රම්සේස් මොරලිස් ස්ක්යයිර්ඩො (Ramses Marales Izquierdo) 1970 ඔක්තෝබර් මස 4 වැනිදා කියුබාවේ ට්‍රිනිඩෑඩ් හි උපත ලැබීය. රම්සේස් ගේ සීයා කියුබාවේ සිටි දේශපාලන කාටුන් ශිල්පියෙකි. ස්පාඤ්ඤ පරපුරකින් පැවත එන රම්සේස් කියුබාවේ ට්‍රිනිඩෑඩ් හි චිත්‍ර අධ්‍යයන ආයතනයෙන් 1996 දී උපාධිය ලබා ගත්තේය. ඔහු 2000 වසරේ සිට ට්‍රිනිඩෑඩ්හි චිත්‍ර අධ්‍යයන ආයතනයේ කාටුන් ශිල්පය හා නිදර්ශන සඳහා ගුරුවරයකු වශයෙන් සේවයේ නියුක්තවී ඇත. ට්‍රිනිඩෑඩ්හි යුනෙස්කෝ ලෝක උරුමය සඳහා පොත් රචනාකර ඇති රම්සේස් චිත්‍ර ශිල්පය, වාණිජ චිත්‍ර ශිල්පය ගැන ද පොත් ලියා ඇත.
වාණිජ චිත්‍ර ශිල්පියකු වශයෙන්ද දස්කම් දක්වන රම්සේස් ට්‍රිනිඩෑඩ්හි පෞද්ගලික කලාගාරයක් පවත්වාගෙන යන අතර එය නැරඹීමට දේශීය මෙන්ම විදේශීය අය ද නිතර පැමිණේ.
රම්සේස්ගේ කාටුන් නිර්මාණ හුදෙක් දේශපාලන අරුත් දක්වන්නන් වන අතර එම කාටුන්වල කෙලින්ම දේශපාලනයෙනුත් එහාට ගිය නිර්මාණයන් රැඳී පවතී.
ඔහුගේ එක් කාටුනයක දැක්වෙන්නේ විශාල බෝම්බයකි. එහි මෙසේ ලියා ඇත. 'නැවතත් උතුරු කොරියාව යළිත් විශිෂ්ටයි" (Make North Korea Great Again) එම බෝම්බය මත කෙනෙක් සිටී, ඒ උතුරු කොරියා නායක කිම් ජොන් - උන්ය. (Kim Jong - Un) ඔහු අතේ පැන්සල් කොටයක් ඇත. රැම්සේස් මින් අදහස් කර ඇත්තේ ලෝකය උතුරුකොරියා නායකයා පැන්සල් කොටයක ගානට ඇද දමා ඇති බවය. එහෙත් ඔහු තාක්ෂණය අතින් ඉහළ බවත් උතුරු කොරියාව ඔහුගේ ආගමනින් පසු විශිෂ්ට ලෙස ඉදිරි පියරක් තබා ඇති බවත්ය.
රම්සේස්ගේ තවත් කාටුනයක දැක්වෙන්නේ ස්මාරකයකි. එය උඩ අඹා ඇත්තේ වයසක සංචාරක ජෝඩුවකි. කාන්තාව අත ගමන් මල්ලකි. අනිත් අතින් සෙල්ෆියක් ගනිමින් සිටී. මහත්මයා තම කැමරාව බෙල්ලේ එල්ලාගෙන සිටී. කියුබාවත් ඇමරිකාවත් අතර තිබූ දේශපාලන එදිරිවාදිකම් නැතිකරමින් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබමා 2016 මාර්තු 20 වැනිදා කියුබාවේ හවානා අගනුවරට පැමිණි පසු කියුබාවට ඇමරිකානු සංචාරකයින් ද පැමිණීමට පටන් ගත්තේය. ඒ අතර වෙනත් බොහෝ රටවලින්ද කියුබාවට සංචාරකයන් පැමිණේ. ඉතින් මේ සංචාරකයන් සැමටම උපහාරයක් ලෙස පැමිණෙන්නේ කවුදැයි විශේෂයෙන් නම් නොකර ස්මාරකයක් නිර්මාණය කර ඇති බව රම්සේස් තම කාටුනය මගින් පෙන්වා දෙන අතර එය නම්කර ඇත්තේ 'නාඳුනන සංචාරකයන්ට' (To The Unknown Tourist) යනුවෙනි. එවිට එම ස්මාරකය කියුබාවට සංචාරයට එන ඕනෑම සංචාරකයකුට පොදු වෙනු ඇත.
මිනිසෙක් පුවත්පතක් කියවයි. එහි ප්රවෘත්ති (News) යනුවෙන් ලියා ඇත. පුවත්පතේ එක අකුරක්වත් නැත. ඇත්තේ නිකම්ම නිකම් සුදු කොලයකි. එම පුවත්පතේ පිටුපස පිටුවේ යම් කවුළුවක් ඇත. එය සිර මැදිරියක කවුළුවක් ලෙස පෙනේ. එහි කම්බිකූරු අතරින් මිනිසාගේ මුහුණ පෙනේ. රම්සේස් මින් අදහස් කර ඇත්තේ පුවත් පතේ දැන ගැනීමට කිසිම ප්‍රවෘත්තියක් නැත. ඒවා පාලකයන් විසින් වාරණය කර ඇත. ප්රවෘත්ති පිපාසයෙන් පෙළුන ජනතාව ඔවුන්ට නොදනුවත්වම සිරගතවී ඇත. ඒ රාජ්‍ය මාධ්‍ය සහ මාධ්‍ය පාලනය කිරීමට සැරසි සිටින රාජ්‍ය පාලකයන් නිසාය. එහෙත් මහජනතාව එසේ සිරගතකොට ප්රවෘත්ති වසන් කිරිමට නොහැකිය. ඒවාද ප්රවෘත්ති (News) වශයෙන් ලොව පුරා යනු ඇත. එයයි මේ කාටුනයේ අර්ථය.
පරිසර විනාශයත් ඒ විනාශය කරන අය විනාශ වෙන බවත් රම්සේස් එක් කාටුනයකින් පෙන්වාදී ඇත. ටයිකෝට් පැළඳ බෑගයක් අතින්ගත් කෙනෙකි. එම මිනිසාගේ ඔළුව පෙන්වා දී ඇත්තේ කර්මාන්ත ශාලාවක දුම් පිටවෙන විශාල දුම්බටයක් වගේය. එයින් පිටවෙන විෂ දුමාරය දසත පැතිර යමින් තිබේ. මේ අතර එම මිනිසා තම බඩේ බෝම්බයක් බැඳගෙන ඇති අතර එය ක්‍රියාත්මක කිරීමට බෝම්බයේ පිපිරීම සිදුකරන ස්විචය දැමීමට සූදානමින් සිටී. තව ටික වේලාවක් බෝම්බය පිපිරී එම මිනිසා විනාශවී යනු ඇත. රම්සේස්ගේ මේ කාටුනයෙන් පෙන්වා දෙන්නේ පරිසරය විනාශකරන්නා තමන් අතින්ම මිය යන බවයි.
ආදම් සහ ඒව ගේ කතාවට නව අර්ථකථනයක් දක්වන කාටුනයක් රම්සේස් නිර්මාණය කොට තිබුණි. ගසක් යට දෙපැත්තේ වාඩිවී සිටින ආදම් සහ ඒව මෙහි පෙන්නුම් කරයි. ගසේ මුඳුනේ සිට පැමිණෙන සර්පයා එදා ආදම්ට දුන්නේ ඇපල් ගෙඩියකි. රම්සේස් නිර්මාණය කළ කාටුනයේ සර්පයා ආදම්ට දී ඇත්තේ ඇපල් ලැප්ටොප් පරිගණකයකි. ආදම් එය ක්රියාකරවමින් සිටී. ඒ දෙස සර්පයාද ඒවද බලා සිටී. නවීන ලෝකයේ ආදම්ලාට එවාලාට වුමනා ස්වභාවික පලතුරක් වූ ඇපල් ගෙඩියක් නොව ඇපල් පරිගණකක් බවට රම්සේස් පෙන්වා දෙයි.
රුවන් තරස්වින්