අප කුඩා අවදියේ නින්දෙන් අවදිවනවිට ගුවන් විදුලියෙන් අපට අසන්නට ලැබුණේ සුනිල් සාන්ත, අමරදේව, අයිවෝ ඩෙනිස් වැනි ගායන ශිල්පීන්ගේ ගීත ය.
ඒ සෑම ගීතයක් පාහේ උපන්බිමට, මනුෂ්‍යත්වයට ගහකොළට, සතා සීපාවාට ආදරය කරන්නට අපට ඉගැන්වීය. අවාසනාවකට 1980 දශකයෙන් පසු උපන් පරපුරට අමරදේවයන් කෙසේවෙතත් සුනිල් සාන්තයන්ගේ, අයිවෝ ඩෙනිසුන්ගේ හඬ අසන්නට ලැබුණේ නම් ඒ විරළ වශයෙනි. ගුවන් විදුලි නාලිකා විසි - තිස් ගණනක් තිබුණ ද ඒවායින් ඒ හඬ නෑසුණු තරම්ය. නිතර අසන්නට නොලැබුණ ද අයිවෝ ඩෙනිස්ගේ සුවිශේෂී හඬ අපේ හදවත්වල කොතැනක හෝ නිධන්ව තිබුණේය. එය ජාතියක් නිදිගැට හැරදමා මහ මෙහෙවරකට පෙළගස්වන්නට සමත් කටහඬක් විය. සෞන්දර්යාත්මක බවින් අනූන වන අතරම කිසියම් විධානාත්මක බවක් ද ඒ හඬේ තිබිණි.
පැස්කුවල්ගේ දොන් ඔගස්ටින් අයිවෝ ඩෙනිස් උපත ලැබුවේ 1932 මැයි මස 28 වැනිදාය. එහෙත් ඔහු වරින්වර කියා තිබුණේ අයිවෝ ඩෙනිස් නම් ගායකයා ඉපදුණේ 1952 ජූනි 17 වැනිදා බවය. ඒ; සුනිල් සාන්තයන් හමුවීමත් සමඟය. අයිවෝගේ හඬ ප්‍රථමයෙන්ම ගුවන් විදුලියෙන් ගුවනට මුසුවූයේ සුනිල් සාන්තයන්ගේ ‘වරෙන් හීන් සැරේ...’ ගීතයත් සමඟය. ඒ මීට දශක 6කට පමණ කලිනි. පසුකලෙක සුනිල් සාන්තයන්ගේ හොඳම ගෝලයා බවට පත්වූයේ ද අයිවෝ ඩෙනිස්ය. සිංහල සිනමාවේ මං සළකුණක් වන රේඛාව අයිවෝගේ සංගීත දිවියේද මං සළකුණකි. ඒ ඔහු චිත්‍රපට පසුබිම් ගායනයට අවතීර්ණ වූයේ අනුරාධපුර, පොළොන්නරුව... යන එහි එන විරිඳු ගායනයෙන් වූ බැවිනි. එතැන්පටන් චිත්‍රපට රැසකට පසුබිම් ගායනයෙන් ඔහු දායක වී තිබේ. ඒ අතර පාර දිගේ, බඹරු ඇවිත්, හිමකතර, දෙවැනිගමන වැනි චිත්‍රපට ද තිබේ.
සිංහල සිනමාවට හා සංගීත ක්ෂේත්රයට දශක 5 කට වැඩි කාලයක් තිස්සේ ඔහු කළ මෙහෙවර වෙනුවෙන් අවස්ථා ගණනාවකදීම ජනාධිපති සම්මාන ඇතුළුව සම්මාන රැසකින් සිදුම් ලැබීය.
ජාතියක් දේශයක් අවදිකළ සනහාලු අයිවෝ ඩෙනිස්ගේ රන් ස්වරය ඉකුත් 18 වැනිදා නිහඬවීය. කොතැනක හෝ තැනකදී ඔහුගේ ගීතයත්, ගීත ඛණ්ඩයත් අපේ සවන්පත් වැකෙන සෑම මොහොතකට ඔහු යළි යළිත් ජීවමාන වනවා ඇත.
අයිවෝ ඩෙනිස් වෙනුවෙන් මීට මාස කිහිපයකට පෙර සුනිල් සාන්ත කොමිටිය මඟින් සංවිධානය කළ සංගීත ප්‍රසංගයට නූතන පරපුරේ සංගීතවේදි නදීක ගුරුගේ ලියූ සටහන මෙම ලිපියට එකතු කිරීමට අදහස් කළේ එම ලිපියෙන් අයිවෝ ඩෙනිස් නමැති මහා සංගීතවේදියා පිළිබඳ පුළුල් හා පූර්ණ අදහසක් මෙන්ම අයිවෝගේ පරපුර පිළිබඳ නූතන පරපුරේ අදහස කවරේද යන්නන් මනාකොට පැහැදිලි බැවිනි.
සංගීතවේදී නදීක ගුරුගේ,
“අයිවෝ ඩෙනිසුන් වනාහී ලංකාවේ ගායකයන් අතර වඩාත් ශික්ෂිත හඬය. මෙරට ශ්‍රේෂ්ඨතම සංගීතඥ යුගල වන සුනිල් සාන්තයන්ගේ සහ ප්‍රේමසිරි කේමදාසයන්ගේ ප්‍රධානතම නිර්මාණයන්හි ප්රමුඛ ගායකයා ලෙස ඔහුගේ හඬ භාවිත කිරීමට බලපෑ හේතුව එයයි.
ලාංකේය නූතන සංගීතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය සියල්ලේම පාහේ ඔහුගේ “රන් ස්වරය” හඳුනාගැනීමට පිළිවන. පුරෝගාමී ලාංකේය සංගීත පූර්වජයා වන සුනිල් සාන්තයන්ගේ “තනිස්වර ගීතය” “සීගිරි ගී” ආදී සෑම නව නිර්මාණයකම ඔහුගේ හඬ අපට ඇසිණි. ලාංකේය සංගීතයේ ඊළඟ විප්ලවකාරී පූර්වජ සංගීතවේදියා වන ප්‍රේමසිරි කේමදාසයන්ගේ “බඹරු ඇවිත්”, “තුන්වැනියාමය” වැනි මෙරට සිනමාවේ සන්ධිස්ථානවල ද ඔහුගේ හඬ පවතී. “මානසවිල” හා පිරිනිවන් මංගල්‍ය වැනි ඔපෙරාමය (Opera) හා ඔරටෝරිමය (Oratorio) සංගීත ආකෘතීන් ඔහුගේ හඬින් වර්ණවත් වී ඇත්තේය.
සිනමාවේ පතාකයකු වන ආචාර්ය ධර්මසේන පතිරාජයන් විසින් රචිත එම වර්ගයේ එකම නිර්මාණය වන “වර්ණ කාව්‍ය” ඇකපෙල්ලා (Acapella) වේ ප්‍රධාන හඬ පථත්රයෙන් මන්ද්‍ර නාදය ද අයිවෝ ඩෙනිසුන්ගේ රස ස්වරයය.
ඉතා පහළ පරාසයක සිට ඉතා ඉහළ හඬ පරාසයක් දක්වා යාමේදී ඔහු පළකරන පෘථුලබව උදක්ම පෙරදිග හෝ අපරදිග හඬ අනන්‍යතා දක්වන තානයකින් ඔබ්බට යමින් ගෝලීය සංගීතමය තානයක් සහිත හඬ වර්ණයකට උරුමකම් කියති.
ඔහු සතු දේශීය ජන සංගීතඥානය එම හඬෙහි ඇති අද්විතීය ගුණාංග කෙරෙහි බලපාන්නාවූ එක් හේතු කාරණයකි. පෙරදිග රාගධාරී සංගීතයේ ඇති ලාක්ෂණික, තාක්ෂණික ව්‍යවහාර ඔහුගේ ගැයුම් ඔස්සේ හඳුනාගත හැකි වන්නා සේම බටහිර සම්භාව්‍ය සංගීතයේ එන ගැයුම් තාක්ෂණ සහ හඬ වර්ණ ද එයින් නොනැවතී දේශීය ජන සංගීතයේ එන තැන ලක්ෂණ ද එකලාම ඔහු හඬේ ප්‍රධාන මූල සංඝටක ලෙස හඳුනාගත හැකිය.
අයිවෝ ඩෙනිසුන් ගායන ශිල්පියකු පමණක් නොවේ, අතිදක්ෂ සංගීතඥයකු ද වේ. ඉනුදු නොනැවතී නූතන ලාංකේය සංගීත ක්ෂේත්රයේ බොහෝ ප්‍රවීණ ගායන ශිල්පීන් - ශිල්පිනියන් ගේ ගුරුවරයා ද වේ.
ඒ හඬ අන් කිසිම හඬකින් ප්‍රතිස්ථාපනය කිරීමට හෝ සම කිරීමට නොහැකිය.
විද්‍යාර්ථියකු ලෙස එතුමන්ගේ ඇසුර ලබන්නට භාග්‍යවන්තයකු වූ තැන් සිට පසුගිය වසර 20 කට මදක් වැඩි කාලයක් තිස්සේ අයිවෝ ඩෙනිසුන්ගේ සංගීත දිවිය සමඟ එක්වීම අයුරින් මම ද සම්බන්ධ වුණෙමි. ඒ ඇසුර ඔස්සේ හැඳිනගත් අන් සියල්ලටම වඩා වැදගත් ඔහු සතුවූ අද්විතීය ලකුණ නම් ඔහු තුළ පැවැති මානුෂීය ගුණයයි.
සටහන
ධම්මික සෙනවිරත්න