මකරන්ද පස්විද ගැයුම් අසිරිය සමග ගී මල් සුවඳ පංච පුද්ගල ගී මියැසිය ලබන (09) වැනිදා නෙළුම් පොකුණ රඟහලේදි ප.ව7.00ට පැවැත්වේ. එදා වෑත්තෑවේ හිමියන් 'මලෙක සුවඳ සිව්සිය ගව් ඇසේයා' කීවේ ගුත්තිල කවියෙනි. මෙදින මකරන්ද සමග ගී මල් සුවඳ සිව් සිය ගව් විසිරෙන්නේ මෙරට විශිෂ්ටතම ගායක ගායිකා පංච නාද ධ්වනි මුසුවක ඵලයක් ලෙසිනි. වේදිකා නාට්‍ය, චිත්‍රපටය, රූපවාහිනි නාට්‍ය, සංගීතය සහ ගායනය, රූපණය, නර්තනය, ඔවුන් නියෝජනය කරන කලා හා සෞන්දර්ය ක්ෂේත්‍ර වේ. මෙහිදී පැරැණි නූර්ති ගීත, නාඩගම්,ගීත රැසක් මෙහිදී ගායනා කිරීමට නියමිතයි.
නිශ්ශංක දිද්දෙණිය, රොඩ්නි වර්ණකුල, ඉන්දිකා උපමාලි, සමන් ලෙනින්, හා නිලක්ෂි හැලපිටිය යන කලා තරු මෙහිදී මකරන්ද සුවඳ විහිදුවීමට ගායනයෙන් සහභාගි වේ.නවරත්න ගමගේ එක්වන්නේ සංගීත අධ්‍යක්ෂණයෙනි.
නිශ්ශංක දිද්දෙණිය
මකරන්ද පංච පුද්ගල ගායන මඩුල්ලෙහි ජ්‍යෙෂ්ඨතමයා මොහුයි. සරච්චන්ද්‍රයන්ගේ පෙමතො ජායතී සොකො නාට්‍යයෙන් රංගනයට එක්වන දිද්දෙණිය සිංහල නාට්‍ය වංශ කතාවෙහි කීර්තිමත් චරිත කිහිපය අතර රැඳී තිබෙන සිංහබාහු නාට්‍යයේ සිංහබාහු චරිතය රඟපෑමට වරම් ලැබුයේය. එසේම සරච්චන්ද්‍රයන්ගේම මනමේ, ලෝමහංස නාට්‍යයේ බ්‍රහ්මදත්ත, දයානන්ද ගුණවර්ධනගේ ගජමන් පුවත ඇලපාත මුදලි ආදි විශිෂ්ට වේදිකා රංගන රැසක්කළ රංගවේදියෙකි.
රොඩ්නි වර්ණකුල
වේදිකාව, සිනමාව, රූපවාහිනිය, ගුවන්විදුලිය හා ප්‍රසංග වේදිකාවේ ජයදද නැංවු අපූරු කලාකරුවෙකි.
ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිලෙති, දයානන්ද ගුණවර්ධනගේ නරි බෑණා, මධුර ජවනිකා, ආනන්ද ජවනිකා, බන්ධුල ජයවර්ධනගේ බෙරහඬ, ජයලත් මනෝරත්නගේ ගුරුතරුව, සුදු රෙදි හොරු, සෝමරත්න දිසානායකගේ මීපුර වැසියෝ රොඩ්නිගේ වේදිකා රංගන අතර කැපී පෙනේ.
ඉන්දිකා උපමාලි
පේමසිරි කේමදාස සංගීතඥයාගේ සෙවණෙහි සංගීත ඥානය ලද ඈ ඔහුගේ මානස විල,අගිනි, පිරිනිවන් මංගල්ලය ආදි ඔපෙරාවන්හි මෙන්ම ආරියරත්න ඇතුගලගේ මහ සමයම, කේ.බී හේරත්ගේ යශෝදරා, හා දෙරමඩලාව වැනි වේදිකා නාට්‍යයන්හී තම රංගන කුසලතා විදහා දක්වයි.
සමන් ලෙනින්
තුන්වන පරම්පරාවට අයත් දීප්තිමත් ගායන හා රංගන ශිල්පියෙකි. 2012වසරේ සිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරයි.
නිලක්ෂි හැලපිටිය
නව පරපුරේ තරුණ ගායන හා රංගන ශිල්පිනියකි. ගලහිටියාව මධ්‍ය විද්‍යාලයෙන් සහ කොළඹ දේවි බාලිකා මහා විද්‍යාලයෙන් ශිල්ප හැදෑරූ නිලක්ෂි එක්සත් රාජධානියේ කින්ග්ස්ටන් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි විෂය පිළිබඳව ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කරමින් සිටින්නීය.
නවරත්න ගමගේ
දශක කිහිපයක සිට මෙරට සංගීත ක්ෂෙත්රයෙහි සංගීත අධ්‍යාපන විශයය, වේදිකා, චිත්‍රපට, රූපවාහිනී නාට්‍ය, සංගීත , ගීත හා තනු නිර්මාණයෙහි පරිණත දැනුමක් හා පළපුරුද්දක් සතු විශිෂ්ටයෙකි.
නයනා වෑත්තෑව