අහස් ගව්වෙන් දේශීය සිනමාවට, දේශපාලන සිනමාවක දොර කවුලු විවර කළ ධර්මසේන පතිරාජ, මෙරට සිනමාවේ දෙවැනි කැරැල්ල ගැසූ රැඩිකල් සිනමාකරුවෙක් බව එකල සිනමා විචාරකයෝ පැවසූහ.
පළමු කැරැල්ල ගැසූයේ දේශීය සිනමාවේ සම්භාව්‍ය සිනමාවේදියා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ය. පතිරාජ එදා තරුණයෙකු ලෙස සමාජයේ ප්රබලතම ගැටලුවක් වූ විරැකියාව පිළිබඳ අව්‍යාජ ප්රකාශනයක යෙදුණි. විරැකියාව හේතුවෙන් අහිමි වන සමාජ හා ජීවිත සබඳතා වලට බලපාන දේශපාලන හේතු අරගලයකින් ජයගත යුතු බව චිත්‍රපටයේ කූටප්‍රාප්තියයි.
සුගතපාල සෙනරත්යාපාගේ “හන්තානේ කතාව” චිත්‍රපටයේ සම තිර රචකයා ලෙස සිනමා ක්ෂේත්රයට පිවිසෙන ධර්මසේන පතිරාජ, අහස් ගව්ව තුළින් දේශපාලන සිනමාවකට අඩිතාලම දමා දුන්නේය. තරුණ ප්‍රශ්න හෘදයාංගමව විමසා බැලූ ප්‍රථම චිත්‍රපටය ලෙස එය විචාරක ඇගයීමට ලක්විය.
අමරසිරි කලංසූරිය, විජය කුමාරණතුංග, සිරිල් වික්‍රමගේ, මැණික් කුරුකුලසූරිය, විමල් කුමාර ද කොස්තා, වික්‍රම බෝගොඩ, ස්වර්ණා මල්ලවාරච්චි රඟපෑ අහස් ගව්ව සිනමාපටයේ කැමරාකරණය – ඩොනල්ඩ් කරුණාරත්න ගෙනි. ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ අහස් ගව්ව සිනමාපටයේ සංස්කරණය ජයතිස්ස දිල්ලිමුණි ය. 1974.01.24 දින තිරගත වූ අහස් ගව්ව දේශීය සිනමා නාමාවලියේ 275 වැනි සිනමාපටය වෙයි.
අහස් ගව්ව විකල්ප සිනමා චින්තනයක් හා භාවිතාවක් ප්‍රකට කලේය. එය මෙරට රැකියා විරහිත තරුණ පරපුරේ ශෝකාන්තය යථාර්තවාදී දෘෂ්ටියකින් විමසා බැලුවේ ය. එම සිනමා භාවිතය ප්‍රංශ නවරැල්ල පමණටම දේශීය සිනමාවට නැවුම්ය. සිනමාව විප්ලවීය කලා මාධ්‍යයක් ලෙස හැඳින්වූ පතිරාජ එය විග්රහ කළේ මෙපරිදිය.” වචනයේ පරිසමාප්තියෙන්ම ඉතාමත්ම පිරිසිදුවූත්, සත්‍යවූත්, ජීවමාන යථාර්තය ගොඩනැංවීම මේ මාධ්‍යයේ විශේෂ විප්ලවීය ස්වරූපයයි.” යනුවෙනි.
අහස්ගව්ව ගැන මතකය අවදි කරන අමරසිරි කලංසූරිය මහතා වරෙක සුලෝචන වික්‍රමසිංහ සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසන්නේ,
‘‘අහස්ගව්වේ ‘ඉරා අඳුරුපට පෙරදිග අහසේ’ ගීතයේ ලියැවී තිබෙන්නේ මගේ ජීවිතය. එහි ගායනා වෙන්නේ මගේ හදවතේ රිද්මය. මට හරියට රස්සාවක් තිබුණේ නැහැ. ලැබෙන මොනවා හරි කාලා කොහේ හරි බුදියගන්නවා. ඒ කාලේ නුවර පතීලගේ ඇනෙක්ස් එකක් තිබුණා. නිදාගන්න තැනක් නැතිකොට මම ඒකෙත් නිදාගන්නවා. මට හරියට කෑමක් නැහැ කියලා දැනගත්තම බර්ටි, පතී, දයා තෙන්නකෝන්ල විශ්වවිද්‍යාලෙට හොරෙන් එහෙ කෑම වේල ගෙනත් දෙනවා. බර්ටි ජයතිලක මහත්තයත් මට ගොඩක් උදව් කළා. කම්කරු වැඩ ඕන තරම් මම කරලා තියෙනවා. ඒ කාලේ කම්කරු කුලිය සත පනහයි. එස්.එස්.සී. සමත්වෙලා හිටියත් රුපියල් 1.75 පඩියට මම කෘෂිකර්ම අමාත්‍යංශයේ කළු ගල් ඇද්ද. නිදාගත්තේ නිලධාරී මහත්තයකුගෙ බංගලාවෙ පඩිය උඩ. උයාගන්න තැනක් නැහැ. තැනක් තිබුණත් බඩුගන්න සල්ලි නැහැ. ඒ නිසා හැම සෙනසුරාදා දවසකම මම එහෙ වැඩකරන අයගේ ගෙවල් ගානේ යනවා. ගිහින් ඔවුන්ගෙන් පිපිඤ්ඤා, වැටකොළු, වට්ටක්කා, බීට්රූට් වගේ එළවළු අරගෙන ඇවිල්ලා හදාගෙන කනවා. අඳින්න තිබුණෙ එකම කලිසමයි. එකම ෂර්ට් එකයි. ඒවම ඇඳලා තමයි අහස් ගව්ව කළේ. ඒ නිසා අහස් ගව්ව මට අමුතුවෙන් කරන්න දෙයක් තිබ්බේ නැහැ. ‘අහස් ගව්ව’ තමයි මගේ ජීවිතේ. එහි රඟපෑම සඳහා මට එම වසරේ හොඳම රංගන ශිල්පියාට හිමි විචාරක සම්මානය ලැබුණා. ඒ උළෙලට ආරාධනා පත්‍රය ලැබුණම ඒකට මම යන්න නෙමේ හිටියෙ. මොකද එවැනි උළෙලකට ගැලපෙන ඇඳුමක් මට තිබුණේ නැහැ.
කොහොම හරි අන්තිමට මට ලැබුණ එකම කලිසමයි, ෂර්ට් එකයි සෙරෙප්පු දෙකයි දාගෙන පතී ඇතුලූ අපි කට්ටිය නුවර ඉඳන් බස් එකක නැගලා කොළඹ ඇවිල්ලා එතැන ඉඳන් ජුබිලි ශාලාවට පයින් ගියා. ඒ කාලේ ගාමිණී ෆොන්සේකා මහත්තයා තමයි ලංකාවේ අංක එකේ නළුවා. එතුමටත් එම සම්මාන උළෙලෙදි මොකක්ද සම්මානයක් ලැබුණා. ඒත් හොඳම සජීවී රංගනයට හිමි සම්මානය ලැබුණේ මට. මගේ රංගනය පිළිබඳ හේතු පාඨය කියෙව්වේ ගාමිණි හත්තොට්ටුවේගම මහත්තයා. ඔහු හේතු පාඨය කියවනකොට මගෙ එපා පැත්තේ ඉඳගෙන හිටිය අනුලා කරුණාතිලක මට ඇඟිල්ලෙන් ඇනලා කිව්වා සම්මානය මට කියලා. මම කොහෙත්ම විශ්වාස කළේ නැහැ. ඒත් හේතු පාඨය අවසානෙදි මගේ නම කියනකොට මට පුදුම හිතුණා. ඒ වුණාට ඒ සම්මානය ගන්න වේදිකාවට නගින්න මගේ හිත දුන්නේ නැහැ. මොකද සම්මාන ගත්ත අනික් හැමෝම ටයි කෝට් දාලා හිටියෙ. මම ඇඳගෙන හිටියේ මම හැමදාම අඳින කලිසමයි ෂර්ට් එකයි. දාගෙන හිටියෙත් සෙරෙප්පු දෙකක්. අවසානයේ හිත ධෛර්ය කරගෙන ගිහින් මම එම සම්මානය බාරගත්තා. උළෙල අවසානයේ දී ගාමිණී ෆොන්සේකා මහත්තයා මට ඇවිත් කිව්වා අහස් ගව්වෙ මගේ රඟපෑම දැකලා එතුමා විශ්මයට පත්වුණා කියලා. ඒක මට ලොකු සතුටක් වුණා. ඒ වගේම එම චිත්‍රපට විනිශ්චය කරන්න රටවල් 15කින් පමණ විචාරකයෝ ඇවිල්ලා හිටියා.‘‘ යන්නයි.
අහස් ගව්ව සිනමාපටයේ අධ්යක්ෂ ධර්මසේන පතිරාජ සිය නිර්මාණය ගැන වරෙක මතකය අවදි කරන්නේ මෙලෙසිනි. ‘මම සිනමාවෙන් කිසිම දිනෙක යැපුනේ නෑ. 1960 සිට 2008 දක්වා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් ලෙස රැකියාවක් මට තිබුණා. එම නිසා වෘත්තිකයෙක් ලෙස නිෂ්පාදකවරුන් පසුපස හඹා යාමේ සංස්කෘතිය මාගේ ජීවිතයට බද්ධ වුණේ නැහැ. මම නිර්මාණය කළේ ඉඳහිට ලැබුන නිෂ්පාදකයන්ගේ ආයෝජනයන් මතයි. මේ තත්ත්වයන් තුළ අසීරුවෙන් මාර්ගයක් විවර කරගෙන තමයි ‘අහස් ගව්ව’ වැනි සිනමා නිර්මාණයක් කිරීමට මම මුලපුරන්නේ. මගේ සිනමාව ආරම්භක යුගයෙ ලෝකෙට විවෘත වුණේ නැත්තේ ගැටලූ කීපයක් නිසා. ලෝකෙට සිනමාව විවෘත කරන්නේ සිනමා උලෙළවල්. සිනමා උළෙලක් කියන්නේ විශාල අවකාශයක්. ‘අහස් ගව්ව’ සිනමා කෘතිය උළෙලවල කතාබහට ලක්වුණා. උදාහරණයක් හැටියට ලොකානෝ සිනමා උළෙලට ඉල්ලලා ආරාධනා ලැබුණා. නමුත් මට ෆිල්ම් එක යවන්න බැරිවුණා. ඒකට හේතුව තමයි ෆිල්ම් එක සඳහා උප සිරැසි ඇතුල් කරන්න ඉන්දියාවට යාමට අවශ්‍ය මුදල් මා ළඟ නොතිබීම. මට මුදල් යෙදවීමට ආයෝජකයෙක් හිටියෙත් නෑ. ඊළගට කිසියම් ආකාරයකින් මාව ඒකට තල්ලූ කරන්න ඇදගෙන යන්න පුලූවන් කිසිවෙක් හිටියේත් නෑ. ‘අහස් ගව්ව’ට පළවෙනි විචාරය ලිව්වේ එල් ඕ ද සිල්වා ඩේලි නිවුස් පත්තරේට. මම බලාපොරොත්තු වුණේ නෑ ඉංග්‍රීසි පත්තරේක විචාරයක් යයි කියලා. ඒ විචාරයේ ලියලා තිබුණා “මේ චිත්රපටියෙ බොහොම අසංවිධිත බවක් තියෙනවා. නමුත් එය කොච්චර සුන්දර අසංවිධිතබවක්ද කියලා.” ඊට වඩා ඒක ඇතුලේ නූතනවාදී ප්‍රවේශය දකින්න පුළුවන් කියන එක ඔහු වටහාගන්න ඇති. ‘‘
දේශීය සිනමා නාමාවලියේ 275 වැනි සිනමාපටය වූ අහස් ගව්ව ලාංකේය සිනමා නිර්මාණ අතර සුවිශේෂී ස්ථානයක් හිමිකරගන්නා නිර්මාණයක් බව අවිවාදයෙන් යුතුව පැවසිය හැකිය.
රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා රාවය පුවත්පතට සුලෝචන වික්‍රමසිංහ සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් හා බෙනිල් ශාන්තගේ සටහනක් ඇසුරිනි.
වින්ද්‍යා ගම්ලත්