එක් මිනිසකුගේ අභ්‍යන්තරයේ චරිත ගණනාවක් ම ජීවත් වීම සිනමා පටයකට කදිම තේමාවකි.
ඒ මිනිසා අන් තැනක නොව බොලිවුඩයේ ම ජීවත්වීම අධ්යක්ෂවරයකුට දැකිය හැකි සොඳුරුතම සිනමා සිහිනයකි. බොලිවුඩයේ තරු අතර සංජේ දත් තරම් චරිත ගණනාවක් ම ජීවත් වන තවත් අයෙක් නැත. ඔහුගේ චරිත තිරයේ ජීවමාන කිරීමේ සිහිනය රාජ් කුමාර් හිරානි අධ්යක්ෂවරයා දුටුවේ කලක සිටය.
රාජ්කුමාර් හිරානි සංජේගේ තෙවැනි බිරිය මන්යාතා බැලීමට රෝහලට ගියේ ය. සංජේ දත් සිටියේ සිර ගෙදරය. ඔහු රෝහලින් සංජේදත්ගේ නිවෙසට පැමිණි විට නිවෙසේ කිසිවෙක් සිටියේ නැත. ඔහු හුදෙකලා නිවෙසේ සිට හදවතට කතා කළේය. ඔහු සංජේගේ ජීවිත කතාවට මුල පිරීය. හදවතේ රෝපණය වුණු කතා පුවත සිනමාවට දියමන්තියකටත් වඩා අගනා බව ඔහුට හැඟිණි. එතැන් සිට සංජේ ගැන දන්නා මිතුරන්, නෑයන්, මාධ්‍යවේදීන් සියලු දෙනා හමුවිය. හිරානිගේ අදහසට සංජේ එරෙහි නොවීය. එහෙත් ඒ එක් කොන්දේසියක් සහිතවය. යම් වෙනසක් කරන ලෙස සංජේ ඉල්ලා සිටියොත් එය නොකරන බව ඔහු පැවසුවේය.
සිනමා පටය පෙළ ගස්වා ඇත්තේ සංජේ මත්ද්‍රව්‍යයනට ඇබ්බැහි වූ කාලය, ආදර සබඳතා හා සිරගත දිවිය මූලික කරගෙනය.
සංජේ බාල්රාජ් දත් ඉපදුණේ බොලිවුඩයේ සුපිරි තරු යුවළකගේ එකම පුතු ලෙසය. නර්ගීස් හින්දි සිනමාවේ විශිෂ්ට තාරකාවකි. සුනිල් දත් ද පනහ හැට දශකයේ ජනප්‍රිය පෙම්වතෙකි. නර්ගීස් හා සුනිල් ගේ අනෙක් දරුවන් දෙදෙනා දූවරුන් විය. මාපියන්ගේත්, සොයුරියන්ගේත් හුරතලය මැද හැදුණු වැඩුණු සංජේ දත් පොත පතට වඩා ප්‍රිය කළේ කෙළි දෙළෙන් දවස ගත කිරීමටය. මාපියන්ට ද තමන්ගේ මෙන් ම ඔහුගේ ද දෛවය ලියැවී ඇත්තේ සිනමාවේ බව ඉවෙන් මෙන් වැටහිණි.
රොකී සිනමා පටයේ සංජේ දත් සමඟ පියා සුනිල් දත් ද රංගනයෙන් එක්විය. ශංකර් ලෙස ප්‍රධාන චරිතයකට සංජේ පණ පෙවූ එම සිනමා පටය අතිශය ජනප්‍රිය විය. එය එම වසරේ වැඩි ම ආදායමක් ලද සිනමා පට දහය අතරට එක් වූයේ සංජේට දිගු සිනමා ගමනකට මං පාදමිනි. අවාසනාවකට ඔහුගේ මව සිනමා පටය තිරගත වීමට කෙටි කලකට පෙර අවාසනාවන්ත ලෙස පිළිකාවකින් මිය ගියාය.
එහි තිරයේ පෙම්වතිය ටීනා මුනිම් ඔහුගේ සැබෑ ජීවිතයේ ද පෙම්වතිය විය. එහෙත් එය වැඩිකල් පැවතුණේ නැත. සංජේ බීමට ඇබ්බැහි වීම නිසාත් තමන්ට වඩා බෙහෙවින් වැඩිමල් වූ සුපරි නළු රාජේශ් ඛන්නා සමඟ ඇය මිතුරු වීම නිසාත් ඒ සබඳතාව දෙකඩ විය. සිනමා පටයෙන් සිනමා පටය සාර්ථක වෙද්දී ඔහුගේ ජීවිතය අංශ ගණනාවකින් අසාර්ථක වූයේ කළු පැල්ලම් රැසක් ජීවිතයට එක් කරමිනි. ඔහු ටීනා සමඟ තිබූ සබඳතාව බිඳී ගිය පසු මත්පැනට අමතරව මත්ද්‍රව්‍යයට ද ඇබ්බැහි විය. රීචා ෂර්මා ඔහුට මුණ ගැසෙන්නේ ඒ අතරේදීය.
එහෙත් විවාහයෙන් දෙවසරකදී දියණිය ත්‍රිශාලා ඉපදී නොබෝ කලිකින් ආරංචි වූයේ රිචාගේ මොළයේ ගෙඩියක් ඇති බවයි. එම ගෙඩිය ඉවත් කිරීමට ඇය අමෙරිකාවට රැගෙන යාමෙන් පසු සංජේගේ ආදර සබඳතාවල කෙළවරක් නොවීය. එක්වර ඔහු පෙම්වතියන් තිදෙනකු ඇසුරු කළේ ඉතා සූක්ෂම ලෙසය. පෙම්වතියන්ගේ නාමාවලියට මධුරී ඩික්සිත්, රියා පිල්ලෙයි (දෙවැනි බිරිය), නාඩියා දුරානි, ලීසා රේ පමණක් නොව වසර ගණනක් වැඩිමල් රේඛාගේ නම ද එක් විය. මේ සියල්ල අතරේ 1993 මුම්බායි බෝම්බ පිපිරීමේ ත්‍රස්තවාදී ක්රියාවේ සැකකරුවකු බවට ද ඔහු පත්විය. ඉන්පසු සිරගත වීමත්, යළි රූගත කිරීම්වලට සහභාගී වීමත් සංජේට දෛනික කාර්යයක් තරමට හුරු පුරුදු විය. ඔහුට මන්යාතා මුණ ගැසීමත්, 2016 දී නීතිය සමඟ තිබූ අරගලය අවසන් වීමත් නිසා ජීවිතයට යළි වසන්තය ළඟා විණි.
රාජ්කුමාර් විසින් සංජේ ගේ සංකීර්ණ චරිතයට තෝරා ගනු ලැබුවේ රන්බීර් කපූර්ය. සිනමා පටය ‘සංජු’ යනුවෙන් ඔහු නම් කළේ මව නර්ගීස් පුතු සංජේව ඇමතුවේ ඒ නමින් නිසයි. එහෙත් රන්බීර්ට සංජේගේ මාංස කල්‍යාණයෙන් පිරි ස්ථුල සිරුර දැවැන්ත අභියෝගයක් විය. ඔහු සංජේගේ එක් වයස් සීමාවකින් තවත් වයස් සීමාවකට ගැළපෙන සේ සිරුර සකසා ගැනීමට සති 6 - 7 ක් බැගින් විවේකයක් ලබා ගත්තේය.
තිර පරීක්ෂණයෙන් පසු දක්ෂ ජනප්‍රිය නිළියක වූ සංජේගේ මව නර්ගීස්ගේ චරිතයට ප්‍රවීණ නිළි මනීෂා කොයිරාල තෝරා ගනු ලැබීය. කොණ්ඩය කොටට තිබියදීත් දිගට තිබියදීත් මනීෂාගේ පෙනුම නර්ගීස්ට බෙහෙවින් සමාන විය. කෘත්‍රිම ශරීර කොටස් නිර්මාණය කරන කලාකරුවකුගේ ආධාරය ද රන්බීර්ගේ මුහුණ වයස අනුව පරිණත කිරීමට ආධාරකර ගැනිණි. කොණ්ඩා නිර්මාණ ශිල්පියාට ද රන්බීර්ගේ වයස්ගත පෙනුම ලබාදීමේදී විශාල කාර්යභාරයක් පැවරිණි.
හිරානිට සංජේගේ ජීවිතය ළමාවියේ සිට තිරයේ දැක්වීමට අවශ්‍ය විය. ඒ නිසා ඔහු ළමාවිය ද ගත කළ නිවෙසට සමාන ගොඩනැඟිල්ලක් දින විසිපහකින් ඉදිකෙරිණි. ‘සංජු’ චරිතයට රන්බීර් ප්‍රථම හා එකම තෝරා ගැනීම වීමට හේතු ගණනාවක් ම බලපෑවේය. දෙදෙනාගේ සමාන රූප ස්වභාවය සහ සිනමා පවුල්වලින් පැවත ඒම ඊට ප්‍රධාන වශයෙන් හේතු විය.
සිනමා පටයේ ටීනා මුනිම්ට සෝනම් කපූර් ද, මන්යාතා දත් ට දියා මිර්සා ද, සුනිල් දත්ට පරේෂ් රාවල් ද කුමාර් ගෞරව්ට විකී කෞශාල් ද මධුරු ඩික්සිත්ට කරිෂ්මා තන්නාද, සල්මන් ඛාන්ට ජිම් සාබ් ද ප්‍රියා දත්ට අෂ්නූර් කෝර් ද පණ පොවති. ඒ.ආර්. රහමාන්, රොහාන් රොහාන්, වික්‍රම් මොන්ට්රෝස් තනු නිර්මාණයෙන් ‘සංජු’ රස ගන්වයි. ගීත ගායනා සෝනු නිගම්, සුනිධි චෞහාන්, ශ්‍රෙයා ශෝෂාල්, සුක්වින්දර් සිං ගායනයෙන් දායක වෙති.
සිනමා පටයේ රන්බීර් ගේ රංගනයට මේ වන විට නොමඳ ප්‍රතිචාර ලැබෙමින් පවතී. සංජේගේ සොයුරියක වන ප්‍රියා සිනමා පටයේ ට්‍රේලරයේ රන්බීර්ගේ රංගනය දැක කෙතරම් සන්තුෂ්ටියට පත්වූවාද කිවහොත් ඇය ඔහුගේ රසිකාවක වී අවසන්ය. ජුනි 29 වැනි දින සිනමා පටය තිරගත වන අතර එදිනට රන්බීර්, සංජුගේ රස තොරතුරු වගේ ම දෙදෙනාගේ සමාන අසමානකම් ගැන ද රසිකයන්ට නිගමනයකට එළඹීමට හැකිවනු ඇත.
චම්පිකා දීපානි රණසිංහ