවක් නිර්මාණය කළ අතර ඒ්වා ‘වැලැපෙන ගැහැණිය’ (The Weeping Woman) ලෙස නම් කළේය. කලා විචාකරයන්ට අනුව, හඬා වැටෙන ගැහැණුන්ගේ ආලේඛ්‍ය රූ මාලාව, බෝම්බ ප්‍රහාරයෙන් විවිධාකාරයේ විඳවීම් අත්දුටු අයවලුන්ගේ විලාපයක්ම විය.
ඡායාරූප ශිල්පිනි සහ පිකාසෝ ගේ පෙම්වතිය ඩෝරා මාර්
‘වැලපෙන ගැහැණිය’ සිතුවම් මාලාවට දායක වූ නිරූපිකාව වූයේ 1935- 1943 අතර කාලයේ පිකාසෝ සමඟ ප්‍රේම සබඳකාවක් පැවැත්වූ, ඔහුගේ පෙම්වතිය සහ නිර්මාණාවේශය සපයන්නිය වූ ඩෝරා මාර් නම් ප්‍රංශ ජාතික තරුණ ඡායාරූප ශිල්පිනියයි. ඔවුන්ගේ සබඳතාව අපයෝජනයන්ගෙන්, පීඩාකාරීබවින් සහ වේදනාවෙන් පිරී පැවතුණ අතර එම සබඳතාවය තුළ ඔවුන් අතර පැවති පෞද්ගලික හැඟීම් පිකාසෝ සිය සිතුවම් තුළට ගෙන ආවේය.
වැලපෙන ගැහැණිය සිතුවම් මාලාවට අයත් එක් ආලේඛ්ය සිතුවමක්
තද පැහැති වර්ණ යොදා නිර්මාණය කළ ගැහැණු මුහුණේ සියුම් කෝණ, ඇයගේ දෑස්වල කැටිව ඇති සංවේගය, මුවේ හැඩය විසින් මතු කරන දුර්මුඛභාවය විසින්, පිකාසෝ ගේ ‘වැලපෙන ගැහැණිය’ ප්‍රේක්ෂකයා තුළ ක්ෂණික අපහසුතාවක් ඇති කරයි. ‘වැලපෙන ගැහැණිය’ ඇබ්ට්‍රැක්ට් කලා නිර්මාණයක් වුවද, යාථාර්තවාදී සිතුවම් නිර්මාණයක් තරම්ම තීව්ර සංවේගයක්, සංත්‍රාසයක් ජනිත කරවයි. මේවන විට ‘වැලපෙන ගැහැණිය’ සිතුවම් නිර්මාණ හතරක් ලන්ඩනය, මෙල්බර්න්, ලොස්ඇන්ජලීස් සහ පැරිසිය යන නගරවලට අයත් කාලාගාරවල මහජන ප්‍රදර්ශනයට තබා ඇත.
1997 වසරේ ජූලි 16 වැනි දා, ඩෝරා මාර් මිය යන විට දීත් කලා ලෝකය ඇය පිළිඳව දැන සිටියේ, ඇය පිකාසෝ ගේ පෙම්වතිය සහ ‘වැලපෙන ගැහැණිය’ ලෙස පමණි. ඇය පිළිබඳ පසුකලෙක ලියැවුණු මාධ්‍ය වාර්තා වලට අනුව, ඇයගේ මරණය පිළිබඳ ප්‍රංශ මාධ්‍යවල පවා වැඩිමනත් දෙයක් පළ වී ඇත්තේ ඇයගේ මරණින් දින දහයකට පමණ පසුවය. එහෙත් ඩෝරා මාර් යනු ඇයගේම සුවීශේෂි දක්ෂතාවලින් හෙබි කලාකාරිනියක්, එනම් දීප්තිමත් අනාගතයක මං සළකුණු පෙන්වූ සාංදෘශ්ටික ඡායාරූප ශිල්පිනියක්, කිවිඳියක් ලෙස ලෝකය හඳුනා ගත් පසු ඇය පිළිබඳ සාහිත්‍ය කෘති සහ චිත්‍රපට බොහෝමයක් පසු කලෙක බීහි වූයේය.
ඩෝරා මාර් ගේ ජිවිතය පදනම් කරගනිමින් ලුයිසා ට්රෙගර් නම් ලේඛිකාව විසින් සම්පාදිත The Paris Muse නම් කෘතිය.
ඓතිහාසික නවකතා නිර්මාණකරයේ යෙදෙන ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක් වන ලුයිසා ට්‍රෙගර් විසින්, පසුගිය වසරේ (2024) ප්‍රකාශයට පත් කරන ලද The Paris Muse නම් කෘතියට පාදක වන්නේ ද ඩෝරා මාර් නම් සුවිශේෂ කලාකාරිය මිය යන තෙක් ලෝකයට වසන් වී තිබුණු ඒ ‘වැලපෙන ගැහැණියගේ’ කතාවයි.
'The Paris Muse' කෘතිය සම්පාදනය කළ ඓතිහාසික නවකතා ප්රබන්ධ රචිකා ලුයිසා ට්රෙගර්
පහතින් දක්වා ඇත්තේ වෙබ් අඩවි කිහිපයක පළවුණු, කතුවරිය සමඟ සිදුකල සංවාද ඇසුරින් සකස් කළ සටහනකි.
- ඉතින් ඔබගේ අලුත්ම නවකතාව The Paris Muse. අපට එම කෘතිය පිළිබඳ යමක් පවසනවා නම්?
The Paris Muse කෘතියේ කියැවෙන්නේ සුප්‍රකට සිත්තරු පැබ්ලෝ පිකාසෝ ගේ ‘වැලපෙන ගැහැණිය (Weeping Woman) ලෙස ප්‍රසිද්ධියට පත්, ඔහුගේ නිර්මාණාවේශය සපයන්නිය සහ ඔහුගේ පෙම්වතිය වූ ඩෝරා මාර් පිළිබඳවයි. ඇය පුරෝගාමී ඡායාරූප ශිල්පිනියක්, සිත්තරියක්, කිවිඳියක් සහ දැඩි ලෙස කැප වුණු වාමංශික ක්‍රියාකාරිනියක්. ඇයව කඩා ඉහිරවූ ඇයගේ ප්‍රේම සබඳතාවය පිළිබඳව සේම ඩෝරා මාර්, තමන්ව සොයා යෑමේ සහ තමන්ව හෙළිදරව් කරගැනීමේ චාරිකාව පිළිබඳව මෙම කෘතියෙන් විමසා බලනවා. එය සිත් බිඳීම, නැවත යාථා තත්වයට පත්වීම සහ අත්‍යන්ත වශයෙන් කලාවේ නොනැසීම සහ විමුක්තිය පිළිබඳ කතාන්දරයයි.
බොහොමයක් සාහිත්‍ය රසිකයන්, ඓතිහාසික ප්‍රබන්ධ සාහිත්‍යය, සාහිත්‍ය ශානරයක් ලෙස ඉතා ප්‍රිය කරනවා. එය විවිධ කාල පරිච්ඡේද සහ විවිධ මිනිසුන් ගැන දැනගන්න ඉතා හොඳ ක්‍රමයක්. ඇයි ඔබ එවැනි ප්‍රබන්ධ නිර්මාණකරණයක් වෙත ඇදී යන්නේ?
ඒකට හේතුව මගේ විෂය පථය විසින් මා තෝරා ගනු ලබන නිසා. ඒවගේම මම නිතරම ඇදී යන්නේ ප්‍රධාන දහරාවෙන් බැහැර වුණු පුරෝගාමී, ශක්තිමත් කාන්තාවන් පිළිබඳ ලියන්න. ලෝකයට ගැලපෙන විදියට ජීවත්වෙන්න උත්සාහ කළ, ඒත් විශ්මයජනක දේ අත්පත් කරගත් කාන්තාවන් ගැන ලියන්න. ඉතිහාසය තුළ පිටමං කළ එවැනි කාන්තාවන් බොහෝමයක් සිටිනවා, මගේ ලාලසාව සහ මගේ උවමනාව තමයි, හැකි තරම් එවැනි කතාන්තර සොයා යමින් ඒවා හෙළිදරව් කිරීම.
මම වඩාත් පුදුමයට පත්වන කාරණය නම්, ශතවර්ෂ ගණනාවක් පුරා කාන්තාවන් පිළිබඳ සමහර දේවල් විවිධාකාරයෙන් වෙනස් වෙලා තිබුණත්, ඔවුන්ගේ සමහර තත්වයන් තවමත් වෙනස් නොවී පැවතීම. තවමත් ස්ත්‍රී පුරුෂ ලිංග භේදය අනුව පඩි පතේ ඇති වෙනස්කම්, ගෘහස්ථ සහ ලිංගික හිංසනය වගේම ප්‍රධානින් බවට පත්වන ශක්තිමත් කාන්තාවන්ව, ඒ ලෙස පිළි නොගැනීම වැනි කාරණා වලට විරුද්ධව තවමත් අපට සටන් කරන්න සිදු වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මම ඓතිහාසික ප්‍රබන්ධ ලියන්නේ, ඉතිහාසය කියන්නේ අතීතයේ සිදුවුනු සිදුවීම් මාලාවක් පමණක් නොවෙයි, එය අප ජීවිතය ලෙස නැවත ගත කරන, අප නැවත ජීවත්කරවන කතාන්දරයයි.
ඩෝරා මාර්ගේ කතාන්දරය වෙත ඔබ ඇද බැඳ තබා ගත්තේ කුමක් විසින් ද?
මා වසඟ වූයේ ඇයගේ කළු සුදු ඡායාරූප වලට. ඇය සිත් සසල කරන සුළු අද්භූත වටපිටාවක් භාවිතා කොට සාමාන්‍ය ජීවිතය ප්‍රතිනිර්මාණය කරනවා, එය සිත් වශීකරවන සුළුයි. මම ඇය පිළිබඳව තව දුරටත් සොයා යද්දී තමයි දැන ගත්තේ ඇය කිවිඳියක්, ඒවගේම වාමාශිංක ක්‍රියාකාරිනියක්. බොහෝමයක් දෙනා, ඇයගේ නම දන්නේ, පිකාසෝ ගේ වැලපෙන ගැහැණිය(Weeping Woman), ඔහුගේ පෙම්වතිය සහ ඔහුගේ නිර්මාණාවේශය විදියට. ඇය ඊට වඩා බොහෝ පෘථුල කෙනෙක්, ඉතින් මම තීරණය කළා ඇයට ඇයගේම කතාවක් අවශ්‍යයි කියලා.
ඔබගේ සියළුම කෘති චරිතාපදාන ඓතිහාසික ප්‍රබන්ධ. ඔබ කොහොමද ඒ් කෘති නිර්මාණයේදී සත්‍ය කරුණු සහ ප්‍රබන්ධ අතර සමබරතාව පවත්වා ගන්නේ?
ඕනෑම ඉතිහාසඥයෙක් කරන්නාක් මෙන් මම ද තරමක් ප්‍රවේශමෙන් සත්‍ය කරුණු පිළිබඳ පර්යේෂණ කරනවා. මගේ කෘති තුළ කතාව ගොඩනැඟන්නේ, සත්‍ය කරුණු සහ සිදුවීම්වලට හැකි තරම් සමීප වන ආකාරයෙන්. ප්‍රබන්ධය මට ඉඩ කඩ ලබා දෙනවා චරිතවල භාවයන්ගේ ගැඹුරු අඩවිවලට ප්‍රවේශ වෙන්න. සිතිවිලි සහ පෞද්ගලික සංවාදයන් ප්‍රතිනිර්මාණය කරමින් සත්‍ය කාරණා මෙන්ම ඉතිහාසයේ සැරිසැරූ භාවයන්ට පණ පොවන්න.
මට දැනුනා මේ කතාවට විශේෂයෙන් ප්‍රබන්ධමය ස්වරූපයක් අවශ්‍ය කරනවා කියන එක, මන්ද කාන්තාවක් තුළ ඇතිවන චිත්තවේගයන්, ඒ ප්‍රේම සබඳතාවය තුළ ඩෝරාගේ තමන්ව සොයා යාමේ සහ තමන්ව හෙළදව් කිරීමේ චාරිකාව බලසම්න්නයි, ඉතින් ප්‍රබන්ධයෙන් ලබාදෙන ඒ් අමතර අවසරය එවැනි නිර්මාණ සඳහා ඔබට අවශ්‍ය කරනවා.
ඔබගේ පර්යේෂණ ක්‍රියාවලිය කුමනාකාර ද?
එය ක්‍රියාවන් සමූහයක එකතුවක්. එය එක්තරා ආකාරයකට රහස් පරික්ෂකයෙක් වීම හා සමානයි. සමහර මාවත් වැසුණු අන්තයකින් කෙළවර වෙනවා, තවත් මාවතක් විටෙක රත්රන් ඉල්ලම් සොයා දෙනවා. ඒ මාවත් රැගෙන යන අන්තයට මා ද ගමන් කරනවා. විටෙක ඒ මං මාවත්, වඩාත් සුබවාදී අහම්බයන් මා ඉදිරිපිටට රැගෙන එනවා. ප්‍රබන්ධයට ජීවය ලබා දෙන ස්ථාන නැරඹීමට යා හැකි නම් එය ඉතාමත් වටිනවා. මම කොහොමත් කැමතියි ප්‍රාථමික මූලාශ්‍රවලට, එනම් දිනපොත් ලිපි වගේ දේවලට.
ඒවගේම ඉතිහාසයේ මා සොයා යන මේ කාන්තාවන් මගේ මනස තුළ මාත් සමඟ බොහෝ කාලයක් ජීවත් වෙනවා. මම ඒ අයගේ හඬ ඔවුන්ගේ කලාවෙන්, ඔවුන්ගේ ලිවීම් තුළින් උකහා ගන්නවා. සමහරවෙලාවට ඒ ලෝකයෙන් මිදීම මට ගොඩක් අපහසුයි, මම ඒ මේ අත යන්නේ ඒ අවතාරත් සමඟ. ඓතිහාසික සිද්ධිවාචක චරිතාපදාන ඒ්වායේ තොරතුරු මූලාශ්‍ර සේම නිරවද්‍යතාවයෙන් යුක්තයි. නවකතාකරුවෙකු සහ චරිතාපදාන රචකයෙකු අතර තිබෙන පොදු කාරණය තමයි අප නිර්මාණය කරන කෘතියේ එන චරිතවල සංවේදනා, අපිට හැකි උපරිම නිරවද්‍ය සහ විචිත්‍ර ආකාරයෙන් නිරූපණය කිරීමයි.
ඩෝරා මාර්ට, පිකාසෝ සමඟ තිබුණේ වේදනාකාරී සම්බන්ධයක්. ඒ නිසා ඇය ඉන් ඉවත් වීමට වෙහෙස දැරුවා. ඇයි ඔබ සිතන්නේ ඇයට ඔහුගෙන් ඈත් වීමට දුෂ්කර වුනා කියලා?
මම හිතන්නෙ එය විසිඑක් වැනි සියවසේ කාන්තාවන් හා සම්බන්ධ දෙයක් කියලා. පුද්ගලිකව මං ගැන ගත්තොත්, එහෙම සබඳතාවකින් ඈත් වෙන්න මට පුළුවන්, මොකද මට එවැනි වදකාර සබඳකම් ගැන අත්දැකීම් තියෙනවා. ඔබ ලේසියෙන් කිසිවෙකු සමඟ තදින් ආලයෙන් වෙළෙනවා. මුල් කාලයේ එය ඉතාම සුවදායකයි, ජීවිතයේ වඩාත් හොඳම අවධිය ඒ් බවට ඔබට දැනෙන්න ගන්නවා. ඔබ ඒ් පුද්ගලයා සහ සබඳතාවයට තදින් වසඟ වෙනවා.
ඒත් සබඳතාවය හිරිහැරයක් වෙන්නේ ඉතා සියුම්ව, නිරීක්ෂණය කළ නොහැකි තරම් සියුම්ව. එවිට ඔබව රවටා ගන්නවා නරක අතට හැරුණු සබඳතාවය කවදා හරි යථා තත්වයට පත් වෙයි කියලා. මෙහි දී අපට සිද්ධ වෙනවා ඩෝරා මාර් ජීවිතය ගත කළ ඒ් යුගයත් සැළකිල්ලට ගන්න. ඇය පිකාසෝ සමඟ සබඳතාවය පැවති කාලයේ තමයි දෙවැනි ලෝක යුද සමය පටන් ගන්නේ, ඔවුන් ජීවත් වුණේ නාසින්ට යටත් වී සිටි ප්‍රංශයේ. ඒ් කාලයේ කාන්තාවක් තනියම ජීවත්වනවා කියන එක බියජනකයි වගේම, ඒ් ගැන සිතන්නවත් බැරි කාලයක්. ඒ් වෙද්දිත් පිකාසෝ කියන්නෙ ලෝක ප්‍රසිද්ධ කලාකරුවෙක්, ඒ නිසා ඔහුට ආරක්ෂාව ලැබුණා, එය ඇයටත් අවශ්‍ය වූ දෙයක්. ඇයට ඔහුව අවශ්‍ය වූණා. ඇයට ඔහුගෙන් වෙන් වෙන්න ඕනෑ වුවත්, දෙවැනි ලෝක යුද්ධය එයට බාධාවක් වුණා.
ඇයට ඔහුව මුණ ගැසුන පසු ඇය තුළ වූ යමක් ඇයට අහිමි වුනා. නිර්මාණ කිරීමට ඈ තුළ තිබුණ ලාලසාව ඇය වෙතින් තුරන් වුනා. ඇය ප්‍රසිද්ධියට පත් වුනේ පිකාසෝගේ නිර්මාණවේශයට තුඩු දෙන තැනැත්තිය ලෙස මිසක ඇයගේ නිර්මාණ නිසා නොවෙයි. ඔහුව මුණ ගැසීමට පෙර ඇය සුවිශේෂී හැකියාවක් සහිත, තරමක් ප්‍රසිද්ධියක් තිබුණු ඡායාරූප ශිල්පිනියක්. ඇය එංගලන්තයේ සහ ලන්ඩනයේ ඡායාරූප ප්‍රදර්ශන පවා පවත්වා තිබෙනවා. ඒත් පිකාසෝ ඇය ඒ් තරම් දක්ෂ නොවන චිත්‍ර ශිල්පය වෙත යොමු කළා. පිකාසෝ බරපතල කලා මාධ්‍යයක් ලෙස සැළකුවේ චිත්‍ර ශිල්පය විතරයි, ඒත් මට තියෙන අදහස තමයි, ඔහු ඒ තරම් කැමති වුනේ නැහැ, තමන්ගේ පෙම්වතිය කිසියම් කලා මාධ්‍යයකින් අනවශ්‍ය තරම් සාර්ථක වෙනවට සහ අනවශ්‍ය තරම් ස්වාධීන වෙනවට. මම හිතන්නෙ ඒ් හානිය ඔහු ඇයට කළා. ඇය සිත්තරියක් වුවත්, ඇය ඡායාරූප ශිල්පයේදී තරම් සාර්ථක වුණේ නැහැ. ඇයගේ සිතුවම්වල නිර්මාණාත්මක ගුණය ඔහුගේ බලපෑමෙන් යටපත් වී තිබුණා. ඇය විසින්ම එය වරෙක පිළි ගෙන තිබුණා. පිකාසෝ ගෙන් ඈත් වීමට ඇති එකම ක්‍රමය මේ යැයි සළකමින්, අවසානයේදී ඇය හිස් භූමි දර්ශන අඳින්නට වූනා.
පිකාසෝ සහ ඩෝරා මාර්
ඔබ සිතනවද කලාකරුවා සහ නිර්මාණ ආවේශය සපයන්නිය අතර ඇති සබඳතාවය නිතරම ඔරොත්තු නොදෙන ආකාරයේ විකාර රූපී සම්බන්ධයක් කියා?
ඔව්. එය නිතරම කලා ශිල්පිනියන් වන නිර්මාණාවේශය සපයන්නියන්ට සැබවින්ම ඔරොත්තු නොදෙන ගැටලුකාරී සබඳතාවක්. ඩෝරාට අවශ්‍ය වුණා ස්වාධීන නිර්මාණකාරියක් බවට පත් වෙන්න. ඇයට නිර්මාණාවේශය සපයන්නියක බවට පත් වෙන්න උවමනාවක් තිබුනේ නැහැ. මම හිතන්නෙ විසිවැනි ශතවර්ෂයේ, කාන්තා අයිතීන් පිළිබඳ සංවාදය ව්‍යාපත් වීමත් සමඟ නිර්මාණාවේශය සපයන්නියන් තමන් ගැන වඩාත් දැඩි ආකල්පයක් ඇති කර ගත්තා. නිර්මාණාවේශය සපයන්නිය කියන එකෙන් ඇඟවෙනවා එය තරමක් නිෂ්ක්‍රිය තත්වයක් කියන එක- පිරිමි කලාකරුවන්ට හැඟීම්, අදහස්, ෆැන්ටසි බිහිකර ගැනීමට පාවච්චි වෙන යමක් විදියට. ඉතින් කලාකාරිනියක් වෙන්න උවමනාවෙන් සිටි ඩෝරාට මේක ගැටළුවක්. ඇය ඔහුව මුණ ගැසුණේ සමානයෙක් ලෙස, ඔහුගේ සිත් ගත්තේ සමානයෙක් ලෙස. ඒත් ක්‍රමයෙන් ඇයගේ ශක්තිය ඇයට අහිමි උනා. මම හිතන්නේ ඔහු ඇයගේ ශක්තිය ඉවතට ඇද දැමුවා, ‘වැලපෙන ගැහැණිය’ ආලේඛ්‍ය සිතුවම් මඟින් ඇයව තවදුරටත් අමානුෂියකරණය කළා. ඒ කලා කෘති ඔහුගේ ඉතා විශිෂ්ට නිර්මාණ, ඔහුගේ ඉමහත් ප්‍රසිද්ධ නිර්මාණ. එහෙත් ඒ නිර්මාණ තුළ ඇය කැඩි බිඳි විසිරී යනවා.
The Paris Muse කෘති කෙනෙක් කියවා අවසන් කරන විට, ඔබට ඕනෑ කරන්නේ ඔහුගේ හෝ ඇයගේ මනස තුළ කුමනාකාරයේ හැඟීමක් ඉතිරි වීමට ද?
මට ඕනෑ කරන්නේ ඔවුන් තුළ කාලයට වඩා ඉදිරියෙන් සිටි ගැහැණියක පිළිබඳ දිදුලන හැඟීමක් ඇති වීමට. ප්‍රේම සබඳතාවක් නිසා තමන්ට තමන් අහිමි වූ විශ්මිත, පර්යේෂණාත්මක, පුරෝගාමී ඡායාරූප ශිල්පිනියකව හොඳින් තේරුම් ගැනීමට.
තොරතුරු මූලාශ්ර - nutreats.co.za / https://talesfromabsurdia.com / www.bbc.com / www.barnebys.com

කර්තෘ - සුභාෂිණී චතුරිකා
(මෙම ලිපිය මුල් වරට 2025.11.14 "අනිද්දා" ජාතික පුවත්පතේ සාහිත්‍ය කලා අතිරේකයේ පළවිය)



