-Malintha Vithanage-
සිනමාකරුවකුගේ දෘෂ්ටිය සහ පරිකල්පනය, ප්‍රතිභා ශක්තිය ඇසුරින් මැවෙන සිනමානුරූපි රූපපෙළ සහ යථාර්ථය සංකලනය වීම සිනමාපටය යනුවෙන් සංකල්පගත වෙයි.
මෙනයින් බැලු කල 'මාරියා' සිනමාපටය යථාර්ථවාදී බවින් පොහොසත් කතාන්තරයක සිනමාත්මක රූප පෙළහරක් සහිත වියමනකි. ලාංකේය සිනමාව පසුගිය වසර කිහිපය පුරාවට කර්මාන්තයක් වශයෙන් යම් සාර්ථකත්වයක් අත්කර ගත්තද ගුණාත්මක සිනමාපටවල අඩුව පිළිබඳ ප්‍රේක්ෂකාගාරය දැඩි සේ මැසිවිලි නඟන්නට විය.

සත්‍ය කාරණය නම් ලාංකේය සිනමා කර්මාන්තය පැවැත්ම තිබුණේ ලංකාවේ සිනමාශාලාවල ප්‍රදර්ශනය කරන විදෙස් සිනමාපට නිසා ය. නමුත් මෙම වසරේ ලාංකේය සිනමාව තුළ ප්‍රබෝධයක් ඇති විය. විශේෂයෙන් මෙම වසරේ තිරගත වූ රාණී, නෙළුම් කුළුණ, වාලම්පුරි, ක්ලැරන්ස්, මෝඩ තරිඳු වැනි ගුණාත්මක වූ වාණිජමය චිත්‍රපට පෙළ ඇල්මැරුණු ප්‍රේක්ෂකාගාරය අවදි කරන්නට සමත් විය. එම සියළු චිත‍්‍රපට ආදායම් වාර්තා තබමින්, විචාරකයන්ගේ ඉහළ ප්‍රතිචාර හිමිකර ගත්හ. මෙනයින් බැලු කල අරුණ ජයවර්ධන නම් සිනමාකරුවා විසින් අධ්‍යක්ෂණය කළ 'මාරියා' ගුණාත්මක වශයෙන් කදිම චිත‍්‍රපටයක් ලෙස ප්‍රේක්ෂකාගාරය හඳුනා ගනී. මහා සයුරක් මැද ධීවර යාත්‍රාවක සිදුවන ගැටුමක් පිළිබඳ 'මාරියා' චිත‍්‍රපටයේ නිමිත්ත බවට පත් වෙයි. 2016 වර්ෂයේ මාර්තු මාසයේදී ඉන්දුනීසියාවේ බන්ගයි දූපත් ආශ්‍රිත මහ සයුරේ සිදු වූ සත්‍ය කතාවක් ආශ්‍රයෙන් ''මාරියා'' තිර පිටපත රචනා වී තිබේ.
සාමාන්‍යයෙන් සිනමා කෘතියක් සමාජයට අභියෝග කළ යුතු ය. නැත්නම් කලා කෘතිය තුළ පුද්ගලයාගේ ආධ්‍යාත්මයේ ඇති සංකීර්ණ ස්වභාවය පුද්ගලයාට අභියෝග කළ යුතු ය. සිනමාපටයේ එන සෑම චරිතයක් තුළ දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් ලෙස මිනිසාගේ හෘදය සාක්ෂිය හෙවත් තමා සමඟම කරන අරගලය විමසීම කැපී පෙනේ. එමෙන්ම ජීවිතය විග්‍රහ කරන විලාසය සමඟින් පුද්ගල යථාර්ථය තියුණු ලෙස නිරූපණය කරයි. බිය, උමතුව, කම්පනය, වරදකාරිත්වය, ව්‍යාකූලත්වය හෝ මානසික අස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කරමින් මිනිස් මනෝභාවය ගවේෂණය කරන්නට 'මාරියා' සමත් වෙයි. එය යථාර්ථවාදී ලෝකය අත්හැර දමා සිනමාකරුවා මවාපාන අලුත්ම මායා ලෝකය වෙත සංක්‍රමණය වී පදිංචි වීමක් වැන්න.
''One Location Film Script'' හෙවත් තනි අවකාශයක් වටා දිවෙන සිනමාපටයක් සඳහා තිර පිටපතක් ලිවීම නිර්මාණාත්මකව වශයෙන් වෙහෙස විය යුතු එකකි. අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන විසින් එම අභියෝගය ජයගෙන තිබේ. තෙරක් නොපෙනෙන සයුරක් මැද හුදකලා වූ ධීවර යාත්‍රාවක සිටින ධීවරයන් හය දෙනෙක් ඊට අහම්බෙන් ගොඩවෙන ආගන්තුකයාගේ මැදිහත්වීම ඔස්සේ සිදුවන ක්‍රියාදාමය ප්‍රේක්ෂකාගාරයට හෝරා දෙකක් පුරා ආකර්ෂණය කරගන්න සමත් වීම තරම් චිත්‍රපට තිරපිටපත සාර්ථකව රචනා වී ඇත. සිනමාකරුවා තුළ ඇත්තේ සමකාලීන සමාජය විශ්ලේෂණය කිරීමට ව්‍යවච්ඡේදනය කිරීමට ඇති දැඩි ආශාවයි.
රූප නිර්මාණය සහ ඩිලන්ත පෙරේරාගේ සංස්කරණය ද එකම ශෛලියක පිහිටයි. චන්න දේශප්‍රියගේ කැමරාකරණය විසින් ගොඩ නඟන රූප සමුදාය සෞන්දර්ය කැට් වු භීතියක තතු ගෙන එන්නට සමත් වෙයි. දෙබස් සහ සංවාද විසින් කතාව වඩාත් තීව්‍ර කරන ප්‍රධාන සාධකයකි. චරිත විකාශනය, හේතුඵල සම්බන්ධතාවෙන් ද චරිතවල විශ්වසනීය බවත්, මනුෂ්‍ය ගතිලක්ෂණත් ඉස්මතු වෙි.
බෙනට්, වීලි, ඇන්තනි, ඔස්කා, මාලන්, ටෙනී සහ ඩයියා අතර සම්බන්ධතාව ගැඹුරු සංකීර්ණ මානුෂික අත්දැකීමක් බවට තිර රචනයේ සුසාධිත බව ප්‍රකට කරයි. චිත්‍රපටය පුරා නළු නිළියන්ගේ රඟපෑම ප්‍රේක්ෂකාගාරයේ වඩාත් අවධානය දිනාගන්නකි. විශේෂයෙන් නළු ප්‍රියන්ත සිරිකුමාර, හේමාල් රණසිංහ, දසුන් පතිරණ, මහේන්ද්‍ර පෙරේරා සහ සුරන් දසනායක රංගනය වඩාත් ප්‍රශස්ථ රංගනයක් ඉදිරිපත් කරන්නට සමත් වෙයි. චින්තක ජයකොඩිගේ පසුබිමි සංගීතය චිත‍්‍රපටය සඳහා ලැබෙන කුතුහලය මුසු භයංකාරත්වය දැඩි ලෙස තීව්‍ර කරයි.

"මාරියා" වඩාත් සමීප වන්නේ පාරිභෝජනවාදය නිසා වීකෘති වූත් පාදඩකරණයට ලක්වූත් සංකීර්ණ සමාජයේ ආශාවන් හඹා යන වසඟකාරී ස්ත්‍රීයක් නිසා ඉරණමට ගොදුරු වන පිරිමි සමූහයක් වෙතටයි. දශක ගණනාවක් පුරා ලෝක සිනමාවෙි කාන්තාව ප්‍රධාන චරිතය ලෙස විවිධ අයුරින් නිරූපණය වී ඇති අතර විටෙක ඇය වින්දිතයෙකු ලෙසත්, ස්ත්‍රීවාදිනියක ලෙසත් සිනමා තිරය මත පෙනී සිටියි. වාණිජ සිනමා ශානරය තුළ කාන්තාව 'උතුම් ස්ත්‍රීය' හා 'පාපතර ස්ත්‍රීය' යනුවෙන් ද කාන්තා ප්‍රජාව තිරය මත නිරූපණය වීම පිළිබඳ කොටස් දෙකකට බෙදා වෙන්වෙයි. කෙසේවෙතත් ස්ත්‍රිය සෑම විටම සිනමාව සහ ටෙලිවිෂන් මාධ්‍යයේ ස්ථානගත වන්නේ ලිංගික වස්තුවක් එසේත් නැත්නමි ලිංගික භාණ්ඩයක් ලෙසින් බව අපි දනිමු. සත්‍ය පිටපත අහිමි වූ ස්ත්‍රීය වර්තමානයේ ලාබෙට විකිණෙන ලිංගික පහස උදෙසාම නිර්මිත බොනික්කන් බවට පත්ව ඇත. ලිංගික බෝනික්කා හරහා සංඥා කරන්නේ කුමක්ද? කුරිරු ධනවාදය සහ අධි පාරිභෝජනවාදය විසින් අත්කර දී ඇති ලිංගිකත්වය පිළිබඳ විකෘතීන් ය. වර්තමානයේ මිනිසුන් තම ආශාවන්ගෙන් මන දොළ සපුරා ගන්නේ සත්‍ය පිටපත ඔස්සේ නොවේ.
වර්තමාන ලෝකය තුළ යථාර්ථය මියගොස් ඇත (End of reality). ඒ වෙනුවට පවතින්නේ යථාර්ථය මෙන් නිරූපණය වන එහෙත් සත්‍ය නොවන යථාර්ථයයි. වර්තමානය වන විට යථාර්ථයේ පිළිබිඹුව යථාර්ථයට වඩා ප්‍රබල ආස්ථානයකට පත්ව තිබේ. මෙම තත්ත්වයට රූපවාහිනිය, චිත‍්‍රපටය, අන්තර්ජාලය, බඳු නවීන සන්නිවේදන ක්‍රමයන්හි අනවරත බලපෑමෙහි ප්‍රතිවිපාක බලපා තිබේ. දෛනික ජීවිතයෙහි නිරතුරුවම බලපෑම් ඇති කරන වෙළඳ දැන්වීමි ප්‍රචාරණ ක්‍රම ද මෙම තත්ත්වය ඇතිවීමට බෙහෙවින් බලපා තිබේ. ස්වභාවික නත්තල් ගසට වඩා විසිතුරු ප්ලාස්ටික් නත්තල් ගසක් පාරිභෝගිකයාගේ අවධානය දිනාගන්නා අතර එය බෙහෙවින් ප්‍රචලිත වී තිබේ.
ප්ලාස්ටික් නත්තල් ගසට මුල් පිටපතක් නැත. එනම් මෙය අනුකෘතියක් වන අතර එය අධියථාර්ථය ජනනය කරයි. ''මාරියා" චිත්‍රපටයේ ප්ලාස්ටික්, රබර් බෝනික්කා හරහා සංඥා කරන්නේ මෙම අදහසයි. චිත‍්‍රපටය හුදු ජන විනෝදාස්වාද පරිභෝජන භාණ්ඩයක් වෙනුවට බුද්ධිමය අවියක් ලෙස යොදා ගැනීමේ වැදගත්කම ඉස්මතුවන්නේ මෙම අදහස තුළය. ''මාරියා'' වෘතාන්තය හරහා මිනිසුන් එදිනෙදා ජීවිතයේ සිදු කරන අශිෂ්ට අනුවණ වැඩ සහ මෝඩ හැසිරීමි නිසා සමස්ත පද්ධතියම විශාල අවුලක් නිර්මාණය කරන බව අපුරුවට නිරූපණය වෙනවා. එක් පසෙකින් පිරිමියෙකුට ජීවිතයේ අතවශ්‍යම ලිංගික සබඳතාව පිළිබඳ කාරණය ඉතාමත් සියුම්ව සාකච්ඡාවට ගෙන එන්නකි. ''මාරියා'' සමාජ ව්‍යාපෘතියක සිනමාලංකාරයකි. එක්ස් කිරණ කැමරාවක් මෙන් අපගේ සමාජ ජිවිතය නමැති මෙම දේහය තුළ ඇති ව්‍යාධීන් විනිවිදව දැක්වීම ''මාරියා'' හරහා සිදුවන අතර ලාංකේය සිනමාවට දැඩිව අවශ්‍ය පවතින මෙවැනි සිනමාපට විසින් ප්‍රේක්ෂකාගාරයේ බුද්ධිමය සහ විනෝදාස්වාද දිශානතිය ද යාවත්කාලීන කිරීම අතිශය වැදගත් ය.
කර්තෘ: මලින්ත විතානගේ (Malintha Vithanage)
(මෙම ලිපිය 2025 දෙසැම්බර් 26වන සිකුරාදා දින දිනමිණ පුවත්පතේ මුල්වරට පළ විය.)












