lan englan tam

විශේෂාංග

අර්බුදකාරී මොහොතක් ඔස්සේ දිගහැරෙන සිනමාත්මක විශ්ලේෂණය - "A House Of Dynamite"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Malintha Vithanage-

හොලිවුඩ් සිනමාව නිරතුරුව ඇමරිකානු පද්ධතිය ප්‍රශ්න කරන්නට යුහුසුලු වෙති. ඇමරිකානුවන් සතු අධ්‍යාපනය, සමාජය, ආරක්ෂාව සහ ආර්ථිකය විවේචනය කරමින්, ප්‍රශ්න කරමින් සිනමාකරුවන් සිනමාපට නිර්මාණය කරයි. සරල ආකාරයෙන් පවසනවා නම් ඔවුන් මේ ආකාරයෙන් ප්‍රශ්න කරන්නේ තමන්ගේ රටේ තිබෙන අර්බුදයන්ය.

 

vzxvxcv min

 

2025 වසරට අදාළව තිරගත වූ "A House Of Dynamite" සිනමාපටයෙහි ⁣තේමාව බවට පත්⁣වන්නේ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව බිඳ වැටීම පිළිබඳවයි. එහිදි චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ අනපේක්ෂිත ලෙස බාහිර සතුරු රටකින් ඇමරිකාව වෙත එක් මොහොතකදි එල්ලවන න්‍යෂ්ටික යුධ හිසක් සහිත බිලැස්ටික් මිසයිල ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීම වෙනුවෙන් ජනාධිපති, හමුදාපති ඇතුළුව ජාතික ආරක්ෂක පද්ධතිය විසින් දරණ රහසිගත උත්සාහයක් පිළිබඳවයි.

යම් අයෙකුට මෙම කතාව හුදෙක් ප්‍රබන්ධයක් (Fiction) පමණක් විය හැකියි. එය සැබෑවකි. මෙය නිශ්චිත ආඛ්‍යානයකින් සැදුම්ලත් ප්‍රබන්ධයකි. නමුත් මෙම කතාව හරහා ඉඟි කරන්නේ අනාගතයේදී එවැනි තත්ත්වයක් වෙත මුහුණ දෙන්නට සිදුවු⁣වහොත් ඇතිවන තත්ත්වයක ස්වරූපයකි. ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂීමා සහ නාගසාකි නගර දෙකට න්‍යෂ්ටික බෝම්බ හෙළා ඇති කළ විනාශයක් ඇමරිකාව වෙත ද එයාකාරයෙන් කෙදිනහෝ ඇතිවන්නට ඉඩ ඇති බව සිනමාපටය විසින් සංඥාගත කරන පණිවුඩයකි. ඇමරිකාව හෙවත් සිනමාපටයේ සංකේතාත්මකව දැක්වෙන "නිවස (House)" ආරක්ෂිත තෝතැන්නක් ලෙස පවතින අදහස විසුරුවා හරින අතර ඒ වෙනුවට එය අතීත පාපවල (හිරෝෂීමා - නාගසාකි ප්‍රහාරය) නටබුන්වලින් පිරුණු මනෝවිද්‍යාත්මක උගුලක් ලෙස ඉදිරිපත් කරයි. කළ යුත්තේ කුමක්දැයි නොදැන බියෙන් තැති ගැන්වී සිටින ඇමරිකානු ජනාධිපතිවරයා සිනමාපටයේ කතාව එක් දෙබසකට මෙයාකාරයෙන් කැටිකර දක්වයි.

''අපි ඉන්නේ ඩයනමයිට්වලින් හදපු ගෙදරක් ඇතුළේ වගේ. කොයිවෙලාවේ බිත්ති ටික පුපුරලා යයිද? කියලා කාටවත් කියන්න බැහැ.'' යනුවෙනි.

article l 202510297227578877000

 

"A House Of Dynamite" සාමාන්‍ය චිත්‍රපටයක් නොවේ. එය මිනිස් සබඳතාවන්හි පුපුරා යාම, විශ්වාසය බිඳ වැටීම සහ අප ආරක්ෂකාරී යැයි දැඩිව විශ්වාස කරන නිවහන ලෙස හඳුන්වන අවකාශයක බිඳෙනසුලු බව පිළිබඳව නිරූපණය කරයි. ආතතියෙන් හා සදාචාරාත්මක පරිහානියෙන් පිරි වාතාවරණයක් සමඟ, චිත්‍රපටය සාමාන්‍ය නිවසක් සංකේතාත්මකව කුඩා යුධ පිටියක් බවට පරිවර්තනය කරයි.

 

 

"A House Of Dynamite" ච්ත්‍රපට අධ්‍යක්ෂණය කර ඇත්තේ සම්මානලාභී සිනමාකාරියක වන 'කැත්‍රින් බිගෙලෝ' විසිනි. ඇය එසේ මෙසේ සිනමාකාරියක නොවේ. කැත්‍රින්ව ටයිම් සඟරාව විසින් නම් කර ඇත්තේ ලෝකයට බලපෑම් කළ හැකි පුද්ගලයන් සියදෙනකුගෙන් එක් අයෙකු ලෙසිනි. ඇයගේ සිනමාපට ලැයිස්තුව විපරම් කර බැලු කල බොහෝමයක් නිර්මාණය කරන්නට රුචි ඇත්තේ ඇමරිකානු දේශපාලනය සහ පද්ධතියේ දුර්වලතා පිළිබඳවයි. නිදර්ශනයක් ලෙස ඇය විසින් අධ්‍යක්ෂණය කළ 'Zero Dark Thirty' සිනමාපටය හරහා ඇමරිකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දේශපාලනිකව ගන්නා ඇතැම් තීන්දු තීරණ සහ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තියුණු විවේචනයක් සේ ගෙනහැර දක්වයි.

 

GettyImages 2233335532 1"A House Of Dynamite" ච්ත්‍රපට අධ්‍යක්ෂණය  කළ 'කැත්‍රින් බිගෙලෝ' (Kathryn  Bigelow) 

 

සිනමාපටයේ දක්නට ලැබෙන සුව්ශේෂත්වය ⁣වන්නේ කිසිදු ප්‍රධාන චරිතයක සේයාවක් පිටපතේ සඳහන් ⁣නොවීමයි. ප්‍රධාන චරිතය වන්නේ මිසයිල පැමිණීම හරහා සිදුවන අවුල් සහගත තත්ත්වයි. එය වටා චරිත බොහෝමයක් ගැවසෙයි. චිත්‍රපටය සම්පුර්ණයෙන්ම පාහේ දිවෙන්නේ දෙබස්වලිනි (Dialogues). ආතතිය (stress), කලබලකාරීබව, නොසන්සුන්තාව සියල්ල ඇති කරන්නට සමත් වෙන්නේ කැමරාකරණය (Cinematography) සහ සංස්කරණ (Editing) ක්‍රියාදාමය හරහායි. අවකාශයන් කිහිපයක සිටින එක් එක් පුද්ගලයන්ගේ දෘෂ්ටි කෝණයෙන් මෙම ප්‍රහාරය වෙත දක්වන ප්‍රතිචාරය සංස්කරණය වෙයි. අර්බුදකාරී වාතාවරණය පිළිබඳ තීව්‍ර වන්නේ බිය සහ තැතිගැන්වී සිටින චරිතයන්ගේ සමීප රූප (Close Ups) සහ මධ්‍යම රූප (Medium Shots) හරහායි. ඒම රූප ඛණ්ඩ සමඟ ඩිජිටල් සිතියම්, ඩිජිටල් වේලාව දැක්වෙන අතුරු ජේදන වෙත සංස්කරණය වෙයි.

 

A House Of Dynamite Movie Ending Explained Potus Daniel Gonzalez Olivia Walker Anthony Brady Jon Zimmer

 

මෙම ප්‍රහාරය ව්‍යර්ථ කරන්න දැඩි උත්සාහයක නියැළෙන ඇමරිකානු ජනාධිපති ඇතුළු රජයේ වගකිව යුතු නිළධාරින්ගේ හැසිරීම යථාර්ථවාදී ලෙස ඉදිරිපත් වෙයි. ඒ නිසාම චිත්‍රපටය ⁣ප්‍රේක්ෂකයා වෙත දැඩි සේ සමීප වන අතර ව්‍යර්ථ කිරීමේ මෙහෙයුම නරඹන ප්‍රේක්ෂකයා කොටස්කරුවෙක් බවට පත් වෙන එක වළක්වන්නට බැහැ. "A House Of Dynamite" සිනමාපටයක ඇති වැදගත්කම වන්නේ 21වැනි සියවසේ මානවයාගේ පැවැත්මේ ගමන්මග වඩාත් අනතුරුදායක බව රතු නිවේදනයක සේ ගෙනහැර දැක්වීමයි. අනාගත තුන්වැනි ලෝක යුද්ධයක් දක්වා පිඹුරුපත් සකස් වෙන බව මින් හැඟවෙන අතර ඒ සඳහා ඇමරිකානු රජය සතුව ඇති හොඳම යෝජනා මොනවාද? යන්න සිනමාකරු සිනමාපටය ඔස්සේ ප්‍රශ්න කරයි.

 

476237625 2101514566935849 5297727973837240105 n

කර්තෘ : මලින්ත විතානගේ (Malintha Vithanage)

(මෙම ලිපිය 2025 ඔක්තෝබර් 30 බ්‍රහස්පතින්දා 'සරසවිය' පුවත්පතේ මුල්වරට පළ විය.)

kemadasa

Back to top
Go to bottom