මහාචාර්ය විමල් ජී. බලගල්ලේගේ 93 වැනි ජන්ම දිනය වෙනුවෙන් උපහාර උත්සවයක් පසුගිය 24 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. විශිෂ්ට භාෂා පඬිවරයකු වන මහාචාර්ය බලගල්ලේ ශාස්ත්‍රීය ග්රන්ථ රැසක කතුවරයෙකි. වර්තමාන භාෂා ගැටලු ගැන ඔහු අප සමඟ කතාබහ කළේ මේ අයුරිනි.
වර්තමාන සිංහල භාෂා භාවිතය බොහෝ වැරදි සහිත බව පේනවා. මේකට හේතුව ඔබ දකින්නේ කෙසේද?
අද තරුණ සමාජය නීතිරීතිවලට අකමැති බවක් පේනවා. වැඩිදෙනා යන පාරේ යාමට ඇති අකමැත්ත, කැපීපෙනීම සඳහා වැඩිදෙනෙක් යන මාර්ගයෙන් ඉවත්ව ගමන් කිරීමට පෙළඹීම වගේ දේවල් දකින්න පුළුවන්. මේක භාෂාව සම්බන්ධයෙනුත් බලපාන බව මට පේනවා.
මේ නිසා ද භාෂාවේ සම්මතයන් මරාදැමීමට සමහරු පෙළඹෙන්නේ?
ඔව්. මේ හේතුව නිසා කාලාන්තරයක් තිස්සේ අනුගමනය කළ නීතිරීති, ප්‍රතිපත්ති, අක්ෂර වින්‍යාසය, වගේ හැමදෙයකින්ම පිටපැන යාමට සමහරුන්ගේ කැමැත්තක් ඇති බව පේනවා. තවත් සමහරු කියනවා “ලියන එක කොහොම ලිව්වත් කමක් නැහැ, අනික් අයට තේරෙනවා නම්” කියලා. වැඩිපුර පාඨක සිත් ගැනීමට, විශේෂත්වයක් ඇතිකර ගැනීමට නම් වෙනස් පාරක යන්න ඕනෑ කියලා සමහරු හිතනවා. ඉතින් වැඩිදෙනෙක් මේ වෙනස් මාර්ගය විදිහට තෝරාගන්නේ භාෂා රීතිවලින් පිට පැනීමයි.
භාෂා රීතිවලින් පිට පැන නියම අදහස පැවසීමට පුළුවන්ද?
බැහැ. වැරදියට ලියමින් කියන දෙය තේරෙනවා නම් ගැටලුවක් නැති බව සමහරු පැවසුවත්, හුඟදෙනෙක් දන්නෙ නැහැ, ව්‍යාකරණානුකූලව නොලියන දේවල් නිවැරදිව තේරුම් ගැනීමට අපහසු බව. භාෂාව ඕනෑ කරන්නේ නිරවද්‍ය සන්නිවේදනය සඳහායි. භාෂාව භාවිත කළ යුත්තේ අදහසක් නිවැරදිව තවත් කෙනෙකුට සන්නිවේදනය කිරීමටයි. ඒකට තමයි ඡේඛ ප්‍රයෝග කියලා හඳුන්වන රීති සම්ප්රදායක් තිබෙන්නේ.
සම්මාන ලැබෙන සමහර නවකතා පොත්වල පවා වැරදි භාෂා භාවිතයක් පවතින බව පේනවා. නවකතා කියවන මහාචාර්යවරයෙක් ලෙස ඔබට එය නිරීක්ෂණය වුණාද?
සම්මාන ලැබෙන හැම නවකතාවක්ම වගේ මම කියවනවා. සමහර ඒවායේ භාෂා භාවිතය බොහොම දුර්වලයි. මට නම් ඒවා කියවන විට හිතෙන්නේ හිතාමතාම භාෂාව වෙනස් කරලා ලියපු විකාර කියලයි. ඒ වාගේ දේවල් භාෂාවේ ඉදිරි ගමනට එතරම් හොඳ නොවන බවයි, මගේ මතය.
භාෂාවක් කාලානුරූපව වෙනස් වෙනවා නේද?
ඔව්. සෑම ජීව භාෂාවකම ක්රමික වෙනස්වීමක් තිබෙනවා. ක්රමික වෙනස්වීම් භාෂාවේ ජීව ශක්තිය ආරක්ෂා වීමට හේතු වෙනවා. නමුත් බොහෝදෙනා හිතාමතා අද කරන වෙනස් වීම් භාෂාවේ පරිහානියටයි හේතු වෙන්නේ.
අපේ විද්‍යුත් මාධ්‍යවල භාෂාව මරණ බවට සුලබ නිදසුන් හමුවෙනවා නේද?
ඔව්. ඒවායේ භාෂාව මරණ බව ඇත්ත. ප්‍රචාරණ දැන්වීම් සඳහා ඉදිරිපත් කරන ප්‍රකාශන ආදියේ භාෂාව මැරීම බහුලයි. විද්‍යුත් නාලිකාවලත් මේක දකින්න පුළුවන් තමයි.
සිංහල භාෂාවේ සම්මතයක් නැහැනේ. ඒ සඳහා ඔබ ඇතුළු විද්වතුන්වත් එකමුතු වී පියවරක් අරන් තිබෙනවාද?
1989 දී වි.ජ.මු. ලොකු බණ්ඩාර ඇමැතිවරයාගේ මැදිහත් වීමෙන් එවකව සිටි සියලුම ගුරුකුලවල මැදිහත් වීමෙන්, විශ්වවිද්‍යාලවල සිංහල භාෂා අධ්‍යයනාංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් සම්මුතියක් සකස් කළා. ජාතික අධ්‍යාපන ආයතනය තමයි එයට මුල් වුණේ. විශේෂයෙන් පාසල්වල භාවිතයට තමයි, එය සකස් කළේ. ඒකෙදි සිංහල වර්ණ මාලාවේ අක්ෂර කීයක් තියෙනවාද, ඒවා මොනවාද? කියලා සම්මතයක් ඇති කළා අක්ෂර 60ක. එහිදී අපේ පැරණි අක්ෂර මාලාවේ නොතිබුණු අක්ෂරත් ඇතුළත් කළා.
දැන් ඒක කොයිතරම් දුරට අනුගමනය කරනවාද දන්නෙ නැහැ. ඒ වගේම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව යටතෙත් පද බෙදීම, අක්ෂර වින්‍යාසය ගැන සම්මුතියක් ඇති වුණා.
නමුත් අපට ජනමාධ්‍ය දෙස වගේම පොතපත දෙස බලන විටත් පේන්නේ එම සම්මුතීන් අනුගමනය කිරීමක් නැති බවයි?
ඇත්තටම ජනමාධ්‍යවල සේවයේ නිරතවන අය වගේම පොතපත ලියන ලේඛකයන්, උගතුන් මෙම සම්මුතීන් අනුගමනය කරනවා නම් හොඳයි. සමහරැන් ඒවා අනුගමනය නොකරන බවයි පේන්නේ.
විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරු බහුතරයක් පවා අද භාෂා පර්යේෂණ, නිර්මාණ කටයුතු නොකරන බව විද්වතුන් පවසනවා?
ඔව්. විශ්වවිද්‍යාලවල භාෂා සාහිත්‍ය විෂයයෙහි නිරත වී සිටින අයගේ රුචිකත්වයේ වෙනස් වීමක් තිබෙන බව පේනවා. භාෂා ගැටලු සම්බන්ධයෙන් වගේම සම්භාව්‍ය සාහිත්‍යය සම්බන්ධයෙන් තිබෙන උනන්දුවත් එක්තරා ප්‍රමාණයකට අඩුයි කියලා පේනවා. නූතන සාහිත්‍යය ගැන තිබෙන උනන්දුව නම් වැඩියි. නමුත් විශ්වවිද්‍යාලයේ දී සෑම අංශයක් ගැනම උනන්දුවක් තිබිය යුතුයි.
අද සාහිත්‍ය නිර්මාණ ගැන ඔබ දකින්නේ කෙසේද?
අද සාහිත්‍ය නිර්මාණවලටත් වඩා විචාරකයෝ ඉන්න බවයි පේන්නේ. නමුත් සාහිත්‍ය නිර්මාණ වැඩිවිය යුතුයි. විචාරකයන් තරමට හොඳ නිර්මාපකයන් නැති බවයි පෙනෙන්නේ. අනිත් එක අද යාළුවෙකුට කියලනෙ විචාර ලියාගන්නේ. මේ නිසා අපක්ෂපාත විචාරයක් ඇතිවන පරිදි මේ සම්ප්රදාය වෙනස් වනවා නම් හොඳයි.
කුසුම්සිරි