මුඩුක්කු පේළියේ වැසිකිළියකට යන 'දේවි' ළාබාල තරුණියක්. අෑ සිය ගවුම ගලවා සාරියකින් සැරසෙයි. සාරියට පරිණත යුවතිය ඉන් පිටව දිව යන්නේ නුදුරෙන් සිටින පෙම්වතා වෙතට.
දෙදෙනා නතර වන්නේ පහළ මධ්‍යම පාන්තික හෝටල් කාමරයක් තුළ. ප්‍රේමයේ නිම්වළලු ඉක්මවා ගොස් දෙදෙනා හුදකලා කාමරයේ සෙනෙහසේ සීමා මායිම් බිඳ දමනවා.
හිටි අඩියේ හෝටල් කාමරයෙහි ෙදාර කඩා කාමරය තුළට කඩාවදින්නේ පොලිසිය. පෙම්වතාට පොලිසිය පහර දෙන අතරේ එක් පොලිස් නිලධාරියෙක් සිය ජංගම දුරකතනයෙන් යුවතියව වීඩියෝ ගතකර ගන්නවා.
පොලිස් තර්ජනයෙන් දැඩි මානසික පීඩනයට පත්වන තරුණයා නාන කාමරය තුළට වැදෙනවා. මොහොතකින් හමුවන්නේ සියදිවි හානි කරගත් තරුණයාගේ සිරුර.
සිය ජංගම දුරකතනයෙන් රූගත කළ යුවතියගේ අඩ නිරුවත් දසුන් යොදාගෙන පොලිස් නිලධාරියා යුවතියගේ වයෝවෘද්ධ පියාගෙන් රුපියල් ලක්ෂ 3 ක කප්පම් මුදලක් මාස 3ක් ඇතුළත ගෙවන ලෙස ඉල්ලා සිටිනවා. නොදුන්නොත් ඇගේ නිරුවත මාධ්‍යට මුදාහරින බවට තර්ජනය කරනවා.
සතියක් පමණ හිත පුරා කහට පැල්ලමක් ඉතිරි කළ 'මසාන්' චිත්‍රපටයේ කතාව දිවෙන්නේ ඔහොමයි. සමහරවිට ඔබ එය නරඹා ඇතිවා වන්නට පිළිවන. වාරාණසී නොහොත් බරණැස් නුවර බිඳ වැටෙන නූතන තරුණ ජීවිත දෙස 'වෙනස් ඇසක්' හෙළන සිනමා වියමනක් ලෙස 'මසාන්' හැඳින්විය හැකියි.
නීරාජ් ගේවන්ගේ කුලුඳුල් සිනමා කෘතිය වන 'මසාන්' ලොව විශිෂ්ටතම සිනමා උළෙල ත්‍රිත්වයෙන් එකක් වන ප්‍රංශයේ කාන් සිනමා උළෙලේදී සම්මානනීය වන චිත්‍රපටයක්. එකම චිත්‍රපටයේ එකකට එකක් (නො)පෑහෙන කතා දෙකක් අරුමැසි ලෙස ප්‍රේක්ෂක ඇස් සසල කරන්නට සමත්.
එහි අනෙක් කතාව සාම්ප්‍රදායික වට්ටෝරු රටාව යාන්තමට අල්ලමින් එහෙත් ඊට එහා ගිය විසිතුරු කතාවක් කියා පානවා. ගංගා නම් ගඟ අසබඩ මළ සිරුරු පිච්චීම පරම්පරා රැකියාව ලෙස කරන දීපක් තරුණ සිවිල් ඉන්ජිනේරු සිසුවෙක් විශ්වවිද්‍යාල නිවාඩු දිනවල ඔහු ගඟ අසල පඩිපෙළට පැමිණ මළමිනී පිලිස්සීමට සිය පියාට උදව් කරනවා.
සැණකෙළි බිමකදී අහම්බෙන් මුණගැසෙන කුරුලු ඇස් ඇති යුවතිය 'ශාලූ' බාරාණාසියේ බ්‍රාහ්මණ කුලයේ යුවතියක්.
ඇයට තිබෙන්නේ කතා කරන ඇස්. ඇගේ ඇවතුම් ලස්සනයි. දෙදෙනාගේ ඇස් එක්කාසු කරන්නේ පරිගණක පන්තියේදී. දෙදෙනා එකවිට උඩ දමන බැලුන් දෙකකට පස්සේ දෙදෙනා ප්‍රේම කරන්නට පටන් ගන්නවා.
එහෙත්, අහසට පොළව තරම් නොපෑහෙන කුල ධූරාවලියේ 'තාප්පය' 21 වන සියවසේත් යන්තමටවත් ඉරිතළා නැහැ. තරුණ ඉන්ජිනේරු සිසුවාත් ඔහුගේ ප්‍රේමය ශාලුත්, දේවි හා පියාත් යන චරිත හතර අපූරුවට සිතුවම්ව හිත් පුරා සැරිසරනවා. පොලිස් නිලධාරියාට වාරික ලෙස ගෙවන කප්පම් වෙනුවෙන් දේවිගේ පියාට සහාය වෙන්නේ ජොන්ටා නමැති කුඩා අට වියැති වීථි පිරිමි දරුවෙක්. ඔහු දේවිගේ පියාට සහාය වන්නේ දියට විසිකරන කාසි දිය යට කිමිදී අහුලාගෙන විත් කරන සූදුවකින්.
චිත්‍රපටයේ තිබෙන්නේ ගීත 4ක් විතරයි. ඒ ගීත හතරම චිත්‍රපටයට ඕනම ගීත.
කැමරාව අල්ලා ගන්න රූප රාමු අතිශය නිර්මාණශීලීයි. එකකට එකක් වෙනස් විදිහට මතුවෙන කතන්දර අවසානෙට එකම තැනක ගොනුවෙන හැටි 'මසාන්' තුළින් ඇස් අද්දරට ගේනවා. හැම ජීවිතයකම 'ආදාහනාගාරයක්' පවතින හැටිත් මසාන් කියා දෙනවා.
රංජිත් කුමාර සමරකෝන්