කොයම් බෙදුවල තොග වෙළෙඳ පොළ ආසියාවේ විශාල ම ඉහළ පෙළේ වෙළෙඳ සංකීර්ණයකි. මේ වෙළෙඳ සංකීර්ණයේ ජීවත් වන තරුණයන් සිවුදෙනකු පසුබිම් කරගෙන ගෝලි සෝඩා සිනමාපටය නිර්මාණය වී තිබේ.
පුල්ලි, සේතු, සිත්තප්පා, කුට්ටිමනි යන නව යෞවනයන් හතරදෙනා කඩවලට එළවළු ඔසවාගෙන යති. එක කඩයක හිමිකාරියක වූ ආචි මේ පිරිමි ළමයි සිවු දෙනාට ආදරය කරන්නේ තමන්ගේ දරුවන්ට මෙනි. ආචිගේ දියණිය ද ඇය නොදැනුවත් ම මේ තරුණයන්ගේ මිතුරියක බවට පත්වෙයි. ආචිගේ උපකාරයෙන් උපදේශයෙන් ඔවුන් බොජුන් හලක් පවත්වාගෙන ය න අතර සමාජයේ පිළිගැනීමක් ද ලැබේ. බොජුන් හල ඉතා ජනප්‍රියවීම නිසා අතමිට ද සරුවෙයි.
ඔවුන්ගේ දෛවය වෙනස් මඟකට යොමු කරන්නේ වෙළෙඳ පොළ පාලනය කරන ධනවත් නායිදුගේ ඥාති සහෝදරයා රාත්රියේදී විනෝද වීමට බොජුන්හල යොදා ගැනීම නිසාය. දිනක මයිල් කාන්තාවක බොජුන් හලේදී දූෂ්‍ය කරන අතර තරුණයෝ ඊට එරෙහි වෙති. මයිල් හා තරුණයන් අතර කෝන්තරය ඇරැඹෙන්නේ එතැන් සිටය.
ගෝලි සෝඩා 2014 වසරේ ඉහළ ම ආදායම් ලද සම්මානනීය සිනමා පටයකි. එහි පුල්ලිගේ (බෲස්ලී) හා සේතුගේ චරිතවලට පණ දෙන කිශෝර් හා ශ්‍රීරාම් ‘පසන්ග’ (2009) සිනමා පටයේ රංගනයන්ට 57 වැනි ජාතික සිනමා සම්මාන උලෙළේදී හොඳ ම ළමා නළුවන් ලෙස සම්මානයට පාත්රවූවන් ය. පාණ්ඩි සහ මුරුගේෂ්, සිත්තප්පා, කුට්ටමනි තරුණයන්ගේ චරිත නිරූපණය කරති.
අධ්යක්ෂ විජේ මිල්ටන්ට මෙවැනි සිනමා පටයක් කිරීමේ සිතිවිල්ල ඇතිවී තිබෙන්නේ උදෑසනක කොයම්බෙදු වෙළෙඳපොළ පසු කරගෙන යන විටය. තරුණයන් සිය ගණනක් එහි අට්ටාලවල නිදා සිටිනු දුටුවිට ඔවුන්ගේ ජීවිත ගැන ගවේෂණය කිරීමේ සිතක් ඔහුට පහළ වී තිබේ. ඔවුන්ගේ ජීවිත වෙළෙඳපොළ වටා පමණක් කේන්ද්‍ර වී ඇති බවත්, වියපත් වූ පසුවත් ඔවුන්ගේ ජීවන ඉලක්කයන්හි වෙනසක් නොවන බවත් ඔහු වටහා ගත්තේය. තම දෙවැනි සිනමා නිර්මාණය වශයෙන් ඔහු සෙලියුලොයිඩ් පටලයට රැගෙන ආවේ ගෝලි සෝඩා ය. හරියට ම ඊට සිවුවසරකට පසු විජේ එහි දෙවැන්න ගෝලි සෝඩා 2, 2018 ජූලි 14 වැනිදා තිරයට රැගෙන ආවේය. එය දමිළ ක්‍රියාදාම සිනමා පටයක් වන අතර අයුක්තියට එරෙහිව පාන දෙවැනි වීර වික්‍රමයි. එහෙත් දෙවැන්න හා පළමුවැනි සිනමා වෘතාන්ත අතර කිසිදු සබඳතාවක් නැත. මේ වෘතාන්තය ගෙතී ඇත්තේ තරුණ මිතුරන් සිවුදෙනකු තමන්ගේ අනන්‍යතාව විවිධ හැලහැප්පීම් මැද සත්‍ය ලෝකයේ ස්ථාපිත කිරීමට ගන්නා වෑයමක් අයුරිනි.
මාරන්, සිවා හා ඔලි නම් සමාජයේ පීඩිතයන්ට විවිධ වූ කාරණ නිසා සතුරන් වන්නන් එමටය. දේශපාලනය ද චරිත සමඟ ඒකාබද්ධ වී තිබේ. සමුදිරකානි, නඩේෂන් නම් පොලිස් නිලධාරියාගේ චරිතය නිරූපණය කරන අතර ගෞතම් වාසුදේව් මෙනන් ද පොලිස් නිලධාරියකු ලෙස කෙටි එහෙත් කැපී පෙනෙන චරිතයක් නිරූපණය කරයි. කුළුඳුල් රංගනයේදී ම විනාඩි විස්සක දිගු සටන් ජවනිකාවකට ගෞතම් පෙනී සිටින අතර ඔහු සමඟ සටන් කරන්නේ තවත් අධ්යක්ෂවරයකු වන සමුදිරකානිය. රංගනයට ආධුනික නළුවන් දෙදෙනකුගේ සටන් ජවනිකාවට ජනතා ආකර්ෂණය ලබාදීමට අධ්යක්ෂ විජේ විවිධ උපක්‍රම භාවිත කර තිබේ.
සිනමා පටයේ වැඩිපුර ම සිටින්නේ නවක නළු නිළියන්ය. අධ්යක්ෂවරුන් අට දෙනෙක් ම ‘ගෝලි සෝඩා 2’ නිසා නළුවන් බවට ද පත්වී සිටියි.
කළු චරිතයක් රඟන අධ්යක්ෂ ගෞතම් මෙනන් හා සමුදිරකානි ඉන් දෙදෙනකු පමණි. ගෞතම් මෙන් ම සමුදිරකානි ද ජාතික සිනමා සම්මානවලින් පිදුම් ලැබූවන්ය. සමුදිරකානි තමන් ලද අමිහිරි අත්දැකීම්වලින් නවකයන්ට පාඩම් කියා දෙන වැඩිහිටි, පොලිස් නිලධාරියකුට පණ දෙයි. චෙම්බන් විනෝද්, ජෝස්, රෝහිණී, සුබික්ෂා, ක්‍රිෂා කුරුප්, සරවන සුබ්බයියා, භාරත් සීනි, රේඛා (ජොසපින්) රක්ෂිත, සත්‍යමූර්ති ප්‍රධාන චරිත නිරූපණය කරති.
සිනමා පටයේ තනු නිර්මාණය සංගීතඥ ආචු රාජමනි ගෙනි. ඔහු දමිළ සිනමාවේ අඩු තක්සේරුවකට ලක්වූ තනු නිර්මාණකරුවකු වූ නමුත් ‘ගෝලි සෝඩා 2’ ඔහුගේ ඉරණම වෙනස් කරනු ඇති බව බොහෝ දෙනකුගේ අදහසයි. ඒ සිනමා පටය තිරගත වීමට පෙරදීම ඔහුගේ ගීත නිර්මාණවලට යහපත් ප්‍රතිචාර ලැබී ඇති නිසයි. සිනමා පටයේ ට්‍රේලරය මිලියනයකට වැඩි ජනකායක් නරඹා ඇත. ගෝලි සෝඩා 2 රසික ප්‍රතිචාර සෝඩා බෝතලයේ පෙණ කෙතරම් ඉහළ නංවා විද?
චම්පිකා දීපානි රණසිංහ