සකුඤාවෙන් හා මනසින් ද යුක්ත වූ
බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම
ලෝකයත්, ලෝකයේ හටගැන්මත්,
ලෝකයේ නැතිව යෑමත්, එහි ම
නැතිවීමට හේතු වන මාර්ගයත් පණවමි.
- බුදුන් වහන්සේ.
එකට හිටි අය ගැන මෙවැනි සටහනක් තබන්නට වේ යැයි මම නොසිතුවෙමි. අපේ සනුහරේ එවුන් එක එකා අප හැර යන්නට පටන් ගෙන තිබේ. වසර 35කට අධික කාලයක් පුරා සිටි මිතුරකු වු සුනිල් මිහිඳුකුල අද උදෑසන අප හැර ගිය ශෝකජනක පුවත මට පැවසුවේ භක්ති ප්රෙබෝධනය සඟරාවේ සංස්කාරක රූපස් ප්‍රැන්සිස් සොහොයුරා විසිනි.
මා සුනිල් හඳුනා ගත්තේ 1980 පමණ කාලයේය. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති සම්මන්ත්‍රණයකදී මුලින්ම හඳුනාගත් අපි පසුව සමීප මිතුරන් වීමු.
1981 වසරේ මම රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙසතිය සඟරාවේ විශේෂාංග ලේඛකයකු බවට පත් විමි. එවක දෙසතියේ සිටි ලේඛකයන් අතලොස්ස අතර කලා ලිපි ලියුවේ සුනිල් මිහිඳුකුලය. කලින් දැන හඳුනා සිටි අපේ මිතුදම දෙසතියේදී තවදුරටත් වැඩී ගියේය. අප මිතුරු සමාගම තිදෙනකුගෙන් සමන්විත විය. ඒ මා සුනිල් හා පසුකාලයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කොට මෑතක විශ්‍රාම ගිය ප්‍රකට සාහිත්‍ය විචාරකයකු වන සමන් වික්‍රමාරච්චිය.
සරල, වගකීම් රහිත, කෙළිලොල් දිවියක් ගෙවූ අප දවසේ සැඳෑ සමය ගෙවුයේ එක්කෝ ලයනල් වෙන්ඩ්ට් හෝ ජෝන් ද සිල්වා රඟහලේ නාට්‍ය නරඹමින් නැතිනම් මැජස්ටික්, එම්පයර්, නිව් ඔලිම්පියා, ලිඩෝ, රිට්ස් වැනි සිනමාහලක හෝ කොළඹ කලාගාරයක චිත්‍ර ප්‍රදර්ශන නරඹමින් හෝ පොත් සාප්පුවල ගැවසෙමිනි.
එකල යොවුන් වියේ සිටි අපගේ ජීවිත ගෙවී ගියේ ඉතා සැහැල්ලුවෙනි. දෙසතියේ නියෝජ්‍ය කතුවරයා වූ වින්සන්ට් පෙරියප්පෙරුම මහතා අප තිදෙනා හැඳින්වූයේ දෙසතියේ ‘එස් ට්‍රිබල‘ යනුවෙනි. ඒ අප තිදෙනා එකටම සිටි නිසාත් අපේ නම් ‘එස්‘ අකුරින් ආරම්භ වූ නිසාත්ය
දෙසතියේ වැඩ අවසන් වීමෙන් පසු අප තිදෙනා කොහේ හෝ තිබූ කලා කටයුත්තකට සහභාගී වීමු.සුනිල් බොහෝ පොත පත කියෙව්වේය. ඔහු නව වදන් තම ලිපිවල යෙදීමට උනන්දු විය. ඔහු තුල වූ රැඩිකල් ආකල්ප තම ලිපිවලින්ද ප්‍රකට කළේය. ඔහුත් මාත් සමනුත් ඇතැම්ව විට වරු ගණන්න් වාද කළෙමු.ඒ කුමක් හෝ පොතක්, චිත්‍රපටයක් නාට්‍යයක් හෝ ගීතයක් පිළිබඳවය.
මුල් කාලයේ සුනිල්ට නවකතාවක් හෝ කෙටි කතාවක් ලියන්නට ලොකු ආසාවක් තිබිණි. දිනක් ඔහු මේ පිළිබඳව සමන්ට පැවසුවේය. එවිට සමන් මෙසේ ඇසීය
‘උඹ ලේඩි චැටලීස් ලවර් කියවල තියෙනවද‘
‘නැහැ‘
ඔහු තවත් පොත් කිහිපයක නම් ඇසුවේය. සුනිල් නැහැ යනුවෙන් පැවසීය. එහෙනම් ඒව කියවල හිටපන් නවකතාවක් ලියන්න ඉස්සෙල්ලා. සුනිල් එම අවවාදය හිස් මුදුනින් පිළිගත්තේය. සියලු පොතපත සොයා ගෙන කියවන්නට උනන්දු විය. මා දන්නා පමණින් සුනිල් ලියූ එකම කෙටිකතාව පලවුණේ දිවයින පුවත්පතේය. එහි නම ‘උකුස්සා‘ ය.
පසු ඔහු සිනමා පුවත්පත් කිහිපයකම සේවය කළේය. පසු කාලයේ ලේක්හවුස් ආයතනයට එක් වූ ඔහු දිනමිණ පුවත්පතේ සේවය කොට පසුව සිඵමිණ පුවත්පතේ රසඳුන අතිරේකයේ සංස්කාරකවරයා වශයෙන් කටයුතු කොට විශ්‍රාම ගත්තේ පසුගියදාය.
ඔහුත් මාත් බොහෝ ගමන්බිමන් ගොස් ඇත්තෙමු. විවිධ ලේඛකයන්, කලාකරුවන්, සිනමාකරුවන් හා සමඟ කෙරුණු සම්මුඛ සාකච්ඡා සඳහා අපි එක්වීමු. ඇතැම් විට සමන්ද එක්විය. එම ගමන් බොහෝ සුන්දර වූ අතර අප අතර විවිධ ශාස්ත්‍රීය සාකච්ඡා මෙන්ම කුනුහරුප කතාද නොඅඩුවම තිබිණි.
මිහිඳුකුලගේ සුනිල් තෝමස් කයිතන් ප්‍රනාන්දු ලෙසින් බෞතීස්ම කරනු ලැබුවද සුනිල් තම නම සුනිල් මිහිඳුකුල වශයෙන් භාවිත කළේය. ඔහුගේ පියාගේ ගම මීගමුව වූ බැවින් බොහෝ ඥාතීන් මීගමු දූවේ සිටි අතර දූවේ පාස්කු සංදර්ශනය නැරඹීමට අප දෙදෙනා බොහෝ අවස්ථාවල එහි ගොස් එම ඥාතීන්ගේ නිවෙස්වල රැය පහන් කළෙමු.
පනස් වසරක සිංහල චිත්‍රපට නාමාවලිය, ලෙස්ටර් ජේම්ස් පීරිස් හා සිංහල සිනමාව,සිනමාකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ, ජයවිලාල් විලේගොඩ ගේ තෝරාගත් සිනමා විචාර,කඩවුණු පොරොන්දුව සහ මිනර්වා චිත්‍රපට සම්ප්රදාය,සිංහල සිනමා සිහිවටන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍යාවලිය, රුක්මණීදේවි නිළිය, ගායිකාව සහ ජනප්‍රිය සංස්කෘතිය, සිනමා සංස්කෘතික ප්‍රාඥයා වැනි කෘති රැසක් රචනා කළ ඔහු සිංහල සිනමා සාහිත්‍යය පෝෂණය කිරීම සඳහා උපරිම වශයෙන් දායක විය.
බුද්ධදාස ගලප්පත්ති සොහොයුරා සහ සමන්ත හේරත් සොහොයුරාගේ මූලිකත්වයෙන් ඔහු වෙනුවෙන් මින් සති කිහිපයකට ඉහත පැවැත්වූ උපහාර උළෙල ඔහුගේ ජිවිත කාලය තුල ඔහු ලද ඉහළම පිළිගැනීම යැයි මට සිතේ. මිය ගියාට පසු උපහාර පුදනවාට වඩා ජිවතුන් අතර සිටින සමයේ ඔහු වෙනුවෙන් එවැනි උපහාර උළෙලක් සංවිධානය කිරීම අතිශයින් වැදගත්ය. ඇවිද යාමට අසීරු තත්ත්වයේ සිටියද මිතුරන්ගේ වාරුවෙන් උත්සවයට සහභාගී වූ ඔහු එදින ඉමහත් සතුටින් පසුවූයේය. පසුගියදා පැවැති ජනාධිපති සම්මාන උළෙලේදී සිනමා සාහිත්‍ය වෙනුවෙන් ඔහු කළ සේවය අගය කරමින් පුරෝගාමි සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබුවේය.
මා අවසන් වරට ඔහු සමග දුරකතනයෙන් කතා කලේ පසුගිය සතියේ බදාදාය. සෙනසුරාදා ඔහු බැලීමට නිවෙසට පැමිණෙන බව කියූ විට ඔහු කීවේ ‘අනේ මචං ලොකු දෙයක් වරෙන් වරෙන් කියාය.‘ එහෙත් මට එම පසුගිය සෙනසුරාදා එහි යාමට නොහැකි විය. පෙරේදා ඔහු ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ බව මට ආරංචි වූ බැවින් ඔහු බැලීමට එහි යාමට සිටින විටදීය ඔහු අප හැර ගිය බවට වන පුවත මා වෙත ලැබුණේ.
අතීතයේ අප එක්ව සිටි අතීත ස්මරණ මත මම මොහොතක් ඇවිද ගියෙමි. ජීවිතය සුන්දරය. අප ඒ සුන්දරත්වය වින්දෙමු. රැහේ එවුන් එකිනෙකා මරණයේ තොටුපළින් නික්ම යාම අරඹා තිබේ. අපද දිනයක නික්ම යාම සඳහා සූදානම් විය යුතුය.
ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු ජුනි 1දා සවස රුක්මල්ගම පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය කොට්ටාව රුක්මල්ගම පන්සල පාරේ පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇත.
සුනිල් ඔබේ ආත්මයට මොක් සුව පතමි.
ප්රියන්ජන්සුරේෂ් ද සිල්වා