“අතීතයේ දවසක, යාළුවෝ දෙදෙනෙක් කෝච්චියේ නැඟලා ගමනක් යන්න පටන් ගන්නවා. කෝච්චියට ටිකට් ගන්න මුදල් නැති නිසා ඔවුන් එදා කෝච්චියට නඟින්න සිද්ධවෙලා තිබුණේ ටිකට් නැතුව. ටික වෙලාවකින් කොච්චියේ ටිකට් චෙක් කරන්න පටන් ගන්නවා.
ඒක දැක්ක අර යාළුවෝ දෙන්නා හොඳටම කලබල වෙලා අතර මඟදී හදිසියෙම කොච්චියෙන් බහිනවා. කුඹුරු යායක් මැදින් රේල් පාර දිගේ කෝච්චිය නොනැවතී ඉදිරියට යනවා. ගමනාත්තයට කලින් කෝච්චියෙන් බැහැපු යාළුවෝ දෙන්නා රේල් පාරදිගේ ඇවිදගෙන යනවා. එක් යාළුවෙක් නතර වෙලා අනෙක් යාළුවා කෝ කියලා හොයන්න පටන් ගන්නවා. එතකොටම ඒ යාළුවා දකිනවා අනෙක් යාළුවා කුඹුරු යාය ගාව ගොයම් කරල් දිහා බලාගෙන බිම ඉඳ ගෙන ඉන්නවා. මහන්සි ඇරලා එයි කියලා හිතලා ඔහු තවත් ටිකක් ඉස්සරහට ගමන් කරනවා. ටික දුරක් ගිහින් ආපහු හැරිලා බලනවා. ඔහු තවම එතන ඒ විදිහටම කුඹුර දිහා බලා ඉන්නවා. තවමත් මහන්සි අරිනවා කියලා හිතපු යාළුවා දුවගෙන ගිහින් ඔහු ළඟින් ඉඳගෙන ඔහුත් එක්ක ටික වෙලාවක් ඉන්නවා. මොහොතකට පස්සේ නැගිටලා බලද්දීත් ආයෙත් ඒ විදිහටම අර යාළුවා ගොයම් කරල් දිහා බලාගෙන ඉන්නවා. යාළුවා නැඟිටලා ඔහුගෙන් අහනවා මහන්සිය ගියා ද? අපි දැන් යමු ද? කියලා. එතකොට ඒ යාළුවා කියනවා”.
‘පොඩ්ඩක් ඔහොම ඉන්න, මං මේ ගොයම් කරල්වලින් ඇහෙන සංගීතය අහගෙන ඉන්නවා’
යාළුවාට එසේ කීවේ අන් කිසිවකු නොව, හෙළයේ මහා ගාන්ධර්වයන් වු ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ය. ස්වාභාවධර්මයේ අපූරූ චමත්කාරයටත්, ජීවිතයේ වේදනාවන්ටත්, ඇහුන්කන් දීලා, පවුල් පසුබිමකින් හෝ අධ්‍යාපන පසුබිමකින් නෑසුණු සංගීතය ඔහු අත්විඳින්න පටන් ගත්තා. අවුරුදු එකොළහක කොලු ගැටයෙක් වෙච්ච ඔහුට එදා ඇහුණු ඒ සංගීතය පසු කලෙක මානව සංහතියෙම ආත්මය සුවපත් කරන සංගීතයක් බවට පත් කරනවා. සැබෑ ශ්‍රේෂ්ඨයකුගේ උත්තම මානව ප්‍රේමයේ සුමිහිරි නාදය ඔහුගේ සංගීතය තුළින් රැව් දෙනවා. ඒ තුළ ඉපදුණු මානව හිතවාදී දර්ශනය සංගීතය තුළින් හැම මිනිස් හදවතක්ම නිවා සනහාලනවා. ඒ සංගීතමය නාද රටාවල රිද්මය මිනිස් හිත් තුළ මානව ප්‍රේමයක් බවට පත් කරනවා.
ගයත්‍රී කේමදාසයන් මෙහි ඉපිද, ප්රාග් සංගීතාලයෙන් බටහිර සංගීතය පිළිබඳ උසස් අධ්‍යාපනය හදාරා විදේශීය කලා භාවිතයන්ගේ අත්දැකීම් ඔස්සේ පර්යේෂණාත්මක කලා කෘති රැසක් නිර්මාණය කරමින් ද, සිසු සිසුවියන්ට සංගීත කලා භාවිතය පිළිබඳ අධ්‍යාපනය ලබා දෙමින් ද, මේ මොහොත වන විටත් මේ පොළොව මත සංගීතය වෙනුවෙන් සැබෑටම වෙහෙසෙමින් සිටින්නීය. ඇය සිය පියා වන ‘කේමදාස මාස්ටර්’ නමින් මිනිස් හදවත් තුළ සදා අමරණීය වු ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් නැමැති යුග පුරුෂයාගේ නිර්මාණ සයුරෙන් තෝරාගත් කලා කෘති පිළිබඳ සිය කට හඬ අවදි කරයි. එහි ප්රතිරාවය විටෙක, චිත්‍රපට, වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය, සංධ්වනි, ඔපෙරා, කැන්ටාටා, ගීත නාටක, බැලේ, ගීත නිර්මාණ ආදී වූ විවිධ කලා භාවිතයන් ඔස්සේ රාව ප්රතිරාව දෙනු ඇත.
“I can’t understand why People are frightened of new ideas‚ I am frightened of old ones”
-John Cage-
(මිනිස්සු අලුත් අදහස් එක්ක ඉදිරියට යන්න බය වෙන හේතුව, හිතා ගන්න අමාරුයි, මම නම් බය, පරණ සම්ප්රදාය මත නතරවී ඉන්න. -ජෝන් කේජ්- ) මේ තමයි, මමයි තාත්තයි සම්බන්ධ වෙන තැන. තාත්තා සංගීතය හදාරපු විදිහේ සුවිශේෂිත්වය මත එයට පාදක වුණු අත්දැකීම් ඔහුව වෙනස් තලයක් වෙත ඔසවා තැබුවා. ඒ ඔස්සේ විශ්වීය සංගීත මානයන් ඔහුගෙන් රෝපණය වුණා. ඒ නිසාම තාත්තා හැමදාම පරණ සම්ප්‍රදායත් සමඟ අරගල කළා. මම විධිමත් අධ්‍යාපනය තුළින් සංගීතය හදාරා තාත්තා ගෙන ගිය අරගලයේම කොටසක් බවට පත්වෙන්නේ, දැනට පවතින සංගීත සම්ප්‍රදායන් මීට වඩා දියුණු තලයකට ඔසවා තබන්න. ඒ හැම මොහොතකම මට දැනෙන්නේ තාත්තා මේ පොළොව මත ගෙන ගිය අරගලය කෙතරම් සුවිශේෂි ද කියන දෙය.
ඒ සුවිශේෂීත්වය තවත් වැඩිවෙන්න පටන් ගත්තා, බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සම්බන්ධ තාත්තා නිර්මාණය කරපු පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව අහපුවහම. පිරිනිවන් මංගල්‍යය කරන්න තාත්තට මුල්ම හේතුව වුණේ, ජේ.ඊ. සේදරමන් විසින් රචිත බලියාග කවි කියවීම. තාත්තා ඒ කවි කියවලා ආ... මම දැන් මේකෙන් කැන්ටාටාවක් කරනවා කියලා පටන් ගත්තා කියලා මම හිතන්නෙ නෑ. ඒ වෙන කොට තාත්තා පදනම පටන් අරන් තිබුණා.
තාත්තා වටේ ගායනා කළ හැකි ළමයි හිටියා. ඒ සම්පත්වලින් අලුත් දෙයක් කරන්න පටන් ගත්තා. තාත්තා බටහිර කැන්ටාටා අහලා ඒ ගැන දැනගෙන හිටියා. ඒත් තාත්තට ඒක අදාළ වුනේ නෑ. මේක කැන්ටාටා කියලා ලේබල් ගහලා සංගීතය සීමා කරන්න තාත්තට අවශ්‍යය වුණේ නෑ. තාත්තගේ රසිකයෙක් වෙච්ච රොහාන් ජෝසප් දී සේරම් තමයි පිරිනිවන් මංගල්‍යය අහලා මාරයිනේ මාස්ටර් මේක මාර කැන්ටටාවක්නේ කියලා කියලා තියෙන්නේ. ඇත්තමට මේකට කැන්ටාටාවක් කියන අර්ථය දෙන්නේ තාත්තත් එක්ක කළ ඒ සංවාදයෙන් පස්සේ. මිනිස්සු අතරට මේ සංගීත ශෛලිය ගෙනියන කොට අපිට ලොකු වුවමනාවක් තියෙනවානේ ඒ සංගීත ශෛලිය මෙකටද අයිතිවෙන්නේ කියලා හඳුනා ගැනීමට. අන්න ඒ හින්දා පස්සේ තාත්තත් පිරිනිවන් මංගල්‍යයට කැන්ටාටාව කියන නම පාවිච්චි කරන්න පටන් ගන්නවා.
සම්භාව්‍ය බටහිර කැන්ටාටා (Cantata) ගොඩනැගෙන්නේ දීර්ඝකාලින ආගමික සංගීත පසුබිමක විකාශනයේ ප්‍රතිඵලයක් විදිහට. පිරිනිවන් මංගල්‍යය ගැන කියවීමට පෙර බටහිර කැන්ටාටාව ආරම්භවුණු පසුබිම දැනගෙන සිටීම ඉතා වැදගත්.
15-16 වැනි ශතවර්ෂවල ක්‍රිස්තියානී පල්ලියේ ගීතිකා විශේෂයක් වුණු මැඩ්‍රිගල් (Madrigal) ගායනා විශේෂය තුළ කැන්ටාටාවේ ආරම්භක මුලික ලක්ෂණය පවතිනවා. (Carlo Gesualdo -sesto libro di madrigali: XVII. Moro, lasso, al mio duolo) එම ගායනා රාජ්‍යය අනුග්‍රහය යටතේ ක්‍රිස්තූ චරිතය පිළිබඳ නත්තල් වැනී උස්සව අවස්ථාවලදී උදේ රාත්‍රී කාලයේ දී පල්ලිය තුළ ගායනා කළා. කට හඬ පමණක් යොදා ඉතා සරලව ස්වර රචනයක් (Melody) බොහොම හෙමින් අලංකාර රිද්මයකට ගායනා කරනවා. ඒක අස්සේ අපිට ඇහෙනවා වචන ගායනය කරවා. එක හඬක් පටන් ගත්තහම ඒ හඬ මැද්දෙන් තවත් හඬක් ඒකට එකතු වෙලා එතනින් වෙනත් තැනකට යනවා. විටින් විට හඬවල් එකතු වෙලා එය දිගින් දිගටම වර්ධනය වෙලා අවසන් වෙනවා.
කාලයක් යද්දී පල්ලිය තුළින් ආගම හරහා මිනිසසුන්ට එල්ලවන පීඩනය මිනිස්සුන්ට දැනෙන්න පටන් ගන්නවා. ඒ පීඩනයෙන් මිදෙන්න උස්සාහගන්නවත් එක්ක මිනිස්සුන්ගේ බලය වැඩිවුණා. මිනිස්සු පල්ලිය, ආගම, දෙවියන් විවේචනය කරන් පටන් ගත්තා. ඒ ප්‍රබලත්වය සංගීතය තුළින් එළියට එන්න පටන් ගත්තා. (Anton Bruckner – Helgoland Cantata -1893) කට හඬට පමණක් සීමා වෙලා තිබුණ ගායනා සමඟ සංගීත වාදනයත් එකතු වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මිනිස්සුන්ගේ ඇසීමත් දියුණු වෙන්න පටන් ගත්තා. මුලින්ම ඇහුණේ එක කටහඬයි, එක සංගීත භාණ්ඩයයි. එහි දී මූලික වුණේ, පියානෝවේ ආරම්භය වුණු, හාප්සිකෝඩ් (Harpsichord) යන සංගීත භාණ්ඩයයි. නමුත් එන්න එන්නම කටහඬවල් කීපයක් සහ සංගීත භාණ්ඩ විශාල ප්‍රමාණයක් එකතු වෙලා ඇහෙන්න පටන් ගත්තා. (John Dowland : Flow my teares –Hyun Jung Oh, Voice; Marco Montanelli, harpsichord) ඒ ඔස්සේ ගොඩනැඟුණු සංගිත ශෛලීන් කැන්ටාටා, ඔපෙරා යන දියුණු සංගීත සම්ප්‍රදායන් දක්වා වැඩී වර්ධනය වෙනවා.
මෙම බටහිර කැන්ටාටාවේ ආරම්භක ඉතිහාසයේ පිරිනිවන් මංගල්‍යය හරිම සුවිශේෂී. ඒකට ප්‍රධානම හේතුව තමයි පිරිනිවන් මංගල්‍යයට ඔය කියන ඉතිහාසය නැති එක. හරි පුදුමයි, පිරිනිවන් මංගල්‍ය හැදෙන පසුබිම තුළ ලංකාවේ සංගීතය තියෙන්නේ ගීතයත් එක්ක. ඒකෙන් පස්සෙත්, අපි ඉන්නේ ගීතයත් එක්ක.
පිරින්වන් මංගල්‍යයෙන් දේශීය මුලාශ්‍රයන් බටහිර සංගීතයත් සමඟ ඒක්කාසු කර වෙනත් සංගීත ශෛලියක් ගොඩනගනවා. ඒ සංගීත ශෛලියෙන් ඇහෙන්න පටන් ගත්තේ අපේ කතාවක් විතරක්ම නෙමෙයි. තාත්තා ඒ තුළින් විශ්වයේ මහා පොළොව මත ජීවත්වන මානව සංහතියේම හදවත් ආමන්ත්‍රණය කරන්න පටන් ගන්නවා.
ඩිලූෂා නදීකමාලී