නූතන දෙබස් නාටකයේ නිර්මාතෘ ලෙස සැලකෙන නෝර්වීජියානු නාට්‍යකරු හෙන්රික් ඉබ්සන්ගේ “හෙඩා ගාබ්ලර් (Hedda Gabler) නාට්‍යයේ එන හෙඩා නමැති විවාහක කාන්තාවගේ චරිතයෙහි එන සංකීර්ණතාව නිසාම එය හැඳින්වුණේ “හැම්ලට්ගේ ස්ත්‍රී භූමිකාව” (Female Hamlet) ලෙසිනි. බ්‍රිතාන්‍ය නාට්‍ය අධ්යක්ෂවරියක වන කැට්රිනා මිශෙල් පවසන ආකාරයට, ගැඹුරු චරිත නිරූපණයෙහි යෙදෙන රංගන ශිල්පිනියකට පැනීමට සිදුවන ගිනි වළලු අතරින් එකක් වනුයේ හෙඩා ගාබ්ලර් භූමිකාවයි.
1907 දී හෙඩා ලෙස රඟ පෑ ඇලා නැසිටෝවාගේ සිට ග්ලෙන්ඩා ජැක්සන්, ජුලියට් ස්ටීවන්සන්, කැතරින් ෂට්ලර්, ඉන්ග්‍රීඩ් බර්ග්මාන් සහ රීටා රම්නානි ආදි විශිෂ්ට රංගන ශිල්පිනියන් රැසකටම වේදිකාවේදී හා සිනමාවේදී මෙම චරිතය නිරූපණය කිරීමේ ගෞරවය හා භාග්‍යය හිමිවුණි.
එම නාමාවලියට අලුතින්ම එක් වන්නේ බ්‍රිතාන්‍ය නිළි රූත් විල්සන්ය. (Ruth Wilson) මෙවර “හෙඩා ගාබ්ලර්” අධ්‍යක්ෂණය කරන්නේ බෙල්ජියානු ජාතික ඉවා වැන් හොව්ය. කලා අධ්‍යක්ෂවරයෙකු මෙන් ම චිත්‍රපට අධ්යක්ෂවරයකු ලෙසින්ද ප්රකටව සිටින වැන් හොව්, විවිධ ශෛලීන්ගේ නාට්‍ය නිෂ්පාදනයෙහි යෙදුණෙකි. ආතර් මිලර්ගේ “අ මීට් ෆ්‍රොම් ද බ්‍රිජ්, කෘසිබල් බරග්මාන්ගේ “සීන්ස් ෆ්‍රොම් ද මැරේජ්” හා සොෆොක්ලීස් ගේ “ඇන්ටිගනී” ඒ අතර වෙයි.
හොඳම අධ්‍යක්ෂණය සඳහා පිරිනැමෙන සම්මාන රැසකින් ඔහු පිදුම් ලැබුවේය.
නවතම “හෙඩා ගාබ්ලර්” වන රූත් විල්සන්, වැන් හොව් ගේ මුල් නාට්‍ය නිෂ්පාදන නැරැඹීමෙන් ඔහු කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන සිටියාය. එහෙත් “හෙඩා ගාබ්ලර්” නාට්‍යයේ කිසිදු වේදිකා නිෂ්පාදනයක් දැක තිබුණේ නැත.
පාසල් වියේ සිටම නාට්‍ය කලාව කෙරෙහි ඇල්මක් ඇතිව සිටි රූත් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ ඉතිහාසය විෂයෙනි. එහෙත් විශ්වවිද්යාලයෙහිදිත් නාට්‍ය හා රංග කලාව ද අතිරේක විෂයක් ලෙස උගත් ඇය පසුව, නාට්‍ය පාසලකටද ඇතුළු වූවාය. මෙම පසුබිම නිසා, හෙඩා ගාබ්ලර් චරිතය ගැඹුරින් හැදෑරීමට ඇය සමත් වූවාය.
බී.බී.සී. ගුවන් විදුලිය සමඟ කළ සංවාදයකදී රූත් විල්සන් මෙසේ පැවසුවාය. “මම රංගනයේදී සැබෑ ජීවිතයට වඩා අවංකයි”. නිළියක වශයෙන් රූත් සතු කැපවීම සහ චරිතාවබෝධය කෙතරම් දැයි ඉන් පැහැදිලි වේ.
ඉබ්සන්, සර්ව භෞමික, සර්ව කාලීන ස්ත්‍රී චරිත දෙකක් නිර්මාණය කළේ ය. හෙඩා ගාබ්ලර් හා “අ ඩෝල්ස් හවුස්”(A Doll’s House) නාට්‍යයේ නෝරා හෙල්මර් යනු ඔවුන්ය.
විචාරකයන් විසින් ඉබ්සන් නාට්‍ය හඳුන්වනු ලැබුවේ යථාර්ථවාද ගැටලු නාට්‍ය(Realistic Problem Drama) නමිනි. 1879 තරම් ඈතකදී එළි දැක්වුණු “ඩෝල්ස් හවුස්” නොහොත් “බෝනිකි ගෙදර” තරම් ලෝක මාධ්‍ය කලාව තුළ, ස්ත්‍රීන් හා සංස්කෘතික බලපෑම් පිළිබඳ කතිකාවන් ඇති කළ වෙනත් නිර්මාණයක් නැති තරම් ය. අමරදාස වීරසිංහ හා ගණනාථ ඔබේසේකර විසින් “සෙල්ලම් ගෙය” (1957) නමින්ද, විජිත ගුණරත්න විසින් “නෝරාගෙ ගෙදර” (1986) නමින්ද සුනිල් විජේසිරිවර්ධනයන් විසින් “බෝනිකි ගෙදර (2000)” නමින්ද මෙම කෘතිය සිංහලට පරිවර්තනය කෙරිණි.
1965 දී සුනන්ද මහේන්ද්‍ර විසින් “හෙඩා ගාබ්ලර්” නාට්‍යය “ගැහැනියක්” නමින් සිංහලට අනුවර්තනය කොට නිෂ්පාදනය කරන ලදී. එහිදී හෙඩාගේ චරිතය හැඳින්වුණේ ඩල්සි ගුණතිලක නමිනි. එය නිරූපණය කළේ රංගන ශිල්පිනී මාලනී වීරමුනි ය.
ඊට දිගු කලකට පසු, ශාස්ත්‍රී මල්ලවආරච්චි විසින්ද “හෙඩා ගාබ්ලර්” සිංහල නිෂ්පාදනයක් වේදිකා ගත කළ අතර එහිදී ප්‍රධාන චරිතය රඟපෑවේ චමිලා පීරිස් ය.
“ගැහැනියක්” මුද්‍රිත පිටපතේ පෙරවදන අරඹමින් සුනන්ද මහේන්ද්‍රයන් මෙසේ සඳහන් කර ඇත.
“අද්භූත නාට්‍ය සම්ප්‍රදායට වඩා, ස්වාභාවික නාට්‍ය සම්ප්රදාය මගින් සමකාලීන ජීවිත ගැටලු විවරණය කළ හැකි බව ඉතා පැහැදිලි ලෙස යුරෝපීයනට පෙනෙන්නට වූයේ 19 වෙනි සියවසේ මුල් භාගයේදී පමණය. එය මූලික වශයෙන්ම නෝර්වීජියන් ජාතික ඉබ්සන් නිසා සිදුවූ පුනරුදයක් බව කිව හැකිය.
ඩෝල්ස් හවුස් (සෙල්ලම් ගෙය) 1889 දීත් “ගෝස්ට්ස්”(අවතාර) හා හෙඩා ගාබ්ලර් 1891 දීත් ලන්ඩන් නුවර මුල්වරට පෙන් වූ විට එකල ඉංග්‍රීසි විචාරකයෝ තැති ගත් බව වාර්තා වේ. “කැත වැඩක් එළි පිට පෙන්වීම කලාව දැයි, එක් විචාරකයෙක් අසා තිබේ.”
ඉබ්සන්, ගැහැනියගේ නිදහස් මතික බව අගය කරමින්, සිය භූමිකාවන් තුළින් එබඳු චරිත ලක්ෂණ මතු කළේය. සදාචාරාත්මක දෘෂ්ටි අවුලක පැටලී සිටි ප්‍රේක්ෂකයන් පමණක් නොව විචාරකයන්ටද ඔහු නොරුස්සන්නට ඇත්තේ එහෙයිනි.
නෝර්වීජියානු සමාජය තුළ පහළ ස්ථරවල සිටි කතුන්ට පමණක් නොව මධ්‍යම හෝ ඉහළ මධ්‍යම පංතික කතුනටද ගත කරන්නට සිදුව තිබුණේ විවිධ තහංචි හා සමාජ - සංස්කෘතික පීඩනයන් මධ්‍යයෙහිය. එවැනි සමාජයක පුරුෂාධිපත්‍ය තදින්ම දක්නට ලැබුණි.
ඉබ්සන්ගේ නිර්මාණ තුළටද සමීප ඔහුගේ පෞද්ගලික ජීවිතයට බලපෑ කාන්තාවන් කීපදෙනෙකු බව, පර්යේෂකයෝ පෙන්වා දෙති. ඔහුගේ මව, සොහොයුරිය, ඔහුගේ බිරිය හා තවත් කාන්තාවන් කීප දෙනෙක් ඒ අතර වෙති.
ස්ත්‍රීවාදී නවකතාකාරියක මෙන්ම ස්ත්‍රී නිදහස සඳහා කැප වූ සටන්කාමි කාන්තාවක වූ කැමිලා කොලට්, ඉබ්සන්ගේ බිරිඳගේ මිතුරියක වූවාය. ඉබ්සන්ද ඔවුන්ගේ කටයුතුවලට සහාය දැක්වූයේය.
ඔහුගේ හෙඩා සහ නෝරා වැනි චරිතවලට, මෙම කාන්තාවන් බෙහෙවින් බලපෑ බව පෙනී යයි. අවසානයේදී ඉබ්සන් නාට්‍ය හරහා එය මුළුමහත් යුරෝපය දක්වාම පැතිර යන දෘෂ්ටියක් බවට පත්වෙයි.
ඉබ්සන් විසින් ලියා ඇති නාට්‍ය සංඛ්‍යාව 145 ක් පමණ වේ. ඔහුගේ සමාජ දැක්ම පිළිබිඹු වන “Peoples Enemy” නාට්‍යය, විජිත ගුණරත්න විසින් “ජනතා ද්‍රෝහියා” නමින් සිංහලට නගා පළ කොට ඇත.
තම මිතුරකුට ලියූ ලිපියක, ඉබ්සන් මෙසේ සඳහන් කොට ඇත. “මගේ අභිප්‍රාය වූයේ ඊනියා ගැටලු” සමඟ ගනුදෙනුවක් නොවේ.
මිනිසා පිළිබඳව, ඔහුගේ මනෝභාවයන් හා ඛේදවාචකයන් පිළිබඳව, වර්තමාන සමාජ පදනම මත පිහිටා විවරණයක යෙදීමයි.” ඉබ්සන් අදටත් වලංගු වන්නේ ඔහුගේ ඒ පුළුල් මානවවාදී දැක්ම නිසා නොවේද? හෙඩා ගාබ්ලර්ලා, නෝරා හෙල්මර්ලා මෙන්ම ජන සතුරෝද තවමත් අප සමඟය.
කපිල කුමාර කාලිංග විසින් සම්පාදිත ලිපියකි