විශ්‍රාමික චිත්‍රපට කලාකරුවන්ව වේදිකාව මතටම ගෙන්වා විශ්‍රාම දීමනා ප්රදානය කිරීමට තරම් දයාබරිත වන චිත්‍රපට සංස්ථාව එම චිත්‍රපට කලාකරුවන් සිය දහදිය කඳුළු මුසු කළ සමයේ පැරැණි සිංහල චිත්‍රපට ඔවුන්ගේ සහ මුළුමහත් රටේම අනාගත පරම්පරාවට දැකබලා ගැනීමට හැකි වන සේ සුරකින්නේද?
මේ නැති බැරි කලාකරුවන් කැමරා ඉදිරියේ සිය විශ්‍රාම මුදල් ලබා ගනිද්දී ඔවුන් තම ජීවිතයම කැප කළා වූ චිත්‍රපට, චිත්‍රපට සංස්ථා ගබඩාවෙන් සොරකම් කර තොග වෙළෙඳුන් හට (සංරක්ෂකයන්) අලෙවි කරන ජාවාරමක් ගැන එම ආයතනයේම සේවකයෝ තතු පවසති. චිත්‍රපට සංස්ථා සභාපතිට මේ ගැන කොතෙක් පැවැසුවද මෙතරම් බරපතළ චෝදනා ලබන ගබඩා නිලධාරියා එසැණින් මාරු කිරීමට හෝ පියවර නොගන්නේ මන්දැයි සැක පහළ වෙයි. වර්තමානයේ රාජ්‍ය චිත්‍රපට ගබඩාවේ සිංහල චිත්‍රපට කොතෙක් තිබේදැයි ලැයිස්තුවක්වත් නොමැති තරමට මෙම සාපරාධී වංචාව ප්‍රබල වී ඇත. වයෝවෘද්ධ සිනමා කලාකරුවන්ට විශ්‍රාම දීමනා දෙමින් ඔවුන් සමඟ කේක් අනුභව කරමින් ඡායාරූපවලට පෙනී සිටින බලධාරීන් සහ පාලකයන් අපේ සිනමාවේ ඉතිහාසය සුරකින්නට යමක් නොකරන්නේ ඇයි. අනාගතයේදී මෙලෙස සමරන්නට තරම්වත් සිනමාවක් ඉතිරිව තිබිය යුතු නොවේද? මෙම හෙළිදරව්ව දේශීය සිනමාවේ සොරුන්ගෙත් සොරු සමඟ වැජඹෙන කපටි ආරක්ෂකයන්ගේත් රජ සෙල්ලම් වටහා ගැනීම පිණිස වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහත්මිය මෙවර වෙසක් මංගල්‍යය අරබයා අප වෙත එවූ වෙසක් සුබපැතුම් පතෙහි වූ ධම්මපද උපුටනය මෙකල්හි අතිශය වැදගත් සිහි කැඳවීමකි. ඒ අනුව අප අනුන් කළ නොකළ දේ ගැන නොව තමා කළ නොකළ දේ ගැන සෙවිය යුතුය. නිදර්ශනයක් ලෙස ගෙවුණු වෙසක් පොහෝදා මෙලොව අතැර ගිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 99 වසරක් දිගැති සිය ජීවිතය තුළ සහ 69 වසරක් ගැඹුරැති තම සිනමා ජීවිතය තුළ කළ දේ ගැන අසීමිතව සොයන අප එතුමාගේ දේහය මඳකට බිමින් තබා වහා සෙවිය යුත්තක් ඇතැයි ගරු අග්‍රාමාත්‍යතුමා වෙසක් පොහෝදා රෙජිස්ටර් තැපෑලෙන් අප වෙත දන්වා එවයි. ලෙස්ටර්ගේ චිත්‍රපට බැලූ අය සහ ඔහු සමඟ ෆොටෝ ගත්තු අය මෙන්ම කැමරා පිරිවරාගෙන ඔහු සමඟ උපන්දින කේක් කෑ පාලකයන්ද දැන් කල්පනා කළ යුත්තේ තමා ඔහු වෙනුවෙන් කළ ප්‍රමාණවත් යමක් වේද යනුවෙනි. ඔහු සිය ජීවිත කාලය තුළ තම ඡන්දයෙන් බලගතු වූ පාලකයන්ගෙන් ගෙවල් දෙකක් ඉල්ලා සිටියේය. එක් නිවෙසක් තමාගේ චිත්‍රපට (30) (කෙටි චිත්රපටද ඇතුළුව) ද සමඟ මෙරට හැදුණු චිත්‍රපට 1300ම සුරක්ෂිතව තබන්නටය. අනෙක් නිවෙස තමාට සහ තම බිරියට පණ ඇති තුරු නිදහසේ හුස්ම ගන්නටය.
සිනමාවට නිවෙසක් ඔහු ඉල්ලා සිටියේ පනස් ගණන්වල සිටය. කුලී නිවැසියකු වූ ඔහු තමාට ගෙයක් දෙන්නැයි ශ්‍රී ලංකාවාසී දුප්පත් හිඟන දේශපාලකයන්ගෙන් කිසිවකු ඉදිරියේ බැගෑපත් වී ඇතැයි අප අසා නැත. අන් කලාකරුවන් පාලකයන් පසුපස යද්දී ඔහු එම පාලකයන් තම කුලී නිවෙසට ගෙන්වා ගැනීමට තරම් නිවහල් අබිමන් මිනිසකු විය. අන් කලාකරුවන් පාලකයන් තම ජනතාවගේ මනාපය හිඟාකන තාවකාලික වේදිකාවල නිවි නිවී පත්තුවන බල්බ් වැලක් වන විට ලෙස්ටර් තම කුලී නිවෙසට වී තම ඊළඟ චිත්‍රපටය ගැන සිතුවේය. කෙසේ වුවද ඔහු ඉල්ලා සිටි ගෙවල් දෙකම ඔහුට සහ සිනමාවට නොලැබිණි. නමුත් සියවසේ ජීවත් වී අවසන් හුස්ම පොද අහසට එකතු වන තත්පරයේදීද ඔහුගේ ශ්‍රී නාමය මෙරට සිනමා ශාලා තුළ ප්රක්ෂේපණය වෙමින් තිබිණි. ඒ දැනට තිරගත වන වෛෂ්ණාවි චිත්‍රපටයේ කතා සංකල්පය ඔහුගේ වන නිසාය.
රටට සහ ලෝකයාට බොහෝ දෑ දායාද කළ ඔහු ඉල්ලා සිටි නිවහන් දෙකම දී ගන්නට බැරි අසමත් ජාතියක් වන අප තවමත් ඔහුගේ ශ්‍රී දේහය උරමත තබාගෙන කිඹුල් කඳුළු හෙළන්නෙමු. ඔහු කළ කී දෑ සොය සොයා ගුණ වයමින් අප නොකළ හා කළ යුතුව තිබුණු දෑ හෘදය සාක්ෂිය පතුලේම සඟවමින් අපි මැරි මැරී උපදින්නෙමු.
ජීවිත කාලය පුරාවටම දේශපාලකයන් ළඟ දණින් වැටී නිවෙසක් ඉල්ලා නැති ඔහුගේ දේහය තබාගෙන අප දේශපාලකයන් ඉදිරියේ හඬා වැටුණෙමු. කුලී නිවැසියකු වූ ඔහුගේ නමින් එම නිවෙස තබන්නැයි ජනාධිපතිතුමාගෙන් බයාදු ලෙස අප ආයාචනා කළෙමු. රජයෙන් ඔහුට දුන් දීමනාව සිය බිරියට දෙන්නැයි බැගෑපත් වීමු. මෙරට කලාකරුවා කොතරම් දුගී දුප්පත් යාචකයෙක්ද? එබඳු නින්දිත අඩියට නොවැටී හිස ඔසවාගෙන කෙළින් සිටගත් සහ පාලකයන් පවා තම දෙපා පාමුලට ගෙන්වා ගන්නට තරම් අභීත වූ ලෙස්ටර්ට අවසානයේ සිය චිතකය කරා රතු පලස් මතින් යන්නට සිදුවූයේ හිඟන්නකු බවට පත්ව නොවේදැයි අපට සිතෙන්නේ එදින අවංමගල සභාවේ ගුණකථන අසා සිටියදීය.
අග්‍රාමාත්‍යතුමා සිය වෙසක් සුබ පැතුම් පතෙහි ලියා අප වෙත එවූ අවධාරණයට අනුව අප සෙවිය යුත්තේ ලෙස්ටර් කළ දේ ගැන නොව අප කළ දේ ගැනය. අප ඔහු වෙනුවෙන් කළ දේ ගැනය. ඔහු ඉල්ලා සිටි දෑ ඉටු කරන්නට අප කළ යමක් වේද යනුවෙනි.
පරදේසක්කාර ආක්රමණිකයන්ගේ සියලු බලකොටු බින්දාවූ ලෙස්ටර් මිය ගිය පසු සිය දේහය යළිදු එබඳුම බලකොටුවක් තනා එහි දමා ගිනි ලෑමට තරම් අපි අබුද්ධිකයන් වීමු. දුෂ්ට වීමු.
ඔහු සිය 99 වියැති ජීවිතය සහ 69 වියැති සිනමා ජීවිතය පුරා ඉල්ලා සිටි ඒ දෙවැනි නිවෙස එනම් අපගේ චිත්‍රපට 1300 සංරක්ෂිතව තැබිය හැකි නිවෙස ගැන හෙණ හත වදින කතාවක් අපට අසන්නට ලැබිණි. ඔහු ඉල්ලා සිටි චිත්‍රපට සංරක්ෂණාගාරයක් ඉදි කරනු වෙනුවට දැනට ඉතිරිව තිබෙන සිංහල චිත්‍රපට ස්වල්පයද සංරක්ෂණ ලේබලය අලවාගෙන සිටින චිත්‍රපට තොග වෙළෙන්දන් හට කුණු කොල්ලයට විකුණන ජාවාරමක් ගැන අපට අසන්නට ලැබිණි. එම තුච්ඡ කතාව අසන්නට ලැබුණේ ශ්‍රී ලංකා ජාතික චිත්රටපට සංස්ථා භූමියෙන්ම වීම ද පෙර කී හෙණ හත දෙගුණ කරන්නකි.
චිත්‍රපට සංස්ථාව තුළ සිදුවන මෙම සාපරාධී චිත්‍රපට මංකොල්ලය ගැන මා මෙලෙස මාධ්‍යය හරහා ජනතාවට හෙළි කරන්නට පෙර කරුණු විමසා සිටියේ චිත්‍රපට සංස්ථාවෙනි. පළමුව එහි සභාපතිවරයා දැනුවත් කරමින් පසුගිය අප්‍රේල් 27 දා ලිඛිතවම දන්වා සිටියෙමි. එම ලියුම තමාට ලැබුණු බව ඔහු මා හට දන්වන ලද්දේ ලෙස්ටර් මහතාගේ අවමඟුල් උත්සව භූමියේදීය. එම ලියුම විගණකාධිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවත්, විගණකාධිපතිවරයා එම පැමිණිල්ල පරීක්ෂා කොට එකී අපරාධය පරීක්ෂණය සඳහා භාර ගන්නේද යන්න මැයි 8 දා වන විට තමාට දන්වන බවත් චිත්‍රපට සංස්ථා සභාපතිවරයා මා හට කීවේය.
තම ආයතනය තුළ මහ දවාලේ මහා කොල්ලයක් හා ජාතික අපරාධයක් සිද්ධ වන බව අප වගකිවයුතු ලෙස දන්වා සිටියදී චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානියා එම පැමිණිල්ල පිටස්තර තවත් ආයතනයකට පවරනු වෙනුවට ඔහු තම බලතල සීමා තුළ කුමක් හෝ පියවරක් ගත යුතුව තිබිණි. අඩුම තරමින් පරීක්ෂණයක් සිදු කරනතුරු චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට ගබඩාවේ කළමනාකරුවා එතැනින් මඳකට ඉවත් කොට ඒ තැන එවැන්නක් සිදු වෙනවාද නැද්ද යන්නවත් මූලිකව සොයා බැලිය යුතුව තිබිණි. නරියා කුකුළු කොටුව භාරව සිටින තාක් එම කොටුවේ කුකුළන්ගේ තත්ත්වය ගැන සෙවිය හැකි නොවේ. අපේ රටේ සිද්ධ වන්නේ එබඳුම වූ නරි රැළකින් යුත් කමිටු පත් කර එම කුකුළු කොටුවල ඇටසැකිලි වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කොට වාර්තා සෑදීම පමණකි.
චිත්‍රපට සංස්ථාව තුළ දිගු කලක සිට සිදු වන සිංහල චිත්‍රපට මංකොල්ලය ගැන ප්‍රශ්න කරමින් මා සභාපතිට යැවූ ලියුම මෙපරිදිය.
සභාපතිතුමනි,
මෙරට සිනමා කර්මාන්තයට බලපාන ගැටලු හඳුනා ගැනීම සඳහා ජනාධිපති විද්වත් කමිටුව මඟින් සොයා ගත්තාවූ නිර්දේශවලට අමතරව ඔබගේ ප්‍රධානත්වයෙන් පවත්නා ජාතික චිත්‍රපට සංස්ථාව තුළ දිගු කලක පටන් සිදුවන මහා පරිමාණ සාපරාධී අන්ත දූෂණයක් පිළිබඳ ඔබව දැනුවත් කිරීමට මෙය ලියමි.
මෙරට සිනමාවේ අර්බුදයට එක් ප්‍රධාන හේතුවක් වනුයේ චිත්‍රපට සංස්ථාවම බව සාක්ෂි සහිතව ඔප්පු කරමින් මින් පෙරද මම හෙළි කර ඇත. රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව පවා හෙළි කළ නීති විරෝධී නිලධාරීන් සහ නිසි සුදුසුකම් නොමැතිව උසස්වීම් ලද වංචනික නිලධාරීන් තවමත් චිත්‍රපට සංස්ථාවේ සේවය කරයි. මෙබඳු දූෂිත නිලධාරීන් සමඟ දේශීය සිනමාවේ පිරිසිදු උන්නතියක් අපේක්ෂා කළ හැකිද? සිනමාවේ අර්බුද විසඳීම සඳහා කලින් කලට පාලකයන් සහ ජනතාව පිනවීම සඳහා විවිධාකාර කමිටු පත් කිරීමට පෙර චිත්‍රපට සංස්ථාවේ මෙම දූෂිත රාජ්‍ය නිලධාරීන් මෙරට සිනමාවට කරන හානියට පළමුව පිළියම් යෙදිය යුතු යැයි යෝජනා කරමි.
යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ඔබ වෙත පවරන ලද ජාතික චිත්‍රපට සංස්ථාවේ චිත්‍රපට ගබඩාවේ ඇති වටිනා සිංහල චිත්‍රපට පිටස්තර චිත්‍රපටි සංරක්ෂකයන් ලෙස කටයුතු කරන ව්‍යාපාරිකයන් අතට පත් කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ඇත.
මෙම චිත්‍රපට ගබඩාවේ ඇති චිත්‍රපට පිළිබඳ නිසි සංගණනයක් හෝ විධිමත් ලැයිස්තුගත කිරීමක් වාර්ෂිකව සිදු වේද? දැනට ඇති ලැයිස්තුවේ ඇති ඇතැම් චිත්‍රපට ගබඩාවේ නොමැති බව සංස්ථාවේ සේවකයෝම පවසති. මේ දිනවල චිත්‍රපට ගබඩාව අසල අධික දුගඳක් හමන්නේ ඉතිරිව ඇති චිත්‍රපට පිටපත්ද නරක්වීම නිසා බවට සැක පහළ වෙයි. නිසි ප්‍රමිතියකින් හා ආරක්ෂාවකින්ද තොර චිත්‍රපට සංස්ථා ගබඩාවේ ඇති වටිනා සිංහල චිත්‍රපට පිටපත් 2000ක් පමණ මෙසේ විනාශ වන්නට ඉඩ හරින්නේ ඇයි. මෙම වටිනා චිත්‍රපට පිටපත් 2014 වසරේදී ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව තුළ විධිමත් ප්‍රමිතියක් යටතේ ඉදිකරන ලද චිත්‍රපට සංරක්ෂණාගාරය වෙත සංරක්ෂණය සඳහා භාර නොදෙන්නේ ඇයි?
2013 වසරේදී චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් විසින් පරීක්ෂා කොට සංගණනය කළ ලැයිස්තුවක් අප සතුව ඇත. එහි චිත්‍රපට පිටපත් 2000කට වඩා ඇත. අද වන විට එම ලැයිස්තුවේ ඇති ඇතැම් චිත්‍රපට ඒ තිබුණු රාක්කවල නොමැති බවට සැක පහළ වී ඇත. චිත්‍රපට සංස්ථාවේ ගබඩාවේ පෙර පැවැති තම චිත්‍රපටවල පිටපත් මේ වන විට අතුරුදන්ව ඇති බවට ඇතැම් නිෂ්පාදකවරු චෝදනා කරති. ඇතැම් දේශපාලකයන්ගේ අවශ්‍යතා මත චිත්‍රපට සංස්ථාවෙන් චිත්‍රපට ලබා ගත් ඉහළ පෙළේ නිලධාරියකු ගැන හා මෙම ගබඩාවෙන් චිත්‍රපට පන්නා ආධාර දර්ශන පෙන්වා මුදල් ඉපැයූ නිලධාරීන් ගැන හිටපු ජනාධිපති මාධ්‍ය උපදේශක සනත් ගුණතිලක මහතාද හෙළි කොට ඇත. චිත්‍රපට සංස්ථා ගබඩාවේ ඇති චිත්‍රපට මෙසේ අවිධිමත් ලෙස හා අනාරක්ෂිත ලෙස දිගු කලක් තිස්සේ පවත්වාගෙන යන්නේ පිටස්තර ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත පහසුවෙන් මෙම චිත්‍රපට සොරකම් කිරීමට හිතකර පරිසරයක් ලෙස දැයි සැක පහළ වේ.
ඉහත විස්තර කළ පිටපත් පැන්නීමේ ජාවාරම පිළිබඳ දැනට අප සතු තොරතුරු තවදුරටත් නිරීක්ෂණය කිරීම සඳහා වර්තමානය වන විට චිත්‍රපට ගබඩාවේ ඇති චිත්‍රපටවල ලැයිස්තුවක් අප වෙත ලබා දෙන ලෙස ඉල්ලමි. මෙම චිත්‍රපට ජාවාරම පිළිබඳ ඔබට කළ හැකි යමක් වේ නම් ඒ සඳහා හැකි පියවර ගන්නා ලෙස ඉල්ලමි.
මෙම ලියුම යවා සති දෙකක් ගතවී ඇත. පිළිතුරු නොලද බැවින් අපි චිත්‍රපට සංස්ථාවේ ගබඩා පාලකවරයාව ප්‍රශ්න කළෙමු. ඔහු නිරුත්තර විය. තුෂ්ණිම්භූතව ගොත ගසයි. ඔහු අපට දුන් සමනල වර්ණ පිළිතුරු පටිගත වී ඇත. අවසානයේ 'සභාපතිතුමා කතා කරනවා" යැයි කියමින් ඔහු පැන ගියේය. දේශීය සිනමාව විනාශ කරනුයේ චිත්‍රපට සංස්ථාවම නොවේදැයි මෙම වගකිවයුතු නිලධාරීන්ගේ කතාවෙන්ම ඔප්පු වන හැටි බලමු.
අප ඔහුගෙන් විමසූ පළමුවැනි ප්රශ්නය වූයේ දේශීය චිත්‍රපට සම්බන්ධ බලගතුම රාජ්‍ය ආයතනය වන චිත්‍රපට සංස්ථාවට අයත් චිත්‍රපට ගබඩාවෙහි මේ වන විට ඇති සිංහල චිත්‍රපටවල ලැයිස්තුවක් තිබේද? යන්නයි. දැනට එබඳු චිත්‍රපට ලැයිස්තුවක් නැති බවත්, තව නොබෝ දිනකින් තොග ගණන් බැලීමට අපේක්ෂා කරන බවත්, ඒ වනතෙක් ඇත්තේ මීට වසර හය හතකට උඩදී ගත් ලැයිස්තුවක් බවත් ඔහු කීය. මෙය කොතරම් තක්කඩි පිළිතුරක්ද? ලැයිස්තු කිසිවක් නැති ගෙවුණු වසර හය හත තුළ අලුත් චිත්‍රපට කොතරම් තැනුණේද? මෙම කාලය තුළ නිසි සංරක්ෂණ පිළිවෙතක් නොමැති මෙන්ම සංරක්ෂණ වෙළෙඳුන් නිතර ගැවසෙන චිත්‍රපට සංස්ථා ගබඩාව තුළ කොතරම් චිත්‍රපට ප්‍රමාණයක් විනාශ වී තිබේද? චිත්‍රපට සංස්ථාව දේශීය චිත්‍රපට විනාශ කරන තරම අපි මෙලෙස හෙළි කරමු.
ගබඩා පාලකවරයා ලෙස තම භාරයේ ඇති චිත්‍රපට ගැන අඩුම තරමින් වසරකට වරක්වත් එබඳු ගණන් බැලීමක් නොකරන්නේ මන්දැ"යි අප විමසීමු. ඔහු තම නිදහසට කාරණා මවන ලද්දේ "චිත්‍රපට නිෂ්පාදකවරු විටින් විට තම චිත්‍රපට පිටපත් රැගෙන යන බැවින් ගබඩාවේ ඇති චිත්‍රපට සංඛ්‍යාව අඩුවන බවයි. 2013 වසරේදී සකස් කරන ලද චිත්‍රපට ලැයිස්තුවක් අප සතු බව කී විට ඔහු පවසන්නේ එම ලැයිස්තුව එහි ගෙන ආවොත් ගබඩාවේ දැනට ඇති චිත්‍රපට ලකුණු කර දිය හැකි බවයි.
රජයෙ චිත්‍රපට ගබඩාවේ සංරක්ෂිත ලැයිස්තුවක් එහි පාලකවරයාගෙන් විමසූ කළ අප සොයා ගත් ලැයිස්තුව ගෙනෙන්නැයි කීම චිත්‍රපට භාෂාවෙන්ම විග්රහ කරන්නේ නම් 'සිනා සාගරයකි' සමනල වර්ණ ජවනිකාවකි.
ශ්‍රී ලංකාවේ මේ වන විට තනා ඇති චිත්‍රපට 1300 ලැයිස්තුගත කිරීමටවත් සැලැස්මක් නැති රටක කුමන සංරක්ෂණයක්ද? තම ගබඩාවේ ඇති චිත්‍රපට සංඛ්‍යාවවත් නොදන්නා ගබඩා පාලකයන් වාචික යහපාලන විකට ජවනිකා තුළ කෙබඳු දුෂ්ට, විකට නළුවන්ද? ගබඩාවේ චිත්‍රපට නිෂ්පාදකවරු රැගෙන ගිය නිසා එම සංඛ්‍යාව අඩු වී යැයි පිළිතුරු දීම කවර තරමේ වංචනික කතාවක්ද? එසේ නිෂ්පාදකවරු ගෙන ගිය චිත්‍රපටවලට අදාළ ලියකියවිලි සාක්ෂි තිබේදැයි විමසූ කල සභාපතිතුමාගේ අනුමැතිය යටතේ මම චිත්‍රපට පිටතට දුන් බවයි. එසේ ගබඩාවෙන් පිට කළ එම චිත්‍රපටවලට කුමක් වීද?
අප විමසන්නේ එසේ පිටතට රැගෙන ගිය හා ඉන්පසු ඉතිරිවූ චිත්‍රපට පිළිබඳ නිරවුල් සංඛ්‍යා නාම ලේඛනයයි. එබඳු විනිවිද පෙනෙන සත්‍ය සංඛ්‍යාලේඛනයක් වත්මන් ගබඩා පාලකවරයා සහ ඔහුට ඉඩදී තම කාමරයට වී සිටින සභාපතිවරයා සකස් නොකරන්නේ ඉතිරි චිත්‍රපට පිටපත් ස්වල්පයත් පිටස්තර ව්‍යාපාරික හිවලුන් හට විකිණීමේ අරමුණ ඇතිව යැයි චිත්‍රපට සංස්ථා සේවකයෝ පවසති. ඊට නොබෝ දිනකින් එසේ පන්නන ලද චිත්‍රපට මත සංරක්ෂකයන්ගේ නම් කොටා චැනල් හරහා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය වෙයි.
තමා විසින් බිඳ දමන ලද බලකොටුවටම සිර කොට අවසන් ගමන් ගිය ලෙස්ටර් දශක ගණනාවක් තමා සමඟ උපන්දින කේක් කන්නට ආ විවිධ දේශපාලකයන්ගෙන් ඉල්ලූ චිත්‍රපට සංරක්ෂණය සත්‍ය වශයෙන්ම සිදුවන්නේ එලෙසටය. චිත්‍රපට සුරැකීම භාර රාජ්‍ය ආයතනය තුළ සිදුවන සාපරාධී මහා චිත්‍රපට මංකොල්ලය අප ඉදිරියේ ප්රක්ෂේපණය වනුයේ "බඩුත් එක්ක හොරු" වැනි නම් සහිත ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙසිනි. එසේත් නැතිනම් "රෑ දනියෙල් දවල් මිගෙල්" යනුවෙනි. අපේ චිත්‍රපට උරුමය හතර මහ නිධානයක් ලෙස ගෙන ලක්සෙට කොඩි දමන 'ලෝක හොරුන්ගේ' කපටිකමට තවත් ඉඩ දිය යුතුද? සංරක්ෂණයෙන් 'සූරයන්ගෙත් සූරයෝ' රජයේ චිත්‍රපට ගබඩාවෙන් පැරැණි චිත්‍රපට පිටපත් කොල්ලකා තම මුලකුරු කොටා චැනල්වලට විකුනන්නේ තොග වෙලෙඳුන් නොවේ. එබඳු 'කපටි ආරක්ෂකයන්' 'චණ්ඩියා' වනුයේ රාජ්‍ය සංරක්ෂකයන් 'සල්ලි මල්ලි සල්ලි' කියමින් 'ගරිල්ලා මාකටින්' කරද්දීය. රජයෙන් වැටුප් ලබන ලෝක හොරුන්ගෙන් අප විමසනුයේ රජයේ චිත්‍රපට ගබඩාවේ මීට කලකට ඉහතදී තිබුණු 'බව දුක', 'බව කර්ම', 'සිටු කුමරියෝ', 'සසර චේතනා', 'ඔහොම හොඳද' වැනි වටිනා පැරැණි සිංහල චිත්‍රපට එම රාක්කවලම තිබේද යනුවෙනි. 2013දී චිත්‍රපට සංස්ථා ගබඩාවේ සහකාර කළමනාකරු විසින් සිය අත් අකුරින්ම ලියන ලද චිත්‍රපට පිටපත් 2000කින් යුත් ලැයිස්තුවෙහි අදාළ සිංහල චිත්‍රපටයේ පිටපත් ගණන සහ රීල් ගණන පමණක් නොව එම පිටපත තබා ඇති රාක්ක අංකය පවා සඳහන්ය. ගෙවුණු වසර 5 තුළ එම ලැයිස්තුව 'අප්ඩේට්' නොකරනුයේ මන්දැයි චිත්‍රපට සංස්ථාවේ සේවකයන් සමඟ කපටි ආරක්ෂකයෝද දනිති. නිසි ලේඛන සාක්ෂි නොමැතිව අවුල්ව අරාජිකව තැබූ විට කල් යල් බලා එම වටිනා චිත්‍රපට තොග මිලට පැන්නීමට පහසු යැයි සේවකයෝ කියති. මෙම හොර බඩු නවතින්නේ ශ්‍රී ලංකාවේ ටී.වී. චැනල් යනුවෙන් බැටළු සම් පොරවාගෙන සිටින හිවල්ලු වැනි සිල්ලර වෙළෙඳුන් ළඟය.
අජිත් ගලප්පත්ති