-Lakmina Ranasinghe-
රට යන්න හිතාගෙන විවිධ පළාත්වලින් කොළඹට ආපු හතර දෙනෙක්ට රට යන්න බැරි වෙනවා. මේ අයට ආපහු ගෙදර යන්නත් බැරි නිසා මේ හතර දෙනා එක පවුලක් වගේ එකම නිවසක ජීවත් වෙනවා.
කොහොමද මිත්‍රයා ප්ලොට් එක! ultra pro max නේද!! මේ ප්ලොට් එක තමයි මේ ඩ්‍රාමා එකේ අල්ටිමේට් මැජික් එක හෙවත්, X සාධකය! විදේශ රැකියාවලට සම්බන්ධ වගකීම් දරන දේශපාලඥයින් සහ පරිපාලන නිලධාරීන් අනිවාර්යෙන්ම මේ ඩ්‍රාමා එක බලන්නම ඕනෙ.

මේ කතාව, සංවර්ධනය වෙමින් පවතින රටවල පහළ මධ්‍යම සහ මධ්‍යම පන්තියේ කතාවක්. මේක පිටසක්වලින් අරගත්ත අමුතු කතාවක් නෙමෙයි මිත්‍රයා. මේක අපිට තේරෙන, අපේ පොළවට ගැළපෙන, අපේ පොළවේ මුල් ඇදගත්ත, අපිටත් වෙන්න පුළුවන්, අපේම කතාවක්. ඒ නිසා තමයි රට පවුල අපේ මනසේ හොඳටම පැලවුණේ.
පවුලක් කියන්නෙ ජීව විද්‍යාත්මකව බැඳුන මිනිස්සු ඉන්න තැනක්. ඒත් රට පවුල ටෙලි ඩ්‍රාමා එකෙන් පවුල කියන සංකල්පය දිහා වෙනස්ම විදිහට බලලා තියනවා. ජීව විද්‍යාත්මක නොවන පවුලක්, මානුෂීය බැඳීම් එක්ක පොදු ප්‍රශ්න වෙනුවෙන් එකතු වෙලා අරගල කරන හැටි මේකෙ තියනවා.
ජීවිතේ දුෂ්කරම කාලෙදි අපිව දරාගන්න පුළුවන් අය පවුලක් විදිහට එකතු වෙන එක, මානසිකව කඩා වැටෙද්දි අපිට ඔළුව තියාගන්න උරහිසක් ලැබෙන එක වගේ දේවල් මේ රට පවුල ඩ්‍රාමා එක ඇතුලෙ ලස්සනට පෙන්නලා තියනවා.
රට රස්සා, රට යන සිහිනය බිඳ වැටීම, ජීවන අරගල, ප්‍රේමය සහ පවුල, රැකියා අර්බුදය, දුප්පත්කම, වංචනිකයන්ගේ සටකපටකම් වගේ දේශීය සමාජ ආර්ථික අනන්‍යතාව තියන ගොඩක් දේවල් රට පවුල ඩ්‍රාමා එක ඇතුලෙ පදමට තියනවා මිත්‍රයා. අපි හැමදාම අත්විඳින දේවල් රට පවුල ඩ්‍රාමා එකෙන් පේනකොට ඒවා ඩීකෝඩ් කරගන්න, ඒ කියන්නෙ මනසින් විශ්ලේෂණය කරලා තේරුම්ගන්න අපිට මාරම ලේසී. ඊට අමතරව රට පවුල ඇතුලෙ නිර්මාණාත්මකව ගොඩනගපු ටෙන්ෂන් තියන නිසා රට පවුල අපිට තවත් හොඳට දැනෙනවා.
සතුට, දුක, වේදනාව, බිඳවැටීම්, නැවත නැගිටීම්, කුතුහලය, ප්‍රේමය, ජයග්‍රහණ වගේ ගුණාංගත් හරිම ලස්සනට මේ ඩ්‍රාමා එකේ තියන නිසා මේ කතාව ලස්සනට ගලාගෙන යනවා මිත්‍රයා. ඒත් සමහර තැන්වල යම් යම් ඒකාකාරී සහ රිපීට් වෙන ගතියක් තිබුනත්, ප්ලොට් එකේ ආතල්බරිත ස්වභාවය නිසා පොඩි පොඩි අඩුපාඩු අපේ මනසට ලොකුවට ඩීකෝඩ් වුනේ නෑ.
ප්‍රෙශා මිෂෙල් (අප්සරා) නවක නිළියක් විදිහට හරිම ආදරණීයව තමන්ගේ අනන්‍යතාව හදාගෙන කතාව පුරා ටික ටික ඩිවලප් වුනා. සංජීව දිසානායක, හසිනිකා කරලියැද්ද, අයේෂා දිසානායක, මහින්ද වීරරත්න, හංසමාලා ජානකී, අනිල් ජයසිංහ, ප්‍රසාද් සූරියාරච්චි ඇතුළු සෙට් එක මේ වැඩේ ගොඩ දාන්න බොක්කෙන්ම දායකත්වය දීලා තියනවා.
අනාගත සුපිරි තරු ලකුණු තියන නිම්මි මනෝහාරි සහ දිදුළ ඉඳුවරට රට පවුල කියන්නෙ වෙනස්ම විදිහේ ඉතා හොඳ ලිට්මස් පරීක්ෂණයක්. ගොඩක් දක්ෂ නළුවන්ට පවා කරන්න අමාරු, අඩියක් පස්සට තියලා රඟපාන රීතිය දමිත් ග්‍රේශන් රට පවුල ඇතුලෙ නියමෙටම කරනවා. කවුරුත් ඒ ගැන වැඩිය කතා නොකළත් ඒ රංගන රීතිය වෙනම මුඩ් එකක් මිත්‍රයා.
රට පවුලේ තවත් විශේෂම දෙයක් තමයි 2025 දි මෙතෙක් මම බලපු සමස්ත ටෙලිඩ්‍රාමා අතරින්, මගේ ගණනය කිරීමට අනුව අංශ කිහිපයකින් විශිෂ්ටතම performance කිහිපයක්ම රට පවුලෙ තිබුන එක.
මගේ අදහසට අනුව නැගී එන නවක නිළියන් අතරින්, ඒ ඒ අයගේ නවක බවට සාපේක්ෂව 2025 දි විශිෂ්ටතම රංගනයන් ඉදිරිපත් කරපු පහත සඳහන් ලිස්ට් එකේ උඩින්ම සප්නා පාදුක්කව තියන්න පුළුවන්.
අප්සරා ගුණතිලක - සසංකාරා (Apsara)
ලෝචනා ඉසුරින්දි - ඉරගිනි මද්දහන (Lochana)
සුජානි මධුවන්ති - ඇයි අපි සුදුද / පිරිමි ළමයි (Sujani)
‘සප්නා පාදුක්ක - රට පවුල’ (Sapna)
සප්නා රට පවුලෙ කරපු නාහෙට අහන්නෙ නැති ස්කූටර් මාරක යමපල්ලිගේ රංගනයත්, ඉර ගිනි මද්දහනේ ඇය කරපු රංගනයත් බැලුවම නම් ඇය අනාගතේ අති විශිෂ්ට නිළියක් වෙනවා කියන එක ඉතා පැහැදිලී මිත්‍රයා.
2025 ට අදාළව, මගේ විශිෂ්ටතම නළුවන්ගේ ලිස්ට් එකේ රට පවුලේ චරිත නිරූපණය වෙනුවෙන් Akalanka Prabashwara ඉන්නවා. මේ තියෙන්නෙ ඒ ලිස්ට් එක.
ආනන්ද කුමාරඋන්නැහේ - ඉර හැංගිලා
වසන්ත මොරගොඩ - සසංකාරා (Wasantha)
ධනංජය සිරිවර්ධන - ඉරගිනි මද්දහන (Dananjaya)
‘අකලංක ප්‍රභාෂ්වර - රට පවුල’
2024 අවුරුද්දෙත් මගේ විශිෂ්ටතම නළුවන්ගේ ලිස්ට් එකේ අකලංක ප්‍රභාෂ්වර හිටියා. මේ තියෙන්නෙ ඒ ලිස්ට් එක.
සරත් කොතලාවල - වියළි
ප්‍රියන්ත සිරිකුමාර - බැක්සයිඩ්
විශ්වජිත් ගුණසේකර - සුසුම් රස්තියාදුව
‘අකලංක ප්‍රභාෂ්වර - වියළි’
2024 සහ 2025 විශිෂ්ටතම නළුවන් ලිස්ට් දෙකේම ඉන්න එකම නළුවා තමයි අකලංක. ඔහු ඒ තරම් විශිෂ්ටයි මිත්‍රයා. ඒ වගේම 2025 දි ආපු හොඳම ටෙලි ඩ්‍රාමා ක්‍රියේටිව් ප්ලොට් තියන පහත සඳහන් ලිස්ට් එකෙත් රට පවුල උඩින්ම තියනවා.
වීදුරු තිර - Shalani Wijayabandara
ද ලේක් - Dhanushka Raymond
ඇයි අපි සුදුද - Asanka Sayakkara
‘රට පවුල’ - කෞශල්‍ය / හසුන්
රට පවුලේ ජයනි සේනානායක තමන්ගේ උපරිම හැකියාව දොඹෙන් පෙන්නනවා. ඒත් මිත්‍රයා... සින්ටො, ජුරාලියා, කොටු සහ රට පවුල කියන ඩ්‍රාමා සියල්ලම සමාන්තරව බලපු කෙනෙක් විදිහට මට හිතෙන දේ තමයි ඒ ඒ චරිතවල සියුම් හැඟීම් ප්‍රකාශනයන් අතර overlap නැතුව, ඇක්ටිං කන්ට්‍රාස්ට් එක තවත් තියාගන්න ජයනිට පුළුවන් වුනා නම් හොඳයි කියන එක.
මේ චරිත නිවී සැනසිල්ලේ කරන්න පුළුවන්කමක් තිබුනා නම්, උපරිම රංගන අත්දැකීම් තියන ජයනි සේනානායක කියන අති විශිෂ්ට රංගන ශිල්පිණියට චරිත හතර හතරවිදිහකට කරන එක මහා ලොකු කජ්ජක් නෙමෙයි.

ඉතිං මිත්‍රයා... කෞශල්‍ය පතිරණ ලියපු මේ මහපොළවේ පැළවෙන පිටපත වෙනුවෙන් හැම නළුවෙක්ම නිළියක්ම තමන්ගේ උපරිම දායකත්වය දීලා තියනවා. අමුතුම යුනික් ප්ලොට් එකක් තියන රට පවුල කියන්නෙ අපි ඇතුළෙ ඉන්න අපිටම කතා කරන, අපේ සමාජ ආර්ථික යථාර්ථය අපිටම ටොකු ඇනලා පෙන්නන ලස්සන ඩ්‍රාමා එකක්. ඔබ සංවර්ධනය වෙමින් පවතින රටක පුරවැසියෙක් නම්, ඔබ විශ්වයේ කොහේ හිටියත් රට පවුල බලන්නම ඕනෙ මිත්‍රයා. මේ වගේ ලස්සන ආතල් අත්දැකීමක් අපිට දුන්නට රට පවුල අධ්‍යක්ෂ Hasun Sameeraට Thank you very much.
සටහන - ලක්මිණ රණසිංහ
මාධ්‍ය හා නිර්මාණ විශ්ලේෂක
(creative group head publicis srilanka)
(මෙම සටහන Lakmina Ranasinghe ෆේස්බුක් පිටුව ඇසුරිනි.



