ලංකාවේ වෙළදපළ ක්‍රමය තුළ කලාවෙහි සිදු වන අවභාවිතාවේ භයානක ප්රතිඵළය වන්නේ අවසානයෙහි ව්‍යවසායකයා වෙත සමස්ත ජයග්‍රහණය හිමි වූ අවශේෂ ශ්‍රමිකයන් නිෂ්පාදන සාධක බවට පත්වී ඔවුන්ට සියලුම මානවීය වටිනාකම් සහ හිමිකම් ද සමාජීය වශයෙන් සම්පූර්ණයෙන්ම අහිමිව යාමයි. කලාවේ මෙම මුදලාලිකරණය ඇගේ හිරිගඩු පිපෙන තරමට අවලස්සන සහ පිළිකුල් සහගත බව දන්නා නමුදු යළි මෙම කරුණ වඩාත් තහවුරු කළේ හෙට සිට තිරගත වීමට නියමිත දැවෙන විහගුන් සහ එහි ප්‍රධාන නිළිය වූ අනෝමා ජනාදරී මහත්මිය සම්බන්ධ කතා බහ නිසාවෙනි. දැවෙන විහඟුන් සිනමාපටය සඳහා අනෝමා ජනාදරී මහත්මිය සදහා ලබාදෙන තිර පිටපතෙහි ( එය තවමත් ඇය සතුව ඇත.) ලිංගික දර්ශන 14ක් ඇතුළත් වේ. එමෙන්ම මෙම නිර්මාණයට දායකත්වය ලබා දීමට පෙර ඇය විසින් ලබා දුන් ගිවිසුම ප්‍රතික්ෂේප කොට අධ්යක්ෂවරයා ලබා දුන් ගිවිසුමට ඇය අත්සන් තබන්නීය.
නමුදු එහිද මෙම මුහුණු මාරුව ගැන කිසිදු සදහනක් දක්වා නැති අතර ලොස් ඇන්ජලීස්හි පැවති සිනමා උළෙල ඇතුලු සියලුම විදෙස් සිනමා උළෙල සදහා අධ්යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන්නේ ලිංගික දර්ශන 14ක් සහිත ශුද්ධ පිටපතට අනුව සකස් කරන ලද සිනමාපටයයි. විදේශයන්හි පළ වූ විචාර තුනකම අනෝමා ගැන සදහන් කරන ලියවිල්ලෙන් එය තවදුරටත් තහවුරු වේ. විදේශයන්හි සම්මානිත වී තමන්ගේ මූලික අභිප්‍රාය පූර්ණ වූ විට අධ්යක්ෂවරයා සිදු කරන්නේ කුමක්ද?
ඔහුට ඉගිල්ලෙන මාලු මව්රටේ ප්‍රදර්ශනය කිරීමේ අයිතිය අහිමිවිය. එබැවින් ඔහු මෙවර සිදු කරන්නේ ලංකාවේ වෙළඳ පලට උචිත පරිදි යළිත් සිනමාපටය ප්‍රතිනිර්මාණය කිරීමයි. එයද සිදු කරන්නේ අතිශය අමානුෂික අන්දමිනි. අතිශයෙන් වැඩිහිටියන්ට පමණක් සීමා වූ නිර්මාණය අවසානේ ළමා චිත්‍රපටයක් බවට පත්වෙයි. එහි ප්‍රධාන නිළිය අනෝමා නොව ලංකාවේදී සමනළී වෙයි. ගෝනි බිල්ලා තාත්තව අරන් ගියා..ඔයාලා එන්න අපිව බලන්න... දැන් ළමයි ටිකක් අපට සිනමාපටය බලන්නට ඇරයුම් කරති. මෙය කෙබදු විහිලුවක්ද?
ඔහුගේ බිහිසුණු ප්‍රෝඩාව තවදුරටත් හෙළිවන්නේ රැස පුවත්පතෙහි වන සංවාදයෙනි. ඔබ ලිංගිකත්වය සිනමා භාවිතය තුළ දක්වන අදහස යනුවෙන් මාධ්‍යෙවදියා නගන ප්රශ්නයේදී සංජීව පිළිතුරු දෙන්නේ ඔහු තැනූ ඔරිජිනල් ෆිල්ම් එකම ළමා සිනමාපටයක මට්ටමට තබමින් ප්‍රේක්ෂකයාව තවදුරටත් අන්දමිනි. අනෝමා නමැති ශිල්පිණිය විසින් කළ විශිස්ඨ රංගන දායකත්වයෙන් ලබා ගත් සම්මාන ලේබලයම අලවි කරමින් ඔහු තමාගේ සිනමාපටයට දායකවූ නලු නිලි ලයිස්තුවට ඇගේ නාමය පවා නොතකා මකා දමයි. ඒ අනුව හෙට සිට තිරගත වන සිනමාපටයට අනුව ලංකාවේ හොදම නිලිය විය හැක්කේ සමනලී ෆොන්සේකාටය. මන්ද මේ පිටපතෙහි අනෝමා යනු සහාය නිළියක් පමණකි. මෙහි ඇති වඩාත් ඛේද ජනකම තත්වය වන්නේ ඇයට නීතියෙහි පිළිසරණ පැතීමට වත් සහය පළ කරන්නට එකට රංගන දායකත්වය ලබාදුන් ශිල්පීන් කිසිදු සහයක් පළ නොකිරීමයි. අම්මා ගැන ගැහැනිය ගැන සානුකම්පිතව සිනමාපට තනන්නේ මෙබදු මිනිසුන්ද? සිනමාපටයට දායකත්වය දුන් ගැහැනිය තිරිසනකු ලෙස අවසානයට නොසලකා දමා මේ සිදු කරන්නේ කුමක්ද? සැබැවින්ම අපි අසමගිය සහ ආත්මාර්ථය පිරුණු අවාසනාවන්ත රටක අවාසනාවන්ත ගැහැනුන් සහ මිනිසුන් වෙමු.
නමුත් මෙතන වරද සැබැවින්ම කාගේද? සංජීව පුෂ්ප කුමාරලාගේද සක්විති රණසිංහලාගේද වැඩි වෙනසක් නැත.මොවුන්ගේ මුල හාරා බලනවානම් වර්තමාන සමාජ හැසිරීම් ගැන විශ්ම පත් විය යුත්තේද නැත. මෙවනි අශෝභන මානසිකත්වයක් සහිතව ඔවුහු උපත ලබන්නේද සමාජීය සාධක ගොන්නක ඵලය මතිනි . අපි එය මදකට අමතක කරමු. නමුත් මෙතන ඇති විශාලම අවුල වන්නේ මේ රටේ පද්ධතික ක්‍රමවේදයෙහි පවතින අවුල නිසා මෙබදු පුද්ගලයන් එක් වරම ඉස්මතු වෙමින් රටක පැවත ආ විධිමත් වෘතීය ක්‍රමවේදයක් අසංවිදිත ලෙස අවභාවිතා කිරීමයි. මේ සදහා සැබැවින්ම රජයක් සතුව වගකීම් පවතී. එනම් කිසියම් සිනමාපටයක් සදහා අධ්යක්ෂවරයෙක් චිත්‍රපට සංස්ථාව සමග ගිවිසුම් ගත කර එමගින් විදේශීය වෙළදපලට සිනමාපටයක් ඉදිරිපත් වී එය ලංකාවේ තිරගත කරන විට එය සංස්කරණය කළ යුතු සීමාව තීරණය කිරීම , ශිල්පීන්ට සිදු කරන ගෙවීම්, ඔවුන්ගේ හිමිකම් සුරක්ෂා කිරීම ආදිය ඉන් ආවරණය කළ යුතුවේ. එම සියලු තීරණ රාජ්‍ය මැදිහත් වීම සහිත මධ්‍යස්ත මණ්ඩලයක් මගින් සිදු විය යුතු අතර එවිට පාර මාරුවන විට ගමන පහසු වන්නට වාහන් පිටුපස අමතර රෝද සවිකරගෙන යන්නාක් මෙන් රටින් රටට වෙනම පිටපත් සකස් කරමින් අත්තනෝමතික ලෙස හැසිරීමට ඇති හැකියාව ජාවාරම් කරුවන් වෙත අවම වේ.
එමෙන්ම ලංකව තුළ නිළියක කිසියම් රංගනයක නිරත වෙද්දී තම නිරුවත අයැද සිටිනවානම් ඒ පිළිබද එක්වරක් නොව දහවරක් සිතා බැලිය යුතුය. අද දවස වන විට අනෝමා එම යථාර්ථය වටහාගෙන අවසන්ය. ඇයට වැරදුනේ පලමුවැන්නාට වඩා දෙවැන්නා හොද වෙතැයි කළ අපේක්ෂාව නිසාවෙනි. නමුත් ඇය තුන්වැන්නකුද එසේ යහපත් වෙතැයි සිතා නොරැවටෙනු ඇතියි මම උදක්ම අපේක්ෂා කරන අතර දැන් ඇය ඉනූ රෙදි පට සදහටම නොගැලවෙන සේ ඇදගත යුත්තේ ඉන් යෙහෙමින් වැජඹෙන් තමාගේම සිත තලා දමන්නට තවදුරටත් සමාජයට ඉඩ නොතැබිය යුතු බැවිනි. ගෞරවණීය විශ්වවිද්‍යාලයක උපාධිධාරිනියක, එමෙන්ම විශිෂ්ඨ රංගවේදිනියක වන ඇය අද සිට අධිෂ්ඨාන කර ගත යුත්තේ තමාට වූ වරද සකසාගෙන නව මාවතක ගමන් කිරීමටය. නිලියක ලෙස තමාට වැරදුනේ අධ්‍යක්ෂවරුන්ගේ වරද නිසානම් ඇයට අවංක සහ විශ්ෂඨ අධ්යක්ෂවරියක වීමම වරද කළවුන්ට දෙන දඩුවමක් විය හැකිය. සැබැවින්ම ඔබ දැන් නතර වූ තැනින් යළි පටන් ගත යුතුය. එතෙක් ඔබ දිගුකාලීන නිද්‍රාවක ගැලී සිටියාට වරදක් නැත. මන්ද එවිට යළි ඔබට වඩාත් ශක්තිමත් ගැහැනියක ලෙස නැගී සිටීමට හැකිවනු ඇත.අපගේ දුක කියා කෑසුවාට ඉන් ඇතිවන ඵලයක් නැත. මක්නිසාද යත් මේ පවතින්නේ අම්මාද විකිණෙන අර්ථ ක්රමයකි. ඇස් කන් වැසූවන් සිටින නීරෝලා වෙණ වයන පුරයකි. ඔබ වෙනුවෙන් මම සිනමාපටය ප්රෙක්ෂකත්වයෙන් වර්ජනය කරමි. මගේ ලබැදියන්ගෙන්ද එයම ඉල්ලමි. දැන් ඉතින් රෝමය ගිණි ගන්නා වෙලාවයි. (නීරෝලා වෙණ වයනු ඇත)
අනෝමා අක්කේ..
අපි මෙතනින් ඉක්මණට යමු.!
- උපේක්ෂා නුවන්ශ්‍රීනි -