මලයාලම් සිනමා ඉතිහාසයේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස Box office ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි Drishyam චිත්‍රපටය 3වන තැනට පත්කරමින් පළමු හා දෙවන ස්ථාන හිමිකර ගැනීමට මේ වසරේ තිරගත වූ චිත්‍රපට 2ක් සමත්වුණා. ඉන් ප්‍රථම ස්ථානයට පත්වුණේ Pulimurugan චිත්‍රපටය. මේ සටහන දෙවන ස්ථානය හිමිකරගත්, එමෙන්ම නිර්මාණාත්මකව වඩා ඉහලින් ඇති චිත්‍රපටය වන Oppam ගැනයි. මලයාලම් සිනමාවේ මෑත කාලයේ ඇතිවූ Crime Thriller චිත්‍රපට රැල්ල තවදුරටත් ඉදිරියට ගෙනගිය මෙය දකුණු ඉන්දියාවේ පමණක් නොව බොලිවුඩයේත් අමතක නොවන චිත්‍රපට රැසක් බිහිකළ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ප්‍රියදර්ශන් ගේ නිර්මාණයක්.
මහල් නිවාස සංකීර්ණයක සෝපාන ක්‍රියාකරුවෙක් (Lift operator) ලෙස සේවය කරන ජෙයරාමන් උපතින්ම අන්ධ වුණත් තියුණු ශ්‍රවණ, ස්පර්ශ හා ආඝ්රාණ සංවේදන ශක්තියක් ඇති අයෙක්. මේ නිවාස සංකීර්ණයේ පදිංචි විශ්‍රාමික විනිසුරුවරයෙකු වන ක්‍රිෂ්ණමූර්ති, ජෙයරාමන් සමග දැඩි හිතවත්කමක් ඇති අයෙක්. නිතරම අතීතයේ සිදුවූ එක්තරා සිදුවීමක් ගැන බියකින් පසුවෙන ක්‍රිෂ්ණමූර්ති, ජෙයරාමන් පිළිබඳව තමන්ට ඇති දැඩි විශ්වාසය නිසා සිය පෞද්ගලික කටයුතු බොහොමයකට ඔහුව හවුල් කරගන්නවා. හදිසියේම කිසිවකු විසින් විනිශ්චයකාරවරයා මරාදමනු ලබන අතර මිනීමැරුම පිළිබඳ චෝදනාව එල්ල වෙන්නේ ජෙයරාමන්ටයි. විනිශ්චයකාරවරයා තම දියණිය ලෙස හඳුන්වනු ලබන නමුත් අනාථ දැරියක් මෙන් ඈත කඳුකර ප්‍රදේශයක පිහිටි කන්‍යාරාමයක නැවතී ඉගෙනුම ලබන නන්දිනී නම් කුඩා දැරියගේ ජීවිතයද රැකගෙන, තම නිදොස් බව ඔප්පු කරගැනීමට ජෙයරාමන් කරන සටන එතැන් සිට දිග හැරෙනවා.
මලයාලම් සිනමාවේ අමතක නොවන චිත්‍රපට රැසක් බිහිවීමට මගපෑදූ මෝහන්ලාල් - ප්‍රියදර්ශන් සුසංයෝගය කලකට පසුව මේ චිත්‍රපටයෙන් නැවත වරක් දැකගත හැකියි. මේ mega hit චිත්‍රපට 2ම ප්‍රධාන නළුවා වූ මෝහන්ලාල් තවමත් මලයාලම් සිනමාවේ Super Star තමන් බව පෙන්නුම් කරමින් සිටිනවා. දුෂ්ට චරිතයක් නිරූපණය කරන සමුද්රකානි සහ නන්දිනී ලෙස රඟපාන ළමා නිළියත් අමතක නොවන රංගනයන් ඉදිරිපත් කරනවා.
මෙහි සමහර ජවනිකා දකිනවිට Drishyam චිත්‍රපටය සිහියට ඒම වැලැක්විය නොහැකිවුණත් ඒවා අනුකරණය කිරීමක් වෙලා නෑ. (Drishyam මලයාලම් සිනමාව තුල cult එකක් බවට පත්වී ඇති ආකාරය මේ චිත්‍රපටය තුලින් පෙනෙනවා) ඒ වගේම බොහෝ තැන් Drishyam වලට වඩා වේගවත් thrilling ස්වභාවයකින් යුක්තයි.
කථාව predictable වීම චිත්‍රපටයක් අසාර්ථකවීමට හේතුවක් නොවන බව මේ චිත්‍රපටයෙනුත් පෙන්නුම් කෙරෙන කාරණයක්. ප්‍රබල නාට්‍යමය අවස්ථා, කැමරාකරණය හා වේගවත් සංස්කරණය තුලින් ජවනිකාවෙන් ජවනිකාවට ප්‍රේක්ෂකයන්ව ඇද බැඳ තබාගැනීමට චිත්‍රපටය සමත් වෙනවා. පසුබිම් සංගීතයත් මෙයට ප්‍රබල දායකත්වයක් සපයනවා. මලයාලම් සිනමාවට ආවේණික මානුෂික සම්බන්ධතා ඉස්මතු කිරීමත් ප්රබලව සිදුවෙනවා. Oppam සැබවින්ම හොඳ සිනමා ආශ්වාදයක් සහතික කෙරෙන චිත්‍රපටයක්.
වොජී කරැණානායක