lan englan tam

විශේෂාංග

වසර 207ක මේරි ෂෙලිගේ උරුමය සිනමානුරූපිව පණ ගැන්වීම - "Frankenstein"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Malintha Vithanage-

විවිධ ශානරයන් ඇතුළත් නවකතා ආශ්‍රයෙන් සිනමාපට නිර්මාණය වීම අනාදිතමත් කාලයක සිට සිනමාවේ නිරතුරුවම දක්නට ලැබෙන ජනප්‍රිය ප්‍රවණතාවයකි.

මෙම ප්‍රවණාතාවය සිනමාවට ඇති කළ බලපෑම කෙතරම්ද? කියතොත් විටෙක යමෙකු අතින් ලියවෙන නවකතාව වර්තමානයේ ටෙලිනාට්‍යයක් හෝ සිනමාපටයක් වෙත ප්‍රතිනිර්මාණය කරන්නට යුහුසුලු වෙති. නවකතාව සහ සිනමාව පිළිබඳ ක්ෂුද්‍ර කථිකාවතට ප්‍රවේශ කළේ 'ෆ්‍රැන්කන්ස්ටයින්' නවකතාව ඇසුරින් නිර්මාණය වූ සිනමාපටය නිසා ය. ලෝක සාහිත්‍යයේ නොමැකෙන සළකුණක් තැබූ සුප්‍රකට නවකතාවක් ලෙස "ෆ්‍රැන්කන්ස්ටයින්; නොහොත්, ද මොඩර්න් ප්‍රොමිතියස්" (Frankenstein; or, The Modern Prometheus) වර්ෂ 1818 දී ඉංග්‍රීසි ජාතික කතුවරියක් වන 'මේරි ෂෙලී' විසින් රචනා වනුයේ මිලියන ගණනින් පිටපත් අලෙවි වෙම්න් සහ භාෂා බොහෝ ගනණාවකට පරිවර්තනය වෙමින්.

 

රිචර්ඩ් රොත්වෙල් විසින් වර්ෂ 1840 අඳින ලද මේරි ෂෙලීගේ උඩුකය චිත්‍රය (වම් පස ඡායාරූපය)

 

නාට්‍ය, ටෙලිනාට්‍යය සහ සිනමාපට බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වීම ද මෙම නවකතාවෙහි විශේෂත්වයකි. ගොතික් (Gothic) ශෛලියේ සුප්‍රකට නවකතාවක් ලෙස 'ෆ්‍රැන්කන්ස්ටයින්' විද්‍යා - ප්‍රබන්ධ (Science Fiction) - භීම (Horror) ශානරයේ කෘතියකි. මේරි විවාහව සිටියේ සුප්‍රකට කවියෙකු වන ''පර්සි බයිෂේ ෂෙලී'' සමඟ ය. ඉංග්‍රිසි සාහිත්‍යයෙහි ෂෙලී ලියු කව් නොමැකෙන සළකුණක් තැබුවකි. මේරි ෂෙලී අතින් 'ෆ්‍රැන්කන්ස්ටයින්' නම් මරණයට පත් කළ නොහැකි බුද්ධිමත් රාක්ෂයකු (monster) නිර්මාණය වූයේ අපුරු වූ බුද්ධිමය පරිකල්පනය මතිනි. ෂෙලී ෆ්‍රැන්කන්ස්ටයින් නවකතාව ලියනවිට ඇගේ වයස අවුරුදු 22කි.

මළ සිරුරුවල විවිධ ශරීර කොටස්, අවයව එකට එකතු කර අසාමාන්‍ය විද්‍යාත්මක අත්හදා බැලීමකින් බුද්ධිමත් මානවයකු නිර්මාණය කරන තරුණ විද්‍යාඥයෙකු වන වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ගේ කතාව ෂෙලීගේ පෑන් තුඩින් සුදු ඩිමයි කොළය මත ලියවිණ.

 

"ලෝකයේ මැවුම්කරුගේ විශ්මයජනක යාන්ත්‍රණය සමච්චලයට ලක් කිරීමට ගන්නා ඕනෑම මිනිස් උත්සාහයක බලපෑම අතිශයින්ම බියජනක වනු ඇත....."

ඒ ෆ්‍රැන්කන්ස්ටයින් නවකතාව වෙනුවෙන් හඬ අවදි කළ මේරි ෂෙලීගේ වචන ය. ෆ්‍රැන්කන්ස්ටයින් නිර්මාණය කිරීමේ ඉරණම ලියුවේ එලෙසිනි. එසේ ලියු ෆ්‍රැන්කන්ස්ටයින්ගේ කතාව දශකයෙන් දශකයට සිනමාවේ විව්ධාකාරයෙන් ප්‍රතිනිර්මාණය විය. මෙි වසරේ (2025) තිරගත වූ 'ෆ්‍රැන්කන්ස්ටයින්' චිත්‍රපටය ප්‍රේක්ෂකාගාරය වඩාත් අවධානයක් දිනාගන්නට සමත් විය.

 

MV5BYzYzNDYxMTQtMTU4OS00MTdlLThhMTQtZjI4NGJmMTZmNmRiXkEyXkFqcGc. V1 FMjpg UX1000

 

චිත්‍රපටයේ තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළේ සුප්‍රකට මෙක්සිකානු සිනමාකරුවකු වන 'ගිලර්මෝ ඩෙල් ටොරෝ' විසිනි. ඩෙල් ටෝරෝගේ ෆ්‍රැන්කන්ස්ටයින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ සිහිනයක් පැවතුණේ වර්ෂ 2016 සිට ය. වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ගේ චරිතය සඳහා පණපොවනු ලැබුයේ හොලිවුඩයේ සම්මානනීය නළුවකු වන "ඔස්කාර් අයිසැක්" විසිනි. "ජෙකබ් එලොර්ඩ්" නම් නවක නළුවා විසින් රාක්ෂයාගේ (Monster) චරිතය නිරූපණය කිරීම වඩාත් අවධානය දිනාගනු ලැබුවකි. රාක්ෂයාගේ චරිතය සඳහා ජෙකබ් වෙත මේ වනවිට ප්‍රේක්ෂකාගාරයෙන් සුවිශේෂි ප්‍රතිචාර හිමි කරගනිම්න් සිටියි. ඔස්කාර් අයිසැක්⁣ගේ සහ ජෙකබ් එලොර්ඩ්ගේ ප්‍රශස්ථ රංගනයන් නිසැකවම එන වසරේදී පැවැත්වෙන්නට නියමිත ඔස්කාර් සම්මාන උලෙළෙහි හොඳම නළුවා අංශයෙන් තරඟ වැදෙනු ඇත.

 

14cul new frankenstein zfbp videoSixteenByNine3000'ගිලර්මෝ ඩෙල් ටොරෝ' අධ්‍යක්ෂණය කළ 'ෆ්‍රැන්කන්ස්ටයින්' චිත්‍රපටයේ රූප රාමුවක්

 

සිනමාපටයෙහි අලංකාවාදී සෞන්දර්යාත්මක රූපරාමුවලින් සමන්විත ය. කෘතියේ ඇති ජීවගුණය රක්ෂා කෙරෙන පරිදි ගොතික් සහ රොමැන්තිකවාදී රසය සෑම රූප රාමුවකම තවරා තිබේ. එය ඩෙල් ටෝරෝගේ සිනමා ශෛලියේ එක් ලක්ෂණයකි. මෙම ශෛලිය ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කළ 'ද ශේප් ඔෆ් වෝටර්' සිනමාපටයේ ද දක්නට ලැබිණ. එම ශෛලිය විසින් සිනමාප⁣ටයේ සිනමානුරූපි ගුණය තීව්‍ර කරන්නකි. කැන්වසයක ඇඳි තෙල් සායම් සිතුවමක් පරිද්දෙන් ව්ක්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් ජීවත්වන පරිසරය සහ අවකාශය නිමවා ඇත්තේ මිසෝන් සේන් ශිල්ප ක්‍රමයේ පිහිටාධාරයෙනි. ගොතික් පන්නයේ ඇඳුම් පැළඳුම්, කොණ්ඩා මෝස්තර, ගොඩනැගිලිවල ගෘහ නිර්මාණ, දැවමය ගෘහ භාණ්ඩ, අශ්වයන් බැඳි කරත්ත, රුවල් බැඳි නැව්, යන්ත්‍ර සුත්‍ර, කොළ පැහැති වර්ණවලින් අලංකෘතව ඇති ගස්වැල්, මල්, කොළ ආදී පසුතලය ද ආලෝකකරණය ද සිනමාපටයට කැන්දාගෙන එන ව්ශ්වසනීයත්වය සහ අවකාශය නිමැවුම වැදගත් ය. හොලිවුඩ් නිර්මාණවල සුවිශේෂිත්වය වනුයේ අන් කිසිදු සිනමාවකට ළඟා විය නොහැකි දෘෂ්‍ය ⁣ප්‍රයෝග (VFX) කෙරෙහි විශ්වාසය තැබීමයි.

 

frankenstein movie costume 1920 x 1080 px 688851d4c973d.jpg

 

සිනමාපටයේ කතා වින්‍යාසය ද සාර්ථක ලෙස ගොඩනඟා තිබේ. විශේෂයෙන් වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ගේ දෙඅතින් නිමැවෙන රාක්ෂයා නොහොත් ජීවියාගේ දෘෂ්ටිකෝණයෙන් (Point of View) මනුෂ්‍යත්වය, හැඟීම් සහ සංවේදනා පිළිබඳ කියැවෙයි. මානවයාගේ එදිනෙදා න්‍යාය පත්‍රයේ තිබෙන අමරණීයත්වය සහ මරණය පරදා තිරිහන් වීමේ දැඩි ආශාව පිළිබඳ අදහසක් සිනමාපටය හරහා ගෙනඑන්නට සමත් වෙයි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>

 

අදට වසර 207ක් පැරණි ෆ්‍රැන්කන්ස්ටයින් ඉංග්‍රීසි සාහිත්‍යයේ වඩාත් ප්‍රසිද්ධ කෘතිවලින් එකකි. ගොතික් නවකතාවේ සහ රොමෑන්තිකවාදී කලා ව්‍යාපාරයේ අංගවලින් පිරුණු එය සාහිත්‍යයට සහ ජනප්‍රිය සංස්කෘතියට සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති අතර, ත්‍රාසජනක කතා, චිත්‍රපට සහ නාට්‍යවල ප්‍රභවය බවට පත්විය. යුග ගණනාවකදි වරින්වර ෆ්‍රැන්කන්ස්ටයින් සිනමාපට නිර්මාණය වන්නේන්නේ ගොතික් සහ රොමැන්තිකවාදයේ චමත්කාරය යුග යුග රැව් දෙමින්මයි. ඩෙල් ටොරෝ නිමැවූ 'ෆ්‍රැන්කන්ස්ටයින්' සිනමාකෘතිය සිනමාවේ සෞන්දර්ය ද කැටිකොටගනිම්න් මානවයාගේ පැවැත්ම පිළිබඳ ෂෙලී හෙළන දෘෂ්ටිය ප්‍රේක්ෂකාගාරයට නිරායාසයෙන්ම වැළඳ ගැනීම වටිනා කරතව්‍යයකි.

 

476237625 2101514566935849 5297727973837240105 n

කර්තෘ - මලින්ත විතානගේ (Malintha Vithanage)

(මෙම ලිපිය 2025 නොවැම්බර් මස 13 වන දින සරසවිය පුවත්පතේ මුල්වරට පළ විය.)

kemadasa

Back to top
Go to bottom