lan englan tam

විශේෂාංග

2025 විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවේ ෆැටීමා බොෂ්ට: තරගයේ ඇතිවූ අර්බුදය කුමක්ද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බීබීසී (සිංහල)

සුවිශේෂී ලෙස අපකීර්තියෙන් පිරුණු තරඟ වාරයක අවසානය සනිටුහන් කරමින්, මෙක්සිකෝ රූ රැජිණ ෆැටීමා බොෂ් ​​සිකුරාදා (නොවැ: 21) තායිලන්තයේ පැවති නව විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවා ය.

තායි නිලධාරියෙකු ඇයට සෙසු තරගකාරියන් ඉදිරියේ ප්‍රසිද්ධියේ බැන වැදීමෙන් පසුව 25 හැවිරිදි මෙම තරගකාරිය මීට පෙර පැවති තරග අවස්ථාවකින් ඉවත්ව ගිය අතර, ඇය සමග එක්වන ඕනෑ ම තරගකරුවෙකු නුසුදුස්සෙකු කරන බවට අදාළ නිලධාරියා තර්ජනය කළේ ය.

සතියකට පසු, විනිසුරුවන් දෙදෙනෙකු ඉල්ලා අස්වීමත් සමග තත්ත්වය තවත් උග්‍ර වූ අතර, එම තරගයේදී වංචා කළ බවට එක් අයෙක් සංවිධායකයින්ට චෝදනා කළේ ය.

ලොව දීර්ඝ කාලයක් පුරා පැවැත්වෙන මෙම තරගයේ මෑත කාලීන ගැටලු, විශ්ව රූ රැජිණ තරගයේ තායි හිමිකරුවන් සහ එහි මෙක්සිකානු හිමිකරුවන් අතර සංස්කෘතික හා උපායමාර්ගික වෙනස්කම් පැහැදිලිව පෙන්නුම් කරන බව විශ්ලේෂකයෝ පවසති.

 

ෆැටීමා බොෂ්, විශ්ව රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කළ හතරවැනි මෙක්සිකානු තරගකාරිය

 

1952 සිට 74 වන වරටත් පැවැත්වුණු නව විශ්ව රූ රැජිණගේ කිරුළ පැළඳීම, වසරකට වරක් පමණක් දර්ශනය වන රූපවාහිනී සංදර්ශනයක සිට TikTok සඳහා මාධ්‍ය සන්නාමයක් දක්වා ක්‍රියාවලියක් සංකේතවත් කරයි.

සත්කාරක රටේ බලාපොරොත්තු සුන් කරවමින් තායිලන්ත තරගකාරිය ප්‍රවීණාර් සිං අනුශූරතාව දිනා ගත්තා ය. වෙනිසියුලාවේ තරගකාරිය ස්ටෙෆනි අබාසාලි තෙවන ස්ථානයට පත්වූ අතර, අනෙකුත් ජයග්‍රාහකයන් වූයේ පිලිපීනයේ තරගකාරිය වූ මා අටිසා මොනාලෝ සහ අයිවරි කෝස්ට් තරගකාරිය වූ ඔලිවියා යාසේ යන අය වෙති.

තායිලන්තය සිව් වන වරටත් විශ්ව රූ රැජිණ තරගයට සත්කාරකත්වය සැපයූ අතර, බොහෝ රසික වෙබ් අඩවි තායිලන්තයේ තරගකාරිය මෙම වසරේ හොඳ ම තරගකාරියක ලෙස හඳුන්වා තිබිණි. තායිලන්තයේ 2018 සත්කාරකත්වය මෑත වසරවල හොඳ ම සංවිධානය කිරීමක් ලෙස සැලකෙන බැවින් බැංකොක්හි සංවිධායකයින් එම තත්ත්වය අභිබවා යනු ඇතැයි අපේක්ෂා ඉහළ මට්ටමක පැවතිණි.

 

6a0f5ba0 c69a 11f0 8d90 e730201f2aac.jpg2025 විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් තරගකාරියන් පස් දෙනා බැංකොක්හි වේදිකාවක් මත සිටගෙන සිටින ආකාරය

 

බැංකොක්හි සිදුවූ කැපී පෙනෙන සිදුවීම්

මෙම තරගාවලිය සංවිධානය කෙරුණේ, තායි මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල පුද්ගලයෙකු වූ නවාත් ඉට්සරග්‍රීසිල් විසින් ය. ඔහු තායිලන්තය පදනම් කර ගත් කුඩා තරගයක් වන මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්හි නිර්මාතෘ සහ හිමිකරු ලෙස රසිකයන් හඳුන්වන අතර එය සමාජ මාධ්‍යවල ඉතා ප්‍රසිද්ධ ය.

මෙම වසරේ විශ්ව රූ රැජිණ තරගය පැවැත්වීමේ බලපත්‍රය නවාත් සතුව ඇති අතර, එම සංවිධානය මෙක්සිකෝවේ සිට ව්‍යාපාරික රාවුල් රෝචා විසින් මෙහෙයවනු ලබයි.

මුල් වසරවලදී, උතුරු, මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ රැජිණියන් තරගයේ ආධිපත්‍යය දැරූ නමුත් මෑත දශක කිහිපය තුළ අග්නිදිග ආසියාවේ, විශේෂයෙන් තායිලන්තය, පිලිපීනය සහ ඉන්දුනීසියාව වැනි රටවල්වල වැඩි ජනප්‍රියතාවක් ඇතිව තිබේ. එම රටවල්වල කිරුළක් දිනා ගැනීම බොහෝවිට දරිද්‍රතාවයෙන් මිදීමේ මාර්ගයක් ලෙස හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙකු වීමේ වේගවත් මාවතක් ලෙස සැලකේ.

නමුත් මේ මස මුලදී පැවති පූර්ව තරග ඉසව්වකදී, ප්‍රවර්ධන අන්තර්ගතයන් සමාජ මාධ්‍ය තුළ පළ නොකිරීම සම්බන්ධයෙන් තරගකාරියන් ගණනාවක් ඉදිරියේ නවාත් ප්‍රසිද්ධියේ ෆැටීමා බොෂ්  ට බැන වැදීමත් සමග තත්ත්වය තවත් උග්‍ර විය.

ඇය එයට විරුද්ධ වූ විට, නවාත් ආරක්ෂක නිලධාරීන් අමතා ඇයට සහය දක්වන අයව නුසුදුස්සන් කරන බවට තර්ජනය කළේ ය. පසුව බොෂ් එම ස්ථානයෙන් පිටව ගිය අතර තවත් තරගකාරියන් රැසක් ඇයට සහයෝගය දැක්වීමට එක් වූහ.

විශ්ව රූ රැජිණ සංවිධානය, නවාත්ගේ හැසිරීම "ද්වේෂසහගත" එකක් ලෙස හෙළා දුටු අතර, මෙක්සිකෝවේ සිට වීඩියෝවක් ඔස්සේ කතා කරමින් රෝචා තම තායි ව්‍යාපාරික සහකරුට එය "නවත්වන" ලෙස පැවසීය.

මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම්, ආක්‍රමණශීලීත්වයන් හමුවේ "කාන්තාවන් වන අප කතා කළ යුතු ආකාරය පිළිබඳ උදාහරණයක්" ලෙස බොෂ්ට ප්‍රශංසා කළා ය.

අද දිනයේ පැවති අවසන් තරගයේදී, නවාත් ඔහුගේ ඉන්ස්ටග්‍රෑමයේ ප්‍රේක්ෂකාගාරයේ සිට ඡායාරූප පළ කර තිබූ නමුත් වේදිකාවේ පෙනී සිටියේ නැත.

ඔහු කළු පසුබිමක "පැවසිය නොහැකි වචන බිලියනයක්" යනුවෙන් ලියා තිබූ කෙටි තායි ප්‍රකාශයක් ද පළ කර තිබිණි.

තරගකාරියන් උත්සවයෙන් පිටව යාමේ මතභේදාත්මක සිදුවීමෙන් සතියකට පසු, විනිසුරුවන් දෙදෙනෙකු ඉල්ලා අස්වූ අතර, ඉන් එක් අයෙකු සංවිධායකයින් තේරීම් ක්‍රියාවලියේදී වංචා සිදුවූ බවට චෝදනා කළේ ය.

අට දෙනෙකුගෙන් යුත් ජූරි සභාවෙන් ඉල්ලා අස්වූ බව ඉන්ස්ටග්‍රෑම්හි නිවේදනය කළ ලෙබනන්-ප්‍රංශ සංගීතඥ ඕමාර් හාර්ෆවුච් කියා සිටියේ, අද දිනයේ අවසන් තරගයට පෙර "හදිසි ජූරි සභාවක්" විසින් අවසන් තරගකරුවන් තෝරා ගනු ලැබ ඇති බව ය. පැය කිහිපයකට පසු, හිටපු ප්‍රංශ පාපන්දු ක්‍රීඩක ක්ලෝජා මැකිලිලී ද "අනපේක්ෂිත පෞද්ගලික හේතූන්" උපුටා දක්වමින් ඉවත් වන බව නිවේදනය කළේ ය.

"නියෝජිතයින් අගැයීමට හෝ අවසන් තරගකාරියන් තෝරා ගැනීමට කිසිදු බාහිර කණ්ඩායමකට අවසර දී නොමැති" බව පවසමින් විශ්ව රූ රැජිණ සංවිධානය හාර්ෆවුච්ගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කළේ ය.

ඉන්පසු බදාදා රාත්‍රියේ [නොවැම්බර් 19] සැඳෑ ඇඳුම් තරග වටය අතරතුර, ජැමෙයිකා රූ රැජිණ වේදිකාවේ ඇද වැටුණු අතර, ඇයව වහා ම එතනින් ඔසවාගෙන පිටතට ගෙන යාමට සිදු විය.

ඉහළ තනතුරුවල ඇති වූ කැළඹිලි තත්ත්වය

තායි සංක්‍රාන්ති ලිංගික මාධ්‍ය අධිපතියෙකු වන ඈන් ජක්‍රජුටටිප්, පූර්ව තරග ඉසව් ආරම්භ වීමට පෙර ප්‍රධාන විධායක නිලධාරිනී තනතුරෙන් ඉල්ලා අස්වී ගෝතමාලා නියෝජිත මාරියෝ බුකාරෝ ඇය වෙනුවට පත් කිරීමෙන් පසු, විශ්ව රූ රැජිණ තරගයට නව නායකත්වයක් ලැබීමත් සමග මතභේද ඇති විය.

2022දී එක්සත් ජනපද විනෝදාස්වාද සමාගමක් වන එන්ඩෙවර් වෙතින් ජක්‍රජුටැටිප් තරගයේ හිමිකාරිත්වය අත්පත් කර ගත්තා ය. ඇය සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට, විවාහක කාන්තාවන්ට සහ දරුවන් සිටින කාන්තාවන්ට සහභාගී වීමට ඉඩ සලසමින්, පුළුල් වෙනස්කම් සිදු කළා ය. තරගකරුවන් සඳහා වූ වයස් සීමාව ද ඇය ඉවත් කළා ය.

වසර ගණනාවක් තිස්සේ එයට සිටි ප්‍රේක්ෂක සංඛ්‍යාව පහත වැටුණු විට, ඇය බෝතල් කළ ජලය සහ බෑග් වැනි නිෂ්පාදන මත මිස් යුනිවර්ස් සන්නාමය යොදා මුදල් ඉපයීමට උත්සහ කළා ය.

2023 දී, ඇගේ විනෝදාස්වාද සමාගම වන JKN, බංකොලොත්භාවයට පත් විය.

 

276d6f50 c5f8 11f0 8e3f 494114defdeb.jpgහිටපු තරග හිමිකාරියක වන ඈන් ජක්‍රජුටාටිප්, විශ්ව රූ රැජිණ තරගයේ ප්‍රවේශය පුළුල් කිරීමට උත්සහ කළා ය

ඉල්ලා අස්වීමට පෙර, ජක්‍රජුටතිප්, මෙක්සිකෝවේ ව්‍යාපාරික සහකරුවෙකු වන රෝචා ගෙන ආ අතර, 2025 තරගය සංවිධානය කිරීම සඳහා නවාත් පත් කළා ය.

ඇමරිකානු රූ රැජිණක් සහ රූ රැජිණ පුහුණුකාරිනියක වන ඩැනී වෝකර් බීබීසීයට පැවසුවේ, තරගාවලියේ නායකත්වයට එය "ඉතා දුෂ්කර සංක්‍රාන්තියක්" වී ඇති බව ය. බැංකොක් සහ මෙක්සිකෝවේ නායකයින් අතර වැදගත් භූමිකාවන් දැන් බෙදී ගොස් ඇති බව ඇය පැවසුවා ය.

තරගය එන්ඩෙවර් විසින් මෙහෙයවන ලද කාලයේදී සහ, ඊට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙහෙයවන ලද කාලයේ නායකත්ව ව්‍යුහය වඩාත් පැහැදිලි වූ බව ඇය පැවසුවා ය.

"රසිකයන්ට සහ පිටස්තරයන්ට ඒක හරි ම ව්‍යාකූල යි. සැබෑ නායකයින් කවුද කියලා හෝ ප්‍රශ්න ඇති විට කාගෙන් අහන්න ද කියලා කවුරුවත් දන්නේ නැහැ, ඒක සන්නාමයට හරි ම හානිකර යි," පෙර හිමිකරුවන් දෙදෙනා යටතේ විශ්ව රූ රැජිණ සංවිධානයේ සභාපතිනිය ලෙස කටයුතු කළ පෝලා ෂුගාර්ට් බීබීසීයට පැවසුවා ය.

කාන්තා හා ලතින් ඇමෙරිකානු අධ්‍යයනයන් පිළිබඳ විශාරදවරියක සහ රූපලාවණ්‍ය තරග විශේෂඥවරියක වන තිතිෆොං ඩුආන්කොං පැවසුවේ, සංවිධායකයින් ඔවුන්ගේ සංස්කෘතික වෙනස්කම් පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ය.

"අපේ රටේ, අපි අපේ සෙසු තායි ජාතිකයන් සමග සන්නිවේදනය කිරීමට තායි භාෂාව භාවිත කරනවා. අපි සමාජ සන්දර්භය තේරුම් ගන්නවා, සමාජ ව්‍යුහය තේරුම් ගන්නවා, සමාජයේ බල අසමානතාව තේරුම් ගන්නවා, ඒ වගේ ම තායි භාෂාව භාවිත කරමින් ඒක ගැන සාකච්ඡා කිරීමට අපි නිරන්තරයෙන් උත්සහ කරනවා," ඔහු බීබීසීයට පැවසීය.

ජක්‍රජුටතිප් සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් නිසා, මාචෝ සංස්කෘතියෙන් බලපෑමට ලක් වූ සමහර ලතින් ඇමෙරිකානු රසිකයන් ඇයව පිළි නොගන්නට ඇති බව තිටිෆොං පැවසීය.

"කාන්තාවන් නොවන කාන්තාවන් කාන්තාවන්ගේ විනෝදාස්වාදය සඳහා වූ පැජන්ට් එකක් හදිසියේ ම මිල දී ගැනීම පිළිබඳව කතාබහක් තියෙනවා. මොකක් ද සිද්ධ වෙන්න යන්නේ? කියලා."

 

විශ්ව රූ රැජිණ තරගයේ මීළඟට සිදුවන්නේ කුමක් ද?

වසර ගණනාවක් තිස්සේ, විශ්ව රූ රැජිණ විකාශනය සඳහා සමාජ මාධ්‍ය වෙත මාරු වීමත් සමග ප්‍රේක්ෂකයින් ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම්හි, හිටපු ජයග්‍රාහිකාවන් සහ අනුශූරියන් පවා මිලියන ගණනක් අනුගාමිකයින් සහිත ගිණුම් පවත්වාගෙන යන අතර, ඔවුන් බලපෑම්සහගත පුද්ගලයන් බවට පරිවර්තනය වී තිබේ.

තම මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් සජීවී විකාශන අතරතුර ඊ-වාණිජ්‍ය ශෛලියකින් නිෂ්පාදන අලෙවි කිරීමට නවාත් අපේක්ෂා කරන අතර, ඔහු මෙම ප්‍රවේශය ම විශ්ව රූ රැජිණ වෙත ගෙන ඒමට උත්සහ කළේ ය.

නමුත් ලතින් ඇමෙරිකාවේ රූ රැජිණියන් තවමත් රූපවාහිනියේ ආකර්ෂණීය කීර්තිමත් පුද්ගලයින් ලෙස සැලකේ. ලතින් ඇමෙරිකානු නරඹන්නන් සඳහා විශේෂයෙන් විශ්ව රූ රැජිණ රියැලිටි වැඩසටහනක් නිර්මාණය කරන ලද අතර, එහි ජයග්‍රාහිකාව වූ ඩොමිනිකන් කාන්තාවක් ලතින් ඇමරිකානු විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවා ය.

 

e6ff0390 c5ff 11f0 9c13 f920cfeeae8d.jpg"තරග කරන කාන්තාවන්ට සහයෝගය නොදක්වා ඔවුන් බලගන්වන්නේ නැත්නම් විශ්ව රූ රැජිණ යන්නෙන් කිසි වටිනාකමක් නෑ," එහි හිටපු සභාපති පැවසීය.

මතභේදයන් විශ්ව රූ රැජිණ තරගයේ ව්‍යාපාරික පැත්ත හෙළි කළ නමුත්, හිටපු රැජිණියෝ තවමත් ඔවුන්ගේ අරමුණු ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ වේදිකා භාවිත කරමින් සිටිති. 2018 විශ්ව රූ රැජිණ කැට්‍රියෝනා ග්‍රේ, පිලිපීනයේ දැවැන්ත සුළි කුණාටු දෙකකින් නිවාස අහිමි වූ දහස් ගණනකට ආරක්ෂිත පානීය ජලය සපයන පුණ්‍යායතනයකට සහය වන ලෙස ඇගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් මිලියන 13.8කින් ඉල්ලා සිටියා ය.

කාන්තාවන්ට වෙළෙඳ භාණ්ඩ ලෙස සැලකීම සම්බන්ධයෙන් තරගාවලිය අඛණ්ඩව විවේචනවලට මුහුණ දෙයි. නමුත් 2025 තරගයේදී බොහෝ තරගකාරියන් ඇඳුම් කොටස් දෙකකින් සමන්විත බිකිනි පැළඳ සිටිය ද, ගතානුගතික රටවල තරගකාරියන්ට ඒ වෙනුවට සම්පූර්ණ ශරීරය වැසෙන පිහිනුම් ඇඳුම් ඇඳීමට අවසර දෙන ලදී.

"ඇත්ත වශයෙන් ම ඒක හැමෝට ම නෙවෙයි, සමහර අය හැම තිස්සේ ම ඒකට එකඟ වෙන්නේ නෑ. නමුත් මූලික වටිනාකම් ඒ විදිහට පවතින තාක් කල්, තරග ගැන සමාජයේ තියෙන තැන දිගට ම පවතියි කියලා මම විශ්වාස කරනවා," හිටපු සභාපති ෂුගාර්ට් පැවසුවා ය.

කාන්තාවන් සවිබල ගැන්වීම සංවිධානයේ හරය විය යුතු බව ඇය පැවසුවා ය.

"තරග කරන කාන්තාවන් සවිබල ගන්වන්නේ නැත්නම් විශ්ව රූ රැජිණ තේරීමෙන් වැඩක් නෑ."

 

කර්තෲ - ජොයෙල් ගින්තෝ (සිංගපූරුවේ සිට), පැනීසා අයිමෝකා (බැංකොක් සිට)

මෙම ලිපිය bbc.com (සිංහල) වෙබ් අඩවිය ඇසුරින් උපුටා ගන්නා ලදී.

 

kemadasa

Back to top
Go to bottom