පහුගිය කාලසීමාව ඇතුලෙ අපි කාර් එකක් මිලට ගන්නට හිතාගෙන ලංකාවෙ තියෙන බයි ඇන් සෙල් වෙබ්සයිට් වලට එබි එබී හිටියා. ඉක්මන්, කාර්මුඩි වගේ. මට කාර් එකක් අවශ්‍ය නිසා මම කාර් හෙව්වා. ඒ වෙනුවෙන් ලෝන් එකක් ගන්නත් හිතාගෙන ඒවාට අදාල වෙබ්සයිට් වලට ගියා.
පහුගිය කාලයේදී ගූග්ල් ඇඩ්සෙන්ස් තියෙන වෙබ්සයිට්, යූටියුබ් වගේ තැන්වලට ගියාම මට වැඩිපුරම පෙන්වුවේ කාර් වලට අදාල ඇඩ්. ණය ලබාගැනීමේ පහසුකම් ගැන කියන ඇඩ්.
කාර් සර්ච් කරන එක අඩුවුණා. පහුගිය කාලය ඇතුලෙ ක්රිප්ටොකරන්සි ගැන මම වැඩකරන පත්තරේට ලිපියක් ලියන්නට ඒ ගැන හෙව්වා. ඉතින් දැන් ඇඩ්සෙන්ස් යන මට එන්නේ බිට්කොයින් අර කොයින් මේ කොයින් කියලා ක්රිප්ටොකරන්සි ඇඩ්. මට ඕනෑ මොනවද? මම කැමති කාටද කියලා ගූග්ල් දන්නවා. ඒ තොරතුරු එයාලා ළඟ තියෙනවා. තව කී දෙනෙක් ළඟ මගේ පෞද්ගලික තොරතුරු තියෙනවා ඇතිද? ලෝකය දැන් තියෙන්නෙ ඒ මට්ටමේ. ඒත් අපේ බොහෝ අය තවමත් ඒ ගැන හරියට දන්නේ නැහැ. අපේ වගේම ඉන්දියාවේ සාමාන්‍ය අයත් මේවා ගැන දන්නෙ නැහැ. ඉතින්, ඒ ගැන දැනුම්වත් කරන්නට චිත්‍රපටියක් එන එක මොනතරම් හොඳද. ඉරුම්බු තිරෙයි කියන්නෙ එහෙම චිත්‍රපටියක්. කෙඩිට් කාඩ් හිමිකරුවන්ගේ දත්ත හොරකම් කරලා සල්ලි ඩැහැගන්නා හොරෙක් ගැනයි චිත්‍රපටිය එන්නෙ. එහෙම කරන හොරකමකට අවශ්‍ය වටිනාම දේ තමයි තොරතුරු. අපි හිතනවාට වඩා අපි ගැන බොහෝ තොරතුරු ලේසියෙන්ම සොයාගන්න ක්‍රම තියෙනවා. මේවා ගැන චිත්‍රපටියකින් කතා කිරීම අපේ එදිනෙදා දැනුමටත් වැදගත්. ඒ නිසා මේ චිත්‍රපටිය නැරඹිය යුතුම ගොඩට වැටෙන චිත්‍රපටියක්.
දෙමළ මසාලා ගොඩට අයිතියි කියලා හිතෙන ත්‍රිලර් චිත්‍රපටියක්, ලොකු ඇක්ෂන් සීන් නැතිව දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. ඉරුම්බු තිරයි එහෙම චිත්‍රපටියක්. චිත්‍රපටියේ වීරයා තමයි මේජර් කදිරවන් ( විසාල් ). විසාල් ගැන කල්පනා කරද්දීම අපට මැවෙන්නේ බරසාර ඇක්ෂන්. ඒ විතරක්ද, දුෂ්ඨයා විදියට රඟපාන්නේ 'ඇක්ෂන් කිං' අර්ජුන්. එහෙම චිත්‍රපටියක් ඇක්ෂන් දර්ශණ තියෙන්නේ එකක් හෝ දෙකක් වීම අපූරුයි. ඇක්ෂන් වෙනුවට වැඩේ තියෙන්නේ මොළයේ. චිත්‍රපටිය අන්තිම හරියේදී දුෂ්ඨයා කියන්නේත් ඒකයි.
බොහෝවිට සයිබර් ක්‍රයිම් ගැන කතාකරන චිත්‍රපටියකදී වීරයාව කපලා අන්තිම මොහොත වෙනතුරුම ඉස්මතු වෙන වීරයෙක් දකින්න ලැබෙනවා. අන්තිම තත්පරයේදී තමයි වීරයා දුෂ්ඨයාව පරදවන්නේ. ඉරුම්බු තිරෙයි චිත්රපටියේදීත් අන්තිම මොහොත වෙනතුරුම කැපී පේන්නේ දුෂ්ඨයා. ඉතින් චිත්‍රපටියෙන් නළුවෙක් විදියට ස්කෝ කරන්නේත් දුෂ්ඨයාට රඟපාන අර්ජුන්.
ඉරුම්බු තිරෙයි චිත්‍රපටිය පැය දෙකයි විනාඩි හතළිස්පහක් ඇදි ඇදී යන චිත්‍රපටියක්. හැබැයි ඒ හැම දර්ශණයකටම යන්න අපට පුලුවන්. එක වගේ සීන් වලින් අපව කම්මැලි කරන්න ඉරුම්බු තිරෙයි ලෑස්ති නෑ. ඒ වගේම චිත්‍රපටිය කම්මැලි වීගෙන එන හැම මොහොතකම අපව පුදුම කරවන තොරතුරක් එළියට ඇදලා දෙන්න කතාව සමත් වෙනවා.
චිත්‍රපටියේදී අපට එක වෙලාවක එක දෙයක් දැනගන්න ලැබෙනවා. උදාහරණයක් ගමු. විසාල් රඟපාන වීරයාගේ තාත්තා. ණය අරගෙනම ජීවිතේ විනාශ කරගත්ත, වීරයාගේ සහ එයාගෙ අම්මාගේ විනාශ කරපු තාත්තා කෙනෙක්. ඒත් චිත්‍රපටිය මැදදී අපට තාත්තා ගැන විශේෂ තොරතුරක් ඇදලා දානවා. තාත්තා ගැන එතෙක් හිතපු හැමදේම වෙනස් වෙනවා.
චිත්‍රපටිය පටන්ගන්නේ වීරයා ගැන අපේ ඔලුවේ එක චිත්‍රයක් මවලා. බේබද්දෙක්, ගෑණු සොයා යන්නෙක් වගේ රූපයක් මැවෙනවා. ඒත් ඊළඟ දර්ශණය වෙද්දී හමුදාවේ ඔහු ඉන්න තනතුර ගැන අපි දැනගන්නවා. එතැනින් එහාට වීරයා සහ අපේ ඇහැ එකට සමපාත වෙනවා. එතැනින් එහාට වීරයා අලුතෙන් දැනගන්න දේවල් අපිත් අලුතෙන් දැනගන්නවා. වීරයා නොදන්නා දයෙක් දැනගෙන පුදුම වෙද්දී අපිත් පුදුම වෙනවා.
අවසානම දර්ශණය වෙන තෙක්ම අපි ඉන්නේ වීරයා එක්ක එකටම. අන්තිම දර්ශණයේදී විතරක් අපේ ඇහැ දුෂ්ඨයාගේ ඇහැ එක්ක යා වෙනවා. එහෙම කරන්න වෙනවානේ, දුෂ්ඨයාව වීරයා විසින් පුදුම කරද්දී අපිත් ඒ එක්කම පුදුම වෙන්න එපැයි.
චිත්‍රපටිය බලලා නැති අයගේ රසයට හානි කරන්න බැරි නිසා මේ වගේ අවස්ථා කියන්න බැහැ. කොහොම වුණත් කතාව ගලාගෙන යන්නෙ මේ අලුතෙන් උපදින දැනුම නිසා. අපි සයිබර් අපරාධ ගැන අලුතෙන් ඉගෙනගන්නවා. සයිබර් අපරාධවලට යා හැකි දුර ගැන ඉගෙනගන්නවා. අපි ඇත්තටම මේ ත්‍රිලර් චිත්‍රපටියේදී ත්‍රිල් වෙන්නේ අප වටේ තියෙන අන්තර්ජාලය අපව මොන තරම් රවටන්න සමත්දැයි කල්පනා කිරීම ඇතුලෙ.
විසාල් කවුදැයි අපි හැමෝම දන්නවා. බොළඳ මසාලා ෆිල්ම් එකකදී වගේම ගැඹුරු චිත්රපටියකදීත් වැඩ පෙන්වන්න පුලුවන් බව අපි දන්නවා. විසාල් දෙමළ සිනමාවේ බොළඳම, මසාලා, විනෝද චිත්‍රපටි හදන හරි සහ එන්. ලින්ගුස්වාමි අධ්යක්ෂවරු එක්කත්, ගැඹුරු සංවේදී චිත්‍රපටි හදන මිස්කීන් සහ බාලා වගේ අධ්යක්ෂවරු එක්කත් වැඩ කරලා තියෙනවා. ඔහු තමන්ගේ රංගන හැකියාව එක්ක ඇක්ෂන් හැකියාව අපූරුවට මුසු කරනවා.
අපේ තොරතුරු අපි නොදැනුවත්ව විකිණෙන හැටි, පුංචි මුදලට ඒ තොරතුරු විකිණෙන හැටි තමයි අපි බලන්නෙ.
යුවන් ශංකර් රාජාගේ සංගීතය ඔහුගේ ලෙවල් එකේ නැහැ. අපව විස්මයට පත් කරන දෙයක් මියුසික් ඇතුලෙ නැහැ. බේසික් මියුසික් එක. ඒත් දුෂ්ඨයා වයිට් ඩෙවිල්ට දීලා තියෙන මියුසික් එක නම් වයිට් ඩෙවිල්ව අපූරුවට චිත්රණය කරනවා.
කැමරාකරණය ගැන කිව්වත් කැමරාකරණය ඇතුලෙ බේසික් ටික තමයි තියෙන්නෙ. කදිරවන් ගමට යන කොටසේදී නම් කැමරාවෙන් අපූරු රූප ටිකක් අහුවෙනවා. ඊට අමතරව එඩිට් එකේදී තාක්ෂණය පාවිච්චි කරනවා අපූරුවට. මේ සියල්ල අපට අර ලස්සන කතාව උදව් වෙනවා. දිග චුට්ටක් අඩු වුණානම් මේ චිත්‍රපටිය මීටත් වඩා ජනප්‍රිය වේවි.
මෙතැන් පටන් අපි චිත්‍රපටිවලට රේටින් සිස්ටම් එකක් හඳුන්වලා දෙනවා. ෆයිව් ස්ටාර් රේටින් එකක්. අපි චිත්‍රපටිය වින්ද විදිය, අයිඑම්ඩීබී රේටින්, ඉන්දීය මාධ්‍ය විසින් ලබාදුන්න රේටින් ඇසුරෙන් තමයි අපේ රේටින් එක හැදෙන්නෙ. ඉරුම්බු චිත්‍රපටියට අපි තරු පහෙන් තුනක් ලෝබ නැතිව දෙනවා.
කොලිවුඩ් සිහින බ්ලොග්